මණ්ඩලේ කචල් කර රට අවුල් කරන වී මිලට ගැනීමේ කෙරුවාව

166

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රාජ්‍ය මුදල් අමාත්‍යවරු දෙදෙනෙක් පොහොට්ටු පක්ෂයෙන් (ෂෙහාන් සේමසිංහ) සහ ශ්‍රීලනිපයෙන් (රංජිත් සියඹලාපිටිය) පත් කළේ සැප්තැම්බර් 8 දිනය. එම දෙදෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ අයවලුන්ය.

ඊට පසු දින තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කළේය. ඒ 2015 ජනාධිපති ඡන්ද ව්‍යාපාරයේදී සිදු කළ මිනීමැරුමකට රත්නපුර මහා අධිකරණයෙන් 2019 ජුලි 31 මරණ දඬුවම නියම කළ, 2022 මාර්තු 31 අභියාචනාධිකරණයෙන් සියලුම චෝදනාවලින් නිදහස් කළ ප්‍රේමලාල් ජයසේකරය. ඔහුද පොහොට්ටු සාමාජිකයෙකි.

මිනීමැරුම් චෝදනාවකින් නිදහස ලැබූ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් සිටී. ඒ කොටි ත්‍රස්තවාදී කණ්ඩායමේ හිටපු සාමාජිකයකු වූ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන්ය. ටී. එම්. වී. පී. පක්ෂයේ නායක චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් චෝදනාවට ලක්වී සිටියේ ටී. යූ. එල්. එෆ්. මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් 2005 නත්තල් දින මඩකලපුවේ සාන්ත මරියා දේවස්ථානයේ රෑ පූජාවේදී මරා දැමීම සම්බන්ධයෙනි.

එජාප නායක වික්‍රමසිංහ ජනාධිපතිවරයා පත්කළ සමස්ත රාජ්‍ය අමාත්‍යවරු ගණන 38 කි. ව්‍යවස්ථානුකූලව තවත් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ඇත.

රාජ්‍ය ඇමැති පත්වීම් ලැබූ අමාත්‍යවරු අතරින් සියඹලාපිටිය අමාත්‍යවරයා පසුගිය සති කීපය තුළ වගකීමෙන් සිදු කළ ප්‍රකාශ තව දුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික – දේශපාලනික – සමාජීය අර්බුදය අවධාරණය කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ සැප්තැම්බර් 22 දින එතුමා කළ අනතුරු ඇඟවීම ආණ්ඩුවට කිසිසේත් බැහැර කළ නොහැක. බංකොළොත් ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ අභියෝගයකට නොවන බවත් එය පතුල නොපෙනෙන අර්බුදයක් බවත් අවධාරණය කිරීම ජනතාව දැනුවත් කිරීමකි. රාජ්‍ය මුදල් අමාත්‍යවරයාට ජනතා ගෞරවය හිමිවිය යුතුය. තව දුරටත් ආණ්ඩුවට ඊට පෙර බලයේ සිටි කණ්ඩායමට ජනතාව රැවටිය නොහැක.

සියඹලාපිටිය අමාත්‍යවරයාද ‘ආර්ථික අපරාධ’ වලට වගඋත්තරකරුවෙකි. ඒ ශ්‍රීලනිපය නියෝජනය කළ මන්ත්‍රීවරයා 2006 – 2010 කාලය තුළ මුදල් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඇති නිසාය.

මුදල් අමාත්‍යධුරය එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ (2005-2015) දැරූ අතර මුදල් ලේකම් වූයේ ආචාර්ය පී. බී. ජයසුන්දරයි. ගෝඨාභය රාජපක්ෂ (2019 – 2022) ජනාධිපතිවරයාගේ ලේකම් සහ ප්‍රධාන ආර්ථික උපදේශකයා ලෙස කටයුතු කළ ජයසුන්දර වර්ථමාන අර්බුදයේ නිර්මාණකරුවකු බවට ජනාධිපති නීතිඥ අලි සබ්රි (ස්වර්ණවාහිනි සමඟ ජුනි පැවති ආන්දෝළණාත්මක වැඩසටහනකදී), මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ (පාර්ලිමේන්තුවේ ‘කෝප්’ කාරක සභාවේ දී මැයි මාසයේ) සහ මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය (හිරු ‘සලකුණ’, සැප්තැම්බර් මාසයේ) ප්‍රකාශ කර ඇත. අද වනතුරු කිසිවකු එම ප්‍රකාශ අභියෝගයට ලක්කර නැත.

ව්‍යවස්ථානුකූලව අමාත්‍යවරු 30 සහ කැබිනට් නොවන අමාත්‍යවරු 40 දෙනකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. අදාළ පත් කිරීම් කරන තුරු ජනාධිපතිවරයාට කැබිනට් අමාත්‍යධුර සියල්ලම එකවර වුවත් දැරීමේ ව්‍යවස්ථානුකූල අවසරය ඇත. ඒ අනුව වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුදල්, ආරක්ෂක, ආයෝජන ප්‍රවර්ධන, තාක්ෂණ සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යධුර හොබවයි.

පතුලක් නොපෙනෙන අර්බුදය පසෙකින් තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සුපුරුදු දේශපාලන ක්‍රියාවලියේ යෙදී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රීලනිපය නියෝජනය කරන සියඹලාපිටිය මන්ත්‍රීවරයා වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුවට /රාජපක්ෂ – වික්‍රමසිංහ ආණ්ඩුවට එක්වීමද එම ක්‍රියාවලියේම කොටසකි.

කුඩා පක්ෂවලට අවශ්‍ය අමාත්‍යධුරයකි. පාර්ලිමේන්තුවේ එක ආසනයක් හිමි එජාපයට විධායකය ලැබී ඇත. ආසන තුනක් හිමි මහජන එක්සත් පෙරමුණට අගමැති ධුරය සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවී ඇත. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්ද හිමිය. ජාතික ලැයිස්තු මන්ත්‍රී අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා යදාමිනිය. ආසන දෙකක් හිමි ඊ. පී. ඩී. පී. පක්ෂයට ද අමාත්‍ය ධුරයක් හිමිය.

වර්තමාන අර්බුදය තවදුරටත් විමසා බැලීමට පෙර රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ද්‍රවිඩ ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මරා දැමීමෙන් පසුව මුදල් අමාත්‍ය ධුරය දැරූ දේශපාලනඥයන් හඳුනා ගනිමු. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (සැප්තැම්බර් 1994-දෙසැම්බර් 2001), කේ. එන්. චොක්සි (දෙසැම්බර් 2001-අප්‍රේල් 2004), සරත් අමුණුගම (අප්‍රේල් 2004 – නොවැම්බර් 2005), මහින්ද රාජපක්ෂ (නොවැම්බර් 2005 – ජනවාරි 2015), රවී කරුණානායක (ජනවාරි 2015 – මැයි 2017), මංගල සමරවීර (මැයි 2017 – නොවැම්බර් 2019), මහින්ද රාජපක්ෂ (නොවැම්බර් 2019 – ජුලි 2021), බැසිල් රාජපක්ෂ (ජුලි 2021 – අප්‍රේල් 2022), අලි සබ්රි (අප්‍රේල් – මැයි 2022) සහ රනිල් වික්‍රමසිංහ (මැයි 2022 සිට). මහින්ද රාජපක්ෂ වසර 13 කට වඩා මුදල් අමාත්‍ය ධුරය දරා ඇත. එම කාලය තුළ මුදල් ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පළවාහැරිය ජනතා විරෝධය ඇතිවීමට හේතුවූ කරුණු කාරණා තවමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නිසි අවධානයට යොමු වී නැත. වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට තවමත් නොහැකි වීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය හෙළිකළ සත්‍යය නැවත නැවතත් අවධාරණය කරන්නේ අර්බුදයේ ස්වභාවයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව ජනතා කෝපය මාර්තු 31 දින පුපුරා ගියේ දශක ගණනාවක් අඩු වැඩි වශයෙන් සියලුම ආණ්ඩු (ඔහුගේ ආණ්ඩුවත් ඇතුළුව) අනුගමනය කළ ඉතාමත් අනතුරුදායක ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙනි. නමුත් තවමත් එම තත්ත්වයේ වෙනසක් නැත. පාර්ලිමේන්තුව තව දුරටත් තම වගකීම පැහැර හරිමින් සිටී. දේශපාලන සංදර්ශනවල සීමාවක් නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට සාධාරණ පසු විපරමක් කිරීමට අවශ්‍යතාවයක් නැත. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ද පතුල නොපෙනෙන අර්බුදයේ ගිලී ඇත. වී අලෙවි මණ්ඩලය ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් බිලියන 20 කට වඩා ණයවී ඇත. ඒ ලංකා බැංකුවට රුපියල් මිලියන 1,600 සහ මහජන බැංකුවට රුපියල් මිලියන 690 බැගිනි. එම ණය පියවන තුරු එම බැංකු දෙකම වී මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැලසීමට සූදානම් නැත. ලංකා බැංකුව යෝජනා කර ඇත්තේ වී අලෙවි මණ්ඩලයට හිමි රුපියල් බිලියන 1.2 වන ස්ථාවර තැන්පතුව මේ අවස්ථාවේ පාවිච්චි කළ හැකි බවයි. නමුත් වී මණ්ඩලය එම ස්ථාවර තැන්පතුව අතහැරීමට සූදානම් නැත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා කළ මැදිහත්වීම්ද සාර්ථක නැත. මහා භාණ්ඩාගාරය අමාත්‍යවරුන්ට වඩා අසරණය. පෙනෙනතෙක් මානයක පිළිතුරක් නැත. වී ගැනීමට මුදල් සම්පාදනය කිරීමට පෙර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවිය යුතුය. මාසික පඩි ගෙවීමට අවශ්‍ය රුපියල් මිලියන 93 න් රජයට ගෙවීමට පුළුවන් වූයේ රුලියල් මිලියන 82 පමණි. ඉතිරි මුදල අදාළ ආයතනවලට සම්පාදනය කර ගැනීමට රජය දැනුම් දුන් බව අමාත්‍යවරයා පවසයි. වී අලෙවි මණ්ඩලයේ ස්ථාවර තැන්පතුව සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. වී අලෙවි මණ්ඩලය තව දුරටත් මහජන මුදලින් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්ද ගැටලුවක් ද මතුවේ. දේශපාලන වාසි ලබා ගැනීමට වී මිල තීරණය කිරීමට සෑම රජයක්ම මැදිහත් වීම නිසා එම ආයතනය විනාශයට ලක්වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පිළිගත්තේය. එතුමා පළමු වරට පාර්ලිමේන්තුවට පත්වූයේ 2000 ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන් නායකත්වය දුන් ආණ්ඩුවල තනතුරු හෙබවූ සියඹලාපිටිය මන්ත්‍රීවරයාට ස්වයං විවේචනයක යෙදිය හැක.

ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකා දේශපාලන නායකත්වයට ආර්ථික අපරාධ චෝදනා එල්ල කර ඇති මෙම අවස්ථාවේ පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එම අවලාද තහවුරු කටයුතු කරන බව අවධාරණය කළ යුතුය. ජාතික ආර්ථිකයට උහුලාගත නොහැකි බරක් බවට පත්වී ඇති රාජ්‍ය ව්‍යවසාය නියාමනය කිරීමට සහ ඊට අදාළ නීතිමය කටයුතු කිරීමට ‘කෝප්’ කමිටුවේ එවකට සභාපති මහාචාර්ය චරිත හේරත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනා ප්‍රතික්ෂේප කිරීම අදහාගත නොහැක. ඔහුට අවශ්‍ය වූයේ විගණකාධිපතිවරයාගේ ද සහභාගිත්වයෙන් ‘කෝප්’ කමිටුව හෙළිදරව් කර ගන්නා කරුණු කාරණා වහාම නීතිපතිවරයාගේ අවධානයට යොමු කිරීමයි. එම යෝජනාවට පාර්ලිමේන්තුව එකඟ නැත. පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂක වූ (පාලක, 2003-2013) ලැසිල් ද සිල්වා මෙම ලියුම්කරු සමඟ පැවසුවේ පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලබන වාර්තා නීතිපතිවරයට හෝ අදාළ ඕනෑම රජයේ ආයතනයකට යැවීමේ පූර්ණ බලය සහ වගකීම කථානායකවරයා සතු බවයි. පාර්ලිමේන්තුව හොර ගුහාවක් බව අවධාරණය කළ එතුමා පෙන්වා දුන්නේ වර්තමාන කථානායක මහින්ද යාපා අබේවර්ධන පමණක් නොව ඊට පෙර එම තනතුර දැරූ මන්ත්‍රීවරුන් ද වගකීම් පැහැර හැර ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන්ද සියඹලාපිටිය අමාත්‍යවරයා අපූරු ප්‍රකාශයක් කළේය. ඒ චමුදිත සමරවික්‍රම සමඟ ‘සලකුණ’ වැඩසටහනට සහභාගි වෙමිනි. මීට පෙර 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගත් බවට ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සෑම වාරයකම පාහේ පළමු ණය වාරික ලබා ගැනීමෙන් පසුව එම ආයතනය සමග ඇතිකරගත් එකඟතා කඩ කළ බවයි. ඒ අනුව කටයුතු කළා නම් ශ්‍රී ලංකාව වර්තමාන අර්බුදයට ලක් නොවන බව අමාත්‍යවරයා පැවසීය. තම පාර්ලිමේන්තු ජීවිතයෙන් වැඩි කාලයක් ආණ්ඩු පක්ෂයේ සිටි සියඹලාපිටිය මන්ත්‍රීවරයාගේ වගකීම මෙන්ම වගවීමද විමසා බැලිය යුතුය.

බටහිර බලවතුන්ගේ අතකොළුවක් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව අපූරුවට හසුකර ගෙන ඇත. රට බංකොළොත් වනතුරුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සියලුම ආණ්ඩුවලට වැරදි මාර්ගයේ යෑමට අවස්ථාව ලබාදී ඇත. එය සමස්ත බටහිර උපක්‍රමශීලී ක්‍රියාදාමයේ කොටසක් විය හැකිය. බංකොළොත් රටකට විදේශීය අතපෙවීම් අසීමාන්තිකව සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. ඇමෙරිකානු මැදිහත් වීම වේගවත් කර ඇත. ආර්ථිකය කඩා වැටී ඇති තත්ත්වයක් තුළ බටහිර, ඉන්දීය සහ චීන ‘අත පෙවීම්’ තවදුරටත් වර්ධනය වනු ඇත. තමිල්නාඩු ප්‍රාන්තයෙන් සහ මියන්මාරයෙන් පවා සහල් ආධාර ලබා ගන්නා අවාසනාවන්ත තත්ත්වය තවමත් මහජන නියෝජිතයන්ට ප්‍රශ්නයක් නොවේ. යුරෝපීය සහ ජාතික ඇඳුමින් සැරසී විදේශීය ආධාර ලබා ගන්නා මහජන නියෝජිතයන්ට සහ ඉහළ නිලධාරීන්ට ලැජ්ජාවක් නැත. ලෝකයෙන්ම හිඟාකන ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 113 වැයකර ගොඩනැඟූ නෙලුම් කුලුන මෑතකදී මහජනතාවට විවෘත කළේ දෙවන වරටය. තෙල් සහ ගෑස් පෝලිම්වලට අමතරව අරගලකරුවන් අල්ලාගත් ජනාධිපති මන්දිරය නැරඹීමට පෝලිමේ සිටි ජනතාවට නෙලුම් කුලුන රුපියල් 2000 හෝ 500 ගෙවා නැඟීමේ අවස්ථාවද ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ නීතියේ ආධිපත්‍ය සිඳී ඇත. මූල්‍ය විනයක් නොමැතිකම රටේ ප්‍රතිපත්තිය බවට පත්වී ඇත. දේශපාලනය ව්‍යවස්ථාවෙන්ද එපිටය. මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය එම අවාසනාවන්ත තත්ත්වය පිළිගෙන ඇත. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍ය ලෙස 2020 ඔක්තෝබර් 13 දින නිකුත් කළ ආන්දෝළණාත්මක ආනයනික සුදු සීනි කිලෝවකට පනවා තිබූ රුපියල් 50 බද්ද සත 25 අඩු කිරීම ගැසට්ටුව සම්බන්ධයෙන් සියඹලාපිටිය අමාත්‍යවරයා කළ ප්‍රකාශය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ නීතියක් නැති බවයි. මූල්‍ය විනය පාර්ලිමේන්තුවට කිසිදු දේශපාලන පක්ෂයට හෝ ඉහළ නිලධාරී පැලැන්තියට අදාළ නැත. රුපියල් බිලියන ගණනින් මහා භාණ්ඩාගාරයට ආදායම අහිමි කළත් ඊට වගකිව යුතු කිසිවකුට දඬුවම් දීමට හැකියාවක් නැත. මෙවැනි තත්ත්වයක් යටතේ ජිනීවා නුවරින් නැඟෙන ආර්ථික අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළ හැකිද? ජනතා විරෝධී පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක ආකාරය වටහා ගැනීමට සීනි බදු වංචාව අධ්‍යයනය කළ හැකිය.

මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුව රවටමින් සමස්ත ආර්ථිකයම වැරදි පාරේ ගෙන යන ආකාරය මහා බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ පසුගිය මැයි මාසයේදීය. අවාසනාවකට රටට අවශ්‍ය වෙනස කිරීමට ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවට තවමත් නොහැකි වී ඇත. වී අලෙවි මණ්ඩලයේ ස්ථාවර තැන්පතුව සම්බන්ධ තීරණය තවමත් එම ආයතනය සතුව තිබෙන්නේ මූල්‍ය ප්‍රතිපත්තියක් නොමැති නිසාය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment