මත්තලට වැය කළ මිලියන තිස්හය දහසක් අයාලේ ගිහින් – වසර පහක පාඩුව බිලියන 20 ක්

340

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා දරනු ලැබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ට සමාන රුපියල් මිලියන තිස්හය දහස් පන්සිය හැටහතරක් වූ (36.564) මුළු වියදම ඵලදායී ලෙස භාවිත කොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඉකුත් වසරේ (2021) මත්තල, ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මෙහෙයුම් පිරිවැය රුපියල් බිලියන 2.02 ක් වූ අතර එය මෙහෙයුම් ආදායමට වඩා 21 ගුණයකින් වැඩිවී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. ඉකුත් වර්ෂයේදී බදු ගෙවීමෙන් පසු මත්තල ජාත්‍යන්තර, ගුවන්තොටුපළ ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 4.44 කි. 2017 වර්ෂයේ සිට 2021 වසර දක්වා වූ කාලය තුළ ලැබූ ශුද්ධ අලාභය රුපියල් බිලියන 20.59 කි.

මත්තල ගුවන්තොටුපළේ අපේක්‍ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් පමණ වුවද පසුගිය වසර 05 තුළ මුළු මගී සංඛ්‍යාව 91,747 කි. එමෙන්ම ඉකුත් වසර පහ තුළ මුළු ගුවන් ගමන් සංඛ්‍යාව 2,396 කි. එමෙන්ම ගුවන් තොටුපළ ඉදිකිරීම සඳහා ලබාගත් ඩොලර් මිලියන 190 ක්වූ ණය සඳහා පොළිය ඇතුළුව වාර්ෂික ණය වාරික ලෙස රුපියල් මිලියන 2610 ක මුදලක් සමාගම විසින් ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙහි මෙහෙයුම් කටයුතු හා වැඩිදියුණු කිරීම් වඩාත් කාර්යක්‍ෂම සහ පිරිවැය ඵලදායී ලෙස සිදුකිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගතයුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.

ගුවන් තොටුපළ හා ගුවන් සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවෙන් මෙම තොරතුරු අනාවරණය වේ.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment