මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම මානසික රෝගවලට හේතුවක්

3064

වර්තමාන සමාජයේ ව්‍යසන රැසක් ඇති කරමින් මත්ද්‍රව්‍ය භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. මේ අතරින් තරුණ වයසේ පසුවන්නන් සහ පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම නිසා ඔවුන් විවිධ මානසික රෝගවලටද ගොදුරු වී ඇති බව වාර්තාවල සඳහන් වේ. මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යෑමට හේතු, ඒ නිසා ඇතිවිය හැකි බලපෑම්, පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමු වීමේ අවදානම ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යයන අංශයේ, ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා සමඟ කළ සංවාදකි.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම මානසික රෝගවලට හේතුවක්
මහාචාර්ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනෝ වෛද්‍ය අධ්‍යයන අංශය, වෛද්‍ය පීඨය – කැලණිය විශ්වවිද්‍යාලය

● වර්තමානයේ ළමයින් විවිධ වැරදි චර්යාවන්ට (මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ ඇබ්බැහිවීම්වලට) පෙළඹීමට බලපාන හේතු මොනවාද?

මෙයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ඔවුන්ගේ පෞරුෂත්ව ලක්ෂණ බිඳ වැටීමයි. ඊට අමතරව ඔවුන් ආවේගශීලී පෞරුෂත්ව ලක්ෂණ පෙන්නුම් කරනවා. ආවේගශීලී පෞරුෂත්වය ලක්ෂණ කියන්නේ පිළිවෙළකට වැඩක් අවසාන නොකිරීම, වැඩ කල් දැමීම, හදිසි තීරණ ගැනීම, අඩු අවධානය ලබාදීම, ඉක්මනින් කලබල වීම, එකට එක කීම, නිතර කනස්සල්ලෙන් සිටීම වගේ දේවල්. මෙම ආවේගශීලී පෞරුෂත්ව ලක්ෂණ කුඩා කාලයේම හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කළේ නැත්නම් ඔවුන් ලොකු වුණාම සිතට කනගාටුවට, පාළුවක් දැනුණාම ඒක අඩු කරගන්න අධි අවදානම් සහගත හැසිරීම්වලට යොමු වෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් භාවිතය, වීඩියෝ ක්‍රීඩා, වේගයෙන් රිය පැදවීම, පාසලෙන් ඉවත්වීම වගේ හැසිරීම්වලට යොමු වෙනවා. පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට යොමුවන්නේ ඒ පිළිබඳව නිසි අවධානයක් නැතිව කිසිවකුගේ හෝ මාර්ගයෙන්, මොවුන් මත්ද්‍රව්‍යවලට පොළඹවාගන්න යම් යම් දිරිගැන්වීම් කරනවා.

● වර්තමානයේ තරුණ පිරිස වගේම පාසල් ළමයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම වැඩිවෙලා. මෙවැනි ඇබ්බැහිවීම්වලට බලපාන්නේ කිනම් කරුණුද?

පළමු කාරණය තමයි මෙවැනි අපහසු මාතෘකා ළමයින් සමඟ විවෘතව කතා කිරීමට මාපියන් සහ ගුරුවරුන් අකැමැති වීම. ඔවුන් හිතනවා දරුවන් සමඟ ඒවා කතා නොකිරීම නිසා ඔවුන් ඒවාට පෙළඹෙන්නේ නැහැ කියලා. නමුත් ඔවුන්ට මිතුරන්ගෙන්, පරිසරයෙන්, පාසල් බස් රථයෙන්, වෑන් එකේ යනකොට එනකොට මෙවැනි දේවල් ගැන ඇහෙනවා. ඒ නිසා කලින්ම ඒවායේ ආදීනව කියා දිය යුතුයි. හයවන පන්තියෙන් උඩ සිසුන්ට මත්ද්‍රව්‍ය කියන්නේ මොනවාද, ඒවායේ ආදීනව මොනවාද, ඇයි සමහරු ඒවා භාවිතා කරන්නේ, ලෝකය පුරා පැතිරිලා තියෙන්නේ ඇයි, මොනවාද ඒවාවල තියෙන ගැටලු කියන එක ඔවුන් සමඟ කතා කරන්න ඕනේ. මේක විෂය නිර්දේශයක් උගන්වනවා වගේ ඔවුන්ට කියා දෙන්න ඕනේ. දෙවනි කාරණය තමයි පාසල් අවට තියන පරිසරයේ ආරක්ෂිත බව ගැන සැලකිලිමත් නොවීම, පාසල ඉදිරිපිට තිබෙන පුංචි කඩවල, පාසල අවට සැරිසරන පුද්ගලයන් ගැන නිරන්තර අවධානය නොදීම, ඒ වගේම පොලිසිය හා වෙනත් අංශ එකතුවෙලා මේක කරන්න ඕනේ. ඒ වගේම තමයි මාපියනුත් පාසල්වල පවත්වන පාසල් රැස්වීම්වලදී පාසලේ වතුර, විදුලි ප්‍රශ්න ගැන කතා කරනවා වගේම මත්ද්‍රව්‍ය සහ වෙනත් දේවල්වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට ගෙදරදි කරන්න පුළුවන් කියලා කතා කරන්න පුළුවන්. හතරවන කාරණය තමයි මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා කියනවට වඩා දියුණු කරගන්න ඕන චරිත ලක්ෂණ මොනවාද කියලා ඔවුන්ට කියා දෙන්න ඕනේ.

● මත්ද්‍රව්‍ය භාවිතය නිසා මානසික රෝග ඇතිවන බවට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරලා තිබෙනවා. එසේ වන්නේ කොහොමද?

උදාහරණයක් විදිහට ගංජා වගේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා භින්නෝන්මාද රෝගය ඇතිවෙන්න පුළුවන්. මේක ලෝකයේ බොහෝ පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. භින්න උන්මාදය වගේ රෝග තත්ත්වයක් ඇති වුණොත් අනිත් අය ගැන සැකය, තනියම ඉන්නකොට ශබ්ද ඇහෙන එක, තමන් කරන වැඩවලට අවධානයක් යොමු නොවීම, ඒ වගේම සමස්ත ජීවිතයේම බිඳ වැටීමක් සිදුවෙන්න පුළුවන්. භාවිතා කරන මත්ද්‍රව්‍යවල අනු ශරීරයේ විවිධ තැන්වල තැන්පත් වෙලා මිය යන්නත් පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතය නිසා පැන නගින සමාජ ප්‍රශ්න අතර සිය දිවි නසා ගැනීම ප්‍රබල සංසිද්ධියක් ලෙස දැක්විය හැකියි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඇතිවන මානසික ව්‍යාකූලතාව නිසා පුද්ගලයා සිය දිවි නසා ගැනීමට පෙළඹිය හැකියි. ඒ වගේම මත්ද්‍රව්‍ය භාවිතය නිසා මරණයට පත් වීම හෝ අකර්මණ්‍ය තත්ත්වයට පත්විය හැකියි.

● මෙසේ මානසික රෝගවලට ගොදුරුවූවන්ට ඇති ප්‍රතිකාර කෙබඳුද? සහ ඔවුන් ඒවායින් ගලවා ගැනීමට හැකිද?

මත්ද්‍රව්‍ය භාවිතයකට යොමු වෙලා ඉන්නවා නම් මුලින්ම විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕනේ. ඉන් අනතුරුව ඒවාට යොමු වෙන්න බලපෑ හේතු හඳුනාගෙන, ඇතිවෙලා තියන මානසික සංකූලතා හඳුනාගෙන ඊට අදාළ ප්‍රතිකාර ආරම්භ කරන්න අවශ්‍යයි. මනෝ චිකිත්සක ප්‍රතිකාර වෙන්න පුළුවන්, සමාජීය ප්‍රතිකාර වෙන්න පුළුවන්, ඖෂධීය ප්‍රතිකාර වෙන්න පුළුවන්. මේ සඳහා ලංකාවේ පුහුණු විශේෂඥ මනෝ වෛද්‍යවරුන් ඉන්නවා. වඩා වැදගත් වන්නේ වඩා ප්‍රායෝගික විසඳුම ලබාදිය දීමයි. ඒ විසඳුම ලබා දියයුත්තේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු විසින්.

● පාසල් යන වයසේ දරුවන්ට මත්ද්‍රව්‍ය භාවිතය නිසා වෙන්න පුළුවන් බලපෑම කොයිවගේද?

ඔවුන් යොමු වෙන්න පුළුවන් මත්ද්‍රව්‍ය රාශියක් තිබෙනවා. සමහර මත්ද්‍රව්‍ය තිබෙනවා උත්තේජකකාරක. එවැනි මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් කෙටිකාලීනව අධික කෝපය, අධික තරහා යෑම, පාසල් වැඩ කටයුතුවලට අවධානය යොමු නොකිරීම, අධික කම්මැළිකම, අපේක්ෂා භංගත්වය, දෛනික ක්‍රියාවලිය වෙනස්වෙලා නිතර පාසල් යන්න අකැමැති වීම, වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙනවා, පාළුව දුක තියන නිසා දැඩි එපා වීමක් තියන නිසා තමන්ගේ ජීවිතයට හානි කරගන්න ඉඩ තියෙනවා. මෙවැනි කාරණා තමයි පාසල් දරුවන්ට වෙන්න පුළුවන් බලපෑම. සෑම මත්ද්‍රව්‍යයක්ම එය භාවිත කරන්නාටත් පවුලටත් සමාජයටත් විශාල පරාසයක හානියක් ඇති කරනවා. එය ප්‍රධාන මාතෘකා 4 ක් යටතේ සාකච්ඡා කරන්න පුළුවන්.

  1. 1. කායික හානිය

සෑම මත්ද්‍රව්‍යයකින්ම කායික සෞඛ්‍යමත් බව පහත හෙළන අතර අවසානයේ රෝගාබාධ ගණනාවක් ළඟා කර දෙනවා.

  1. 2. මානසික හානිය

සතුට/තෘප්තිය අපේක්ෂාවෙන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්හට කලකදී සතුට ලබා ගැනීමට මත්ද්‍රව්‍ය අත්‍යවශ්‍යයි. එනම් මද්‍යසාර/ මත්ද්‍රව්‍ය නැති නම් සතුටක් නැති තත්ත්වයට පත් වෙනවා. වෙනත් දේ තුළින් දිගටම සතුටු විය නොහැකි නිසා ඔවුන්ගේ සතුට සීමා වෙනවා.

  1. 3. සමාජ හානිය
  2. 4. ආර්ථික හානිය වශයෙන් දක්වන්න පුළුවන්.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අය ඊට ඇබ්බැහි වීම නිසා එම භාවිතය අත්හැරීමට අපහසු වන බව බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මත්ද්‍රව්‍ය ලෙස අප හඳුන්වන රසායන ද්‍රව්‍ය සියල්ලම පාහේ ‘ඇබ්බැහි වීම’ නම් තත්ත්වයක් ඇති කරන බව සැබෑවක්.

● දරුවන් මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීමට පාසල්වලට සහ මාපියන්ට තිබෙන වගකීම කොයිවගේද?

මුලින්ම කළයුතු වන්නේ දරුවන්ට මේ මත්ද්‍රව්‍ය ගැන දැනුවත්භාවය ලබාදීමයි. ඒ පිළිබඳව විශේෂඥයෙක් පාසලට ගෙන්වා සාකච්ඡාවක් සිදු කර, සිසුන්ට ප්‍රශ්න අසන්නට අවස්ථාවක් ලබාදීම කරන්න පුළුවන්. ඒ වගේම මාපියන් සමඟ එකතුවෙලා දරුවන් මත්ද්‍රව්‍යවලින් මුදා ගැනීම සඳහා කුඩා කණ්ඩායම් නිර්මාණය කරන්න පුළුවන්. එවැනි මත්ද්‍රව්‍ය භාවිතා කරන දරුවන් හිටියොත් ඔවුන් හඳුනාගෙන ඔවුන් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු හමුවට යොමු කරන්න පුළුවන්. ඒ වගේම තමයි එලෙස ප්‍රතිකාර ලබන දරුවන් ඉන්නවා නම් ඔවුන් පාසලෙන් ඉවත් කිරීමක් කරන්නේ නැතිව පාසලේ දරුවෙකු හැටියටම ඔවුන් ප්‍රතිකාර ගන්නවද, ඒ ප්‍රතිකාර හරියටම ක්‍රියාත්මක වෙනවාද යන්න පිළිබඳව පාසලෙනුත් සොයා බැලීමක් කරන එක වැදගත් වෙනවා. එසේම ඔවුන් පාසලට පැමිණ අනෙක් දරුවන් සමඟ එකතුවෙලා වැඩ කිරීමට ඉගෙන ගැනීම සඳහා අවස්ථාව ලබාදීම කරන්න පුළුවන්. මත්ද්‍රව්‍ය අලෙවිකරුවෝ විවිධ උපාය මාර්ග භාවිත කරමින් දරුවන් ඊට පොළඹවා ගැනීමට තැත් කළත් ගුරුවරුන්ට මව්පියන්ට හා සමාජයට ඊට එරෙහි වීමට විශාල වගකීමක් තිබෙනවා.

● සමස්තයක් වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් එයින් ගලවාගත හැකි මාර්ග මොනවාද?

පළමුවෙන්ම එම මත්ද්‍රව්‍ය විකිණීමට සහ ප්‍රවාහනයට තිබෙන අවස්ථාව අඩු කිරීම. දෙවැනි කාරණය වශයෙන් නිරන්තරයෙන් මාධ්‍ය මගින් මත්ද්‍රව්‍යවලට විරුද්ධව සහ භාවිතයෙන් වැළැක්වීම ගැන දැනුවත් කිරීම. නිතර මත්ද්‍රව්‍ය භාවිතයට පෙළඹීමට හේතුවන ආවේගශීලී ලක්ෂණ අඩු කිරීම සහ අධි අවදානම් යහළුවන් ආශ්‍රය කිරීම අඩු කිරීම. ඒ වගේම විෂය නිර්දේශයේ මේ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළක්වා ගැනීමට ඉඩක් ලබාදීම සමස්තයක් වශයෙන් කරන්න පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතයෙන් සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමට අප විශේෂ අවධානය යොමු කළ යුතුයි. එමගින් මත්ද්‍ර්‍ය පිටුදැකිය හැකි ආකාරයේ සමාජයීය පසුබිමක් මෙරට ගොඩනැගිය යුතුයි. මත්ද්‍රව්‍ය ඉල්ලුම අඩාළ කිරීමේ වගකීම ගුරුවරු, මව්පියෝ සහ සමාජය ඉටු කළ යුතුයි. ජනමාධ්‍යයටත් විශේෂ වගකීමක් තිබෙනවා. එමෙන්ම තරුණ තරුණියන් තුළ මත්ද්‍රව්‍ය ආදීනව පිළිබඳ දැනුවත්භාවයක් ඇතිකර ගුණාත්මක සංවර්ධනයක් සඳහා ඔවුන් පෙළඹවිය යුතුයි. මෙම භයානක උවදුරෙන් අපේ දරුවන්; අපේ අනාගත පරපුර ගලවා ගැනීම, රජයේ පරම යුතුකමක් හා වගකීමක්.

සාකච්ඡා කළේ රුවන් පුෂ්පකුමාර
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment