මතකය ඉතිරි කොට නික්ම ගිය සම්පත්

1104

ප‍්‍රවීණ වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අක්මාව ආශ‍්‍රිත රෝගයකින් කලක් පෙළෙමින් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන අතරතුර ඊයේ (3 දා) සිය ජීවන ගමන නිමා කළේය.

සම්පත්ව මා හඳුනා ගත්තේ මීට වසර 27 කට පමණ පෙර රූකාන්ත ගුණතිලකව හඳුනාගන්නා සමයේම ය. එකල අප නිරන්තරයෙන් මුණගැසෙන අතර එක්ව පැදුරු සාජ්ජවල ගී ගයනවා මතකය.

දයාරත්න රටගෙදරගේ ‘ගුරුලිසී’ නාට්‍යයෙන් ප‍්‍රසිද්ධ වේදිකාව හරහා රංගනයට ප‍්‍රවිෂ්ඨ ඔහු ‘නුඹ විතරක් තළඑළලූයි’ නාට්‍යයේ කළ ලූෂන් නමැති චරිතයෙන් රාජ්‍ය නාට්‍ය සම්මානයට ද පාත‍්‍ර වූවේය. එමෙන්ම ‘තලමල පිපිලා’, ‘හිට්ලර්’, ‘අඹුසැමියෝ’, සහ ‘ගුරු තරුව’ වැනි වේදිකා නාට්‍ය රැසකම රංගනය කළ හෙතෙම ‘රන් දොරටුව’, ‘බුමුතුරුණු’ සහ ‘භාග්‍යා’ වැනි ටෙලි නාට්‍යයන් හි රංගනය කරමින් පුංචි තිරය ද අතික‍්‍රමණය කළේය.

විජය ධර්මශ‍්‍රීගේ ‘ආරාධනා’ චිත‍්‍රපටයේ කලා අධ්‍යක්‍ෂ ලෙසින් සිනමාවට අවතීර්ණ වූ සම්පත් ‘හිමගිර’ චිත‍්‍රපටයෙන් සිනමා රංගනයට අත්පොත් තැබීය. ඉන්පසු ‘අහස් මාළිගා’, ‘මධුරි’, ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ සහ ‘සරෝජා’ වැනි චිත‍්‍රපට කිහිපයකම රංගනය කළේය. සෝමරත්න දිසානායකයන්ගේ ‘සිරි රජ සිරි’ චිත‍්‍රපටයේ ශෙහාන්ගේ පියාගේ චරිතයත්, ‘සිරි පැරකුම්’ චිත‍්‍රපටයේ සංඝරාජ හිමිගේ චරිතයත් ඔහුගේ සිනමා චරිත අතර මතකයේ රැුඳෙන චරිත ද්විත්වයකි. තිරගත වීමට නියමිත ජැක්සන් ඇන්තනීගේ ‘එකගෙයි සොකරි’ චිත‍්‍රපටයේ සම්පත් කැපී පෙනෙන පැවිදි චරිතයක් ඔස්සේ අපට නුදුරේම දක්නට ලැබෙනු ඇත.

දක්‍ෂ වේදිකා නාට්‍ය නළුවෙක් වන ඔහු ගී ගයන්නට ද සමතෙකි. කුසලතා පූර්ණ ජ්‍යෙෂ්ඨ වේදිකා ටෙලිනාට්‍ය සහ සිනමා නිළියක සහ දක්‍ෂ ගායිකාවක වන රත්නා ලාලනී ජයකොඩිගේ ප‍්‍රියාදර සැමියා වන සම්පත්, 2004 මගේ ‘සිත්තම් කරමින්’ ප‍්‍රසංගය නැරඹීමට ද පැමිණ මා දිරිමත් කළේය.

2000 වසරේ ඔහු සිය පවුල සමගින් මගේ චිත‍්‍රාගාරයට පැමිණ ඡායාරූප ගත් අතර, අනතුරුව ඉකුත් 2019 වසරේ අපේ‍්‍රල් 4 පැවැති පැදුරු සාජ්ජයකදී ද මම ඔහුත්, රත්නාත් යළි ඡායාරූපගත කළෙමි.

මේ කාලයේ අපට වටිනා කලාකරුවන් රැසක් අපෙන් සමුගත් අතර සම්පත් වැනි ජාතික සම්පත් මෙසේ අපෙන් දුරස්වීම දරාගත නොහැකි අඩුවකි. එමෙන්ම රත්නා ඇතුළු සැමට මගේ සාතිශය සංවේගය ද දන්වන අතර ආදරණීය සම්පත්, ඔබට නිර්වාණ ස්වර්ණ ද්වාරය දුරක නොවන්නට පිංපෙත් පමුණුවමි!!!

දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment