- වෛද්‍ය ප්‍රදීප් කොහොලානගෙදර
ජුනි 26 වැනි දිනට යෙදුණු ලෝක මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා ප්‍රවාහනයට එරෙහි දිනය නිමිත්තෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්යක්ෂ වෛද්‍ය ප්‍රදීප් කොහොලානගෙදර මහතා දැක්වූ අදහස් මෙසේය.
- ලංකාවේ මත්ද්‍රව්‍ය ගැටලුවේ ස්වභාවය කොයි වගේ ද?
මත්ද්‍රව්‍ය ලෙස දැක්වූ කල නීතිගති හා නීති විරෝධී කියලා ඛාණ්ඩ දෙකක් තිබෙනවා. නීතිගත ද්‍රව්‍යවලට දුම්කොළ ආශ්රිත නිෂ්පාදන හා නීතිගත මද්‍යසාර නිෂ්පාදන ඇතුළත් වෙනවා. නීතියෙන් තහනමට ලක් කළ මත්ද්‍රව්‍ය ලෙස හෙරොයින්, ගංජා, ඇම්ෆිටමයින් වගේ දේවල් දක්වන්න පුළුවන්. නීතිගත මත්ද්‍රව්‍ය වූවත් වයස අවුරුදු 21ට අඩු කෙනකුට එය නීතියෙන් තහනමට ලක් වූ දෙයක්. අපි ප්‍රධාන වශයෙන් කතා කරන නීතියෙන් තහනමට ලක් කළ ද්‍රව්‍ය ශ්‍රී ලංකාව තුළ භාවිත කරන පරිමාව දෙස බලන කල හෙරොයින් හෙවත් කුඩු භාවිතය 100000 සිට 120000 අතර ප්‍රමාණයකුත් ගංජා භාවිතය 400000කට ආසන්න අගයකුත් වෙතැයි ඇස්තමේන්තු ගතකර ඇති අතර මෙතැම්ෆිටමින් හෙවත් අයිස් භාවිතය ශීඝ්‍ර වර්ධනයකුත් ඒ වගේම මානසික කායික වේදනාවන් සමනයට ලබාදෙන ඖෂධ අවභාවිතය ඉහළ යෑමකුත් පෙන්වනවා.
- ඖෂධ අවභාවිතය කියල අදහස් කරන්නේ මොකක්ද?
සරලව ම කිවහොත් ඔබට ලබාදෙන ඖෂධ වට්ටෝරුවක ඇති ඕනෑම වගන්තියක් උල්ලංඝනය කිරීමයි. මානසික රෝග හා කායික වේදනාවන්ට ලබාදෙන ඖෂධ වෛද්‍ය නිර්දේශවලට අනුකූලව ලබාගත යුතුයි. එම නිර්දේශවලට ඔබ්බෙන් ඖෂධ භාවිත කිරීම හා වට්ටෝරු හිතුමතේ සකසාගෙන භාවිත කිරීම ඖෂධ අවභාවිතය කියලා කියනවා. තවදුරටත් වට්ටෝරුවලින් තොරව ලබාගත හැකි (Over the counter medication) තමන්ගේ හිතුමතයට භාවිත කිරීමත් ඖෂධ අවභාවිතයට අයිති වේ. මාංශ පේශි වර්ධනයට හා අතිරේක ශක්ති උත්පාදක ලෙස ලබාගන්නා විටමින් හා හෝර්මෝන වර්ග වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිත කිරීම ද මේ ආකාරයේ අවභාවිතයන් ට අයත් වූවකි.
- ශ්‍රී ලංකාවේ දරුවන් හා තරුණයන් ඉලක්ක කරගෙන මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනවා නේද?
ඖෂධ ජාවාරමේ නිරත කෙනකුට බොන කෙනා කවුරු වූවත් ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වන්නේ පාරිභෝගිකයන් විතරයි. ඒත් තරුණයන් හා දරුවන් ඉලක්ක වන්නේ ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමු කරගැනීම පහසු හා ඉතා ඉක්මනින් ඊට ඇබ්බැහි කරගැනීමට ඇති හැකියාව නිසයි. මත්ද්‍රව්‍යයක් ලබාගෙන එය දිගින් දිගට ම භාවිත කරන්න හේතුවන මූලධර්ම 03ක් තියෙනවා. පළමුවැන්න පාරිසරික සාධක, දෙවැන්න පුද්ගය සතු ජීව විද්‍යාත්මක සාධක සහ තෙවැන්න මත්ද්‍රව්‍ය හෝ ඖෂධය සතු රසායනික ගුණය. යම් දරුවෙක් මත්ද්‍රව්‍ය අත්හදා බලන කෙනෙකුනම් ඔහු තුළ ඉහළින්ම ක්‍රියාත්මක වන්නේ පාරිසරික සාධක. ඒ කියන්නේ දරුවාගේ පවුල, පාසල, යහළුවන් වගේ සූක්ෂම පරිසරයත් සමාජය වගේම මාධ්‍ය, සංස්කෘතිය, ආර්ථිකය, දේශපාලනය වගේ සාර්ව පාරිසරික සාධකත් මෙයින් අදහස් කරනවා. මෙහි ඇති ආරක්ෂණ සාධක වැඩි කිරීමත් හානිකර සාධක අඩු කිරීමත් තමයි දරුවෙක් මත්ද්‍රව්‍ය අත්හදා බැලීමෙන් බේරා ගැනීමේදී කළ යුතු වන්නේ. මෙලෙස අත්හදා බැලීමෙන් පසුව එය දිගට ම සිදුකරගෙන යෑමට හෝ නතර කර දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක සාධකයි. ඒවා කායික හා මානසික කියලා කොටස් දෙකක් තියෙනවා. තවදුරටත් එම කෙනා ඇබ්බැහියකට හෝ පරායත්ත බවකට යෑමට හේතු වන්නේ මත්ද්‍රව්‍ය සතු රසායනික ගුණය, එය ගන්නා පරිමාව ශරීරගත කර ගන්නා ආකාරය වගේ දේවල්වලින්.
- ගංජා සතුව ඖෂධීය ගුණයක් ඇති බව ප්‍රකාශ කරමින් ගංජා නීතිගත කරන්න යැයි ඉල්ලනවා. ඔබේ ආයතනය මීට කුමක් කරනවා ද?
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මේ අදහසට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ගංජා ශාකය සතු ප්‍රධාන විෂ කාරකය ඩෙල්ටා 9 ටෙට්රා හයිඩ්රො කැනබිනෝල්, එය එම ශාකය විලෝපිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ඇති දෙයක්. ගංජා බීල මත් වෙනවා කියන්නේ මේ විෂ කොටස මනස තුළ ක්‍රියාත්මක වීමයි. යම්කිසි මත්ද්‍රව්‍යයක් නීතිගත වෙන්න හේතු වන්නේ එහි ඇති හානිකර බව නොවේ. සමාජ ඉල්ලීමයි. උදාහරණයකට 2021 එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය භවිතයෙන් ලෝකයේ මියගිය සංඛ්‍යාව 199900ක අගයක්. එම වසර තුළ ම මද්‍යසාර ආශ්රිත අක්රමතාවලින් මියගිය ගණන ලක්ෂ 30 ක් නැත්නම් මිලියන 03 ක්. නමුත් මද්‍යසාර නීතිගතයි. ඉතින් යම් මත්ද්‍රව්‍යයක් නීතිගත කිරීම එහි පරිභෝජනය ශීඝ්‍ර ලෙස ඉහළ යන්න හේතු වෙනවා. ඒ තුළ මත්ද්‍රව්‍ය භාවිත අක්‍රමතා වර්ධනය ද ඉතා ඉහළයි. අද අපි දුරදිග නොබලා ගංජා නීතිගත කිරීමෙන් මෙම ප්‍රතිවිපාකවලට අපට ද මුහුණු දීමට සිදුවෙනවා. මෙයට තව හේතුවක් තමයි දුම්කොළ කර්මාන්තය ලොව පුරා මේ වනවිට ප්‍රබල අයුරින් බිඳ වැටීම. ඊට ආදේශකයන් බොහෝ රටවල් මේ අවස්ථාවේ සොයමිනුයි සිටින්නේ.
- ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය දිහා බලනකොට ශ්‍රී ලංකාව ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් ද?
ඇත්තෙන්ම මෙය ලංකාව කියන රට තුළ ඉඳල බැලුවොත් විශාල පරිමාවක් තියනවා. නමුත් මේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ලෝක මත්ද්‍රව්‍ය වාර්තාව තුළ සඳහන් වීම පවා මෙතෙක් සිදු වී නැති ඉතාම සුළු ප්‍රමාණයක්. අප ඉන්නේ ගුවනින් හ මුහුදෙන් ජාවාරම කරන ප්‍රධාන උපායමාර්ගික ස්ථානයක. එක් පැත්තකන් අර්ධ චන්ද්‍රවංකය අනෙක් පැත්තෙන් රන් ත්‍රිකෝණය. ඉතින් මේ දෙක අතර ඉන්න රටක් විදිහට මුහුදු මාර්ග හා ගුවන් මාර්ග ශ්‍රී ලංකාව හරහා වැටිලා තියනවා. එහිදී ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ හා බුද්ධි අංශවල ක්‍රියාකාරී දායකත්වයෙන්. ඇතැම් අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ අපේ ශ්‍රී ලාංකික භූමියට අයත් මුහුදු සීමාව තුළදී පවා නොවේ. ඒවා ඇතැම්විට ගැඹුරු මුහුදේ දී වන දේවල්.
- අපි දරුවන් බේරාගන්නට කළ යුත්තේ කුමක්ද?
සැපයුම හැකිතාක් පාලනය කරන්න පුළුවන් නම් හුඟක් හොඳයි. එහෙත් පුද්ගලයා සතු විභව්‍ය ශක්තිය ඉහළ නංවාලීම තරම් දෙයක් නෑ. ඒ කියන්නේ අපි පුංචි කාලයේ සිට ම දරුවන්ගේ ආත්ම විශ්වාසය, දරාගැනීමේ හැකියාව, ප්‍රතික්ෂේප කිරීමට ඇති කුසලතාවය වර්ධනය කළ යුතුයි. ජාතියක් ලෙස අපි මෘදු කුසලතාවලින් දුර්වලයි. ඒ කියන්නේ හොඳම විසඳුම මත්ද්‍රව්‍ය සඳහා ඉල්ලුම අවම කිරීමයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අපි නැවත සිතිය යුතු ප්‍රතිසංවිධානය විය යුතු කාලය එළැඹ තිබෙන්නේ.