මත්ද්‍රව්‍ය වැටලීමට ගිය පොලිසියේ 04 කට මැර ප්‍රහාරයක්

285

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පුත්තලම කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයාට, සැරයන්වරයකුට හා කොස්තාපල්වරුන් දෙදෙනකුට ආණමඩුව කොට්ටුකච්චිය පුරාණගම ප්‍රදේශයෙදී පසුගිය 10 දා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ ප්‍රහාරයට ලක්වී ඇත්තේ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්. පී. එස්. පී. පතිරණ, පොලිස් සැරයන් (35007) සේනාරත්න, පොලිස් කොස්තාපල්වරුන් වන (78216) කුමාර සහ (82233) සුබසිංහ යන නිලධාරීන්ය.

එදින සවස සිට කොට්ටුකච්චිය ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුමේදී ජාවාරම්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඔවුන් යතුරුපැදිවලින් රැගෙන යමින් සිටියදී මහමග රැඳී සිටි තරුණයන් පිරිසක් සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් සමග බහින්බස් වීමක් ඇති කරගෙන තිබේ. පසුව මෙම සැකකාර තරුණයන් පිරිස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට යකඩ පොලු හා ලී මුගුරුවලින් අමානුෂික ලෙස පහර දී තිබේ. ප්‍රදේශයේ ජනතාව එක්ව ප්‍රහාරයට ලක්වූ පොලිස් නිලධාරීන් කඩිනමින් 1990 හදිසි ගිලන් රථ සේවාව මගින් පුත්තලම මූලික රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කර ඇත.

පහර දීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇති බව පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. වයි. එම්. සෙනවිරත්න මහතා පවසයි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment