මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට පමණක් පනත් කෙටුම්පත ඉදිරිපත් කළා – ඇමැති විජයදාස රාජපක්ෂ

72

පනත හරහා තරුණයන් මර්දනය කිරීම උසාවි ගිහින් වෙනස් කළා – එස්. එම්. මරික්කාර් (සජබ)
මත්ලෝලීන් සුවපත් කිරීමට දේශීය ක්‍රමවේද තියෙනවා – රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි
ජනතාවට ආණ්ඩුව විශ්වාස නැති නිසා කරන හැමදේම බලන්නේ අවිශ්වාසයෙන් – හරිනි අමරසූරිය (ජාජබ)

රජය විසින් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබුවේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා පමණක් කටයුතු සීමා කිරීමට බව අධිකරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

නිවේදන, ලිපිලේඛන, කාරක සභා වාර්තා, වාර්ෂික වාර්තා, මහජන පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීමෙන් පසුව,මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. පසුව 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් විශේෂ ප්‍රකාශ සිදුකිරීම සහ ඒවාට පිළිතුරු සැපයීමෙන් පසුව පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින්, අධිරණ හා බන්ධනාගාර පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා :

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා – අද ගේන පුනරුත්ථාපන පනතට එදා 21 සංශෝධනයට එලල් වූ ආකාරයටම විරෝධයක් ආවා. මේ පනත වගකිවයුතු වියතුන්ගෙන් සමන්විත කමිටුවකින් සකස් කළේ.

පුනරුත්ථාපන කොමිසම යටතේ එල්. ටී. ටී. ඊ. සැකකරුවන් විශාල පිරිසක් පුනරුත්ථාපනය වුණා. මේ පනත යටතේත් වගකීම් දීර්ඝව සිදු කිරීමටයි කටයුතු කරන්නේ. මේ පනත එන විට රටේ අරගලයක් තිබුණා. අරගලකරුවන් හිතුවා ඔවුන්ට විරුද්ධව ගෙනආපු එකක් කියලා.

මත්ද්‍රවවලට තරුණ ජීවිත විනාශ වෙනවා. ඔවුන්ව පුනරුත්ථාපනය කරලා සමාජයට ඉදිරිපත් කිරීමයි අපේ අරමුණ. මේ පනත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට සීමා කර තියෙනවා. පුනරුත්ථාපන කාර්යාංශය හා බන්ධනාගාරය සතුව පුනරුත්ථාපන කඳවුරු තියෙනවා. අන්තවාදී මත දරන නොමඟ ගිය දරුවන්, බන්ධනාගාරගත වී සිටින දරුවන් පුනරුත්ථාපනය කරන්න කලින් යෝජනා වුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට අනුව යමින් ක්‍රියාකරනවා.

විදේශ ඇමැති අලි සබ්රි මහතා – නොමග ගිය තරුණයන් උසාවි දක්කනවා වෙනුවට පුනරුත්ථාපනය කළ යුතුයි. ඔවුන්ගේ මතවාදය නිසා වෙන් නොකර ඔවුන් පුනරුත්ථාපනය කළ යුතුයි. මේ පනත එදා ගේනකොට රටේ අරගලයක් ගැන හිතලවත් තිබුණෙ නැහැ.

කුඩු හාල්මැස්සො හිරේ දාලා පුරවනවා, ජාවාරම්කාරයො පැනල යනවා. ඒ නිසා බිල්ලො මවන්නේ නැතුව හොඳදේට ඉඩ දෙන්න. අන්තවාදී මතවාද වෙනස් කර සමාජයේ හොඳ පුරවැසියන් කළ යුතුයි. සිංගප්පූරුවේ හොඳ නීති පවතිනවා. අපි යහපත් චේතනාවකින් මේ පනත ගෙනාවේ, නමුත් අධිකරණ නිගමනවලට අනුව කටයුතු කරනවා.

අපි අලුත් නීති 85 කට අවශ්‍ය කරුණු රැස්කළා. කමිටු 30 ක් පත් කළා. මේවා සියල්ල එක දවසින් ගෙනාපුවා නොවෙයි. දැන් පාර්ලිමේන්තුවට ආවට මේවට දිගු ගමනක් තිබුණා.

රටේ තියෙන ප්‍රශ්නවලට අපි සියලුදෙනා එක්ව විසඳුම් දිය යුතුයි. කවුරු බලයට ආවත් මේ රට ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදීමට සියල්ල එකතු විය යුතුයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර් (සජබ) – මේ පනත කොපමණ පැරණියි කිව්වත් මේක අටවන ජනපතිගෙ උගුලක්. මම උසාවි ගිහිල්ලයි මේ පනත වෙනස් කර ගත්තේ. නැත්නම් මේ පනත හරහා තරුණයන් මර්දනය කරන්නයි උත්සහ කළේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මාර්තු මාසයේ වෙන්නෙත් නෑ. ජනමතය නැති ආණ්ඩුවකට එකඟතාව දේනනේ නැහැ. හැමදාම බොරු කිය කියා මේ ආණ්ඩුව ඉන්නවා.

දැන් තෙල් නැව් පරක්කු කරන කුමන්ත්‍රණයක ආණ්ඩුව ඉන්නවා. විදුලිය කැපීම වැඩි කරන්න හදනවා. තෙල් පෝලිම හදනවා. ජනතාව පීඩනය දරාගෙන ඉන්නවා. ජනතාවට පිළිතුරක් දෙන්න මැතිවරණයවත් දෙන්නේ නෑ.

අටවන ජනපති මැතිවරණය කල්තැබීමේ අවසන් උත්සාහයේ ඉන්නේ. මැතිවරණ වියදම් සීමා කිරීම් පනත මගින් මැතිවරණය කල්දාන්න යනවා.

පත්කළ මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) – මේ ආණ්ඩුව කරන හැම දෙයක් ගැනම ජනතාව අවිශ්වාසයෙන් බලන්නේ, කරපු හැම දෙයක්ම ජනතා විශ්වාසය කඩකරපු නිසයි.

මත්ද්‍රව්‍ය උවදුරට දැනටමත් නීති තියෙනවා. ඉන් ඉදිරියට යෑමක් තමයි අවශ්‍ය. මේ ගැන සංවාදයක් හා සමීක්‍ෂණ අවශ්‍යයි. එමගින් ඉදිරියට යෑමක් සිදුවිය යුතු වුවත් අද ගේන පනත මගින් එවැනි දේ සිදුවී ඇත්ද යන්න ප්‍රශ්නයක්. ආණ්ඩුව කරන දේ ගැන විශ්වාස නැත්තේ මේ කරන වැඩ නිසයි.

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ප්‍රශ්න තියෙනවා. එහි රැඳවියෝ මැරෙනවා, ඒවායේ හිංසන ගැටලු ගැන වහාම සොයා බැලිය යුතුයි. මෙවැනි පනත් ගෙන ඒමට පෙර නිවැරදි සමීක්‍ෂණයකින් සොයා බැලීමක් සිදු විය යුතුව තිබුණා. පුනරුත්ථාපන ක්‍රියාවලියේ ගැටලු තියෙනවා. ඒවා නිවැරදි විය යුතුයි.

රාජ්‍ය ඇමැති අනූප පැස්කුවල් – මත්ද්‍ර්‍යවලට ඇබ්බැහි වූ තරුණයන් ලක්ෂ 5 ක් ඉන්නවා. ඔවුන්ගෙන් ලක්‍ෂයක් වසරකට උසාවි යනවා. ඉන් සුළු ප්‍රමාණයයි පුණරුත්ථාපනය වන්නේ. මේ පනත අනුව දෙමාපියන්ට දරුවා පුනරුත්ථාපනය කළ යුතු නම් කළ හැකියි. කලින් නීති අනුව අධිකරණයට පමණයි තීරණ ගත හැකිව තිබුණේ.

පුනරුත්ථාපනය වන අයගෙන් සියයට 10 ක් පහේ පන්තියේ සිට 10 පන්තිය දක්වා අධ්‍යාපනය ලැබූ අය. ඕ ලෙවල් දක්වා ඉගෙන ගත් සියයට 43 ක් ඉන්නවා. මෙය ප්‍රශ්නයක්. පොලිසියේ තිබූ බලතල විශේෂ කාර්ය බළකායට දුන්නා මත්ද්‍රව්‍ය පාලනයට. පුනරුත්ථාපන පනත ස්ථීර විසඳුමක් නොවෙයි.

අද සමහර දේශපාලකයන් පුනරුත්ථාපන තත්ත්වයේ ඉන්න බව පේනවා දේශපාලකයන්ගේ ගෙයක් දැක්කාම ගිනි තියන්න කියනවා. මරපියව් කොටපියව් කියනවා.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම් – ආණ්ඩුවේ වුවමනාව දේශපාලන දැඩි

මතධාරි අදහස් දරන අය පුනරුත්ථාපනය විය යුතු බවත් රාජ්‍ය ඇමැතිගෙ කතාවෙන් කියන්න.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා – තරුණ අදහස් දරන අය පුනරුත්ථාපනය නොකරනවා නම් අපි මේ පනත්වලට විරුද්ධ නෑ.

පෝලිම් නෑ කියලා ආණ්ඩුව සතුටු වෙනවා. ගෑස්, තෙල් මිල විදුලිය විශාල ලෙස මිල ඉහළ නිසා වියදම් දරා

ගන්න බැහැ. ජීවත් වෙන්න බැරි රටක් පවතින්නේ. බදු බර වැඩියි. පාසල් ළමුන් ගැන රජය වෙනම සොයා බැලිය යුතුයි. පාසල් ජීවිතය පවා දරුවන්ට දරා ගන්න බැරිවෙලා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරනවා. ජනාධිපති ඇවිත් මාස 6යි රටට වූ දෙයක් නැහැ. වසර 25කින් පසු සංවර්ධනයක් ගැන කියනවා. ඒ වනවිට ජනාධිපතිටත් වයස 98ක් වෙනවා.

පාතාලය සීමාවක් නැතිව මනුෂ්‍ය ඝාතන සිදුකරනවා. නාකොටික් නිලධාරීන් තමයි කුඩු ජාවාරම ඉහළින්ම කළේ. ජනාධිපති බොර දියේ මාළු බාන්න හදනවා. දේශපාලන වාසි ගන්න 13 සංශෝධනය ගැන කතා කරනවා. ජාතික ආලය ගැන කතා කරපු ආණ්ඩුව දැන් හමුදාව ගැන කතා කරන්නේ නෑ. හමුදාව තාක්‍ෂණයෙන් සන්නද්ධ කරනවා කියලා කියනවා. ඒත් ඡන්දය තියන්න බිලියන 10ක් ආණ්ඩුවට නෑ.

එදා අරගලය ගැටුමක් බවට පත් කරලා ගෝල්ෆේස් එකට ගහපු අය ගැන කතා කරන්නේ නෑ. ඒ ප්‍රහාරය නිසා ගෙවල් ගිනිතියපු ගැටුමක් බවට පත් වූ අයට එරෙහිව ක්‍රියාකරනවා. පාලනය කරන්න බැරි වූ ආරක්‍ෂක අංශවලට එරෙහිව ක්‍රියාකරනවා.

පාස්කු ප්‍රහාරය ගැන වරදකරු වූ හිටපු ජනාධිපතිවරයත් කියනවා වන්දි ගෙවන්න පිටකොටුවෙ කැටයක් තියන් ඉන්න ඕනලු. ප්‍රශ්න ඇති වුණේ කැට තියන් ඉන්න අය ජනපති කරවපු නිසයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – හිටපු හමුදාපති ලෙස සරත් ෆොන්සේකාට හමුදා මූලස්ථානයට ඇවිත් බෝම්බ ගැහුවා. හමුදා මූලස්ථානය බේරා ගන්න බැරි වූ අය හිටපු ජනපතිනි චන්ද්‍රිකාට ආරක්‍ෂාව දීගන්න බැරි වුණා. බෝම්බ ගහලා ඇහැක් නැති වුණා. සරත් ෆොන්සේකා නිදහස් කළෙත් ෆීල්ඩ් මාර්ෂල් පට්ටම දුන්නෙත් මම.

සරත් ෆොන්සේකා මහතා – මට තනතුරු දුන්නේ ජනපතිවරණයේ කතාකර එකඟවූ නිසයි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොළවත්ත (ශ්‍රීලපොපෙ) – අද ආණ්ඩුව රටට ගේන හැම හොඳ කාරණයකදීම කකුලෙන් අදිනවා. විපක්‍ෂය බය ගැන හිතන නිසා වුවමනාවෙන් හොඳ පනත් හකුළා ගන්න කියලා රජයට කියනවා.

පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථකව සිදුකර තරුණ පරපුර මත් උවදුරෙන් බේරා ගැනීමයි අපේ අරමුණ.

රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි – පුනරුත්ථාපන කාර්යය නිවැරැදි දිශාවට ගමන් කරනවාද කියා අපි සොයා බැලිය යුතුයි. තරුණයන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වළක්වාගත යුතුයි. ඒ වගේම මානසිකව ඔවුන්ව සුවපත් කිරීම කළ යුතුයි.

අපේ රටේ මේ තත්ත්වය සුවපත් කිරීමට දේශීය ක්‍රමවේද තියෙනවා. ඒවා ගැන සොයා බලන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට කිසිම අවබෝධයක් සැලැස්මක් නෑ.

කායිකව හා මානසිකව දරුවා බේරා ගැනීමේ ක්‍රමවේදයකට යා යුතුයි. පුනරුත්ථාපනය වී ආපසු සමාජයට එන දරුවා යළි මත්ද්‍රව්‍ය සමාජයට යනවා. අපි මේ යථාර්ථයට දැන්වත් එළැඹිය යුතුයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

දරුවන්ට ආදරය කරන දෙමාපියන් විශාල බියකින් පසුවෙනවා. දරුවා මේ සමාජයට ගොදුරුවේවි කියා.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් – පුනරුත්ථාපන පනත පරණ එකක්. සැක සහිත දේවල් කියන නිසා සමාජය ඊට එරෙහි වුණා. එහි කාර්යන් යටතේ තියෙනවා. සටන්කාමී අන්තගාමී කණ්ඩායම්වල සාමාජිකයන් ගැන කියැවෙනවා. එය ඕනෑම ආකාරයට නිර්වචනය කළ හැකියි. පනත්වලට මෙවැනි විවෘත වචන දාගන්න එක වැරැදියි. ඕනෑම අයෙක් මේ යටතේ හිරකරගත හැකියි.

පරිපාලනය සම්බන්ධ බරපතළ අර්බුදයක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා මැතිවරණය ගැන යැවූ චක්‍රලේඛය නිසා ඇතිවෙලා.

රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න – පුනරුත්ථාපන පනත ජාතික වැදගත්කමක් ඇති පනතක්. මොන තරම් සංවර්ධන ඇති කළත් තරුණ පරපුර යහමගට ගන්න බැරිනම් වැඩක් නැහැ. අපි කොයි තරම් ආදායම් ලැබුවත් වැඩක් නෑ.

විවිධ පාර්ශ්ව මර්දනය කරන්න මේ පනත ගේනවා කියලා චෝදනා කළා. මේ පනත හදන්න කතා කළේ 2004 දී පමණ. ඒ කතිකාවතේ ප්‍රතිඵලය ලෙස අද තමයි පනත දැම්මේ. අද තරුණ පිරිස ආවේගශීලී පිරිසක් කරලා. තරුණ අසහනයක් ඇතිකරලා කටයුතු කරන අයටම මෙම පිරිසගෙන් අදට වඩා ගැටලු ඇති වෙනවා. පනත වැඩි ඡන්ද 17 කින් සම්මත විය. පක්‍ෂව 23ක් ද විරුද්ධව 6ක් ප්‍රකාශවිය. පනත් කෙටුම්පත සම්මත විය.

පාර්ලිමේන්තුව අද (19 දා) පෙරවරු 9.30ට යළි රැස්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment