මණ්ඩලය නිදි : මුදලාලිලා පොලොන්නරුවේ  වී අස්වනු කුණුකොල්ලෙට ඩැහැගනිති

120

මෙවර යල කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇතත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව කියා සිටිති.

මේ හේතුවෙන් පෞද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ගේ වී අස්වනු කුණුකොල්ලයට මිලදී ගන්නා බව ද, හොඳින් වේලා සකස් කරන ලද වී කිලෝවක් සඳහා ඊයේ (05දා) පෞද්ගලික වෙළෙඳුන් විසින් ගොවීන්ට ගෙවන ලද්දේ කිලෝවක් සඳහා රුපියල් 115ත් 118ත් අතර මිලක් බව ද ඔවුහු පෙන්වා දෙති.

වියළා සකස් නොකළ අස්වනු නෙළාගත් අවස්ථාවේම වී කිලෝවක මිල රුපියල් 100ත් 105ත් අතර මිලක පැවති බව ද ගොවීහු ප්‍රකාශ කළහ. නාඩු වී කිලෝවක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125ක් සහ කීරි සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 130ක් වශයෙන් රජයේ සහතික මිලක් මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබේ.

නිෂ්පාදන මිල ඉතා අධික හෙයින් රජය මගින් වී කිලෝවක් සඳහා නියම කර තිබෙන එම සහතික මිල සම්බන්ධයෙන් ගොවීන්ගේ එතරම් සතුටක් නොමැති මොහොතක පෞද්ගලික වෙළෙඳුන්ට මේ අන්දමට ගොවියා සූරාකෑමට අවස්ථාව සලසා දීම පිළිබඳව ගොවීන්ගේ බලවත් විරෝධයක් නැගෙමින් තිබෙන බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.

රජයේ වී මිලදීගැනීමේ වැඩපිළිවෙළ මෙතෙක් දිස්ත්‍රික්කය තුළ ආරම්භ කර නැත්තේ මන්ද යන්න පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගොවීන්ගේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නොමැති නිසා මිලදී ගැනීමේ මධ්‍යස්ථාන විවෘත කර නොමැති බවයි. අවශ්‍ය මුදල් ලැබුණු වහාම වී මිලදී  ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි බවද ඒ මහතා කියා සිටියේය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment