මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඬලීම අපේ ටාර්ගට් එකයි – මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්

103

ජාවාරම්කරුවන්ගෙන් හැම්පර් ගන්න එපා
ඕවා අරගෙන කාලාබීලා හරියන්නේ නැහැ

“අද ඉඳලා අපේ ටාර්ගට් එක මත්ද්‍රව්‍ය හා පාතාලයයි. මත්ද්‍රව්‍ය උවදුර නැවැත්වීම පොලිසිය පැය 24ම ගත කළ යුතු කාර්යයක්. මත්ද්‍රව්‍ය විකුණන අය සමඟ සබඳකම් පවත්වන්න එපා. පාතාලයත් මේවට සම්බන්ධයි. ජාවාරම්කරුවන්ගෙන් හැම්පර් ගන්න එපා. ඕවා අරගෙන කාලබීල හරියන්නේ නැහැ” යැයි මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවැසීය.

දීපව්‍යාප්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සම්මන්ත්‍රණය පසුගියදා සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අවස්ථාවේ ඇමැතිවරයා එසේ කීය.

මෙම සම්මන්ත්‍රණය සඳහා මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන මහත්වරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන් 509 දෙනෙක් සහභාගී වූ අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ස්ථාන 250 කදී පොලිස් ස්ථානාධිපතිවරුන් හා රාජ්‍ය නිවේදිත නිලධාරීන් සම්බන්ධ විය. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ජාතික ආරක්‍ෂාව පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් අදහස් දැක් වූයේය. ටිරාන් අලස් මහතා මෙසේද කීය.

මම දන්නවා සමහර ඕඅයිසීලට සමහර පොලිස් නිලධාරීන්ට ගෙදෙරට මස් මාළු ටික එවනවා. එළවළු ටික එවනවා. ඉතිං ඒවා වහාම නවත්වන්න. ඒ මොකෝ මං එකක් කියන්නං ඒ වගේ අයගෙන් එවැනි දේවල් තමන්ගේ ළමයින්ට කන්න දුන්නොත් එය ළමයින්ට හරියන්නෙත් නෑ. ඉතිං ඒක හොඳට ඔලුවට ගන්න. ඒ මිනිසුන්ගේ විදිහ තමයි මොනවා හරි එවලා යාළුවෙලා ඒ මිනිස්සුන්ගෙ වැඩපිළිවෙළ කරගෙන යන එක. ඉතින් මම අලුතින් පත් වෙච්ච ඕඅයිසීලටයි, අනිත් හිටපු අයටයි, සියලු දෙනාට, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනාටම කියන්නේ කවුරු හරි හැම්පර් එකක් එව්වොත් මේක ඉස්සෙල්ලම එන්නේ කාගෙන්ද කියල බලන්න. ගන්න එපා. ඕවා අරගෙන ඕවා කාලබීල හරියන්නේ නෑ.

ජනාධිපතිතුමා කියලා තියෙන්නේ ගන්න තියෙන ඕනම පියවරක් ගන්න. අරගෙන මේක නවත්වන්න කියලා. ඉතින් අපිට ඔය සියලුදෙනාගේම සහයෝගය ඕනේ මේ වැඩේට.

ලංකාවේ ඉන්නවා ඕඅයිසීලා හයසිය ගාණක් විතර ඩිවිශන්ලා ඩී.අයි.ජී.ලා. සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනේ. අද ඉඳලා මේක තමයි අපේ ටාර්ගට් එක මත්ද්‍රව්‍ය සහ පාතාලය. ඒක ඇතුළේම තමයි අපරාධත් එන්නේ. අනිත් අපරාධත් ඔව්වට ඔක්කොටම සම්බන්ධයි. ඉතින් ඒක හින්දා කරුණාකරලා මම කියන්නේ ඒ කුඩු විකුණන මිනිස්සු එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න එපා.

පොලිසියේ ආත්ම ගෞරවය එහෙම්මම නැති වෙලා තිබුණේ. නමුත් මම සංතෝසයි ජනාධිපතිතුමයි මමයි ගත්ත තීරණ නිසා අපිට පුළුවන් වුණා නැවත ඒ ආත්ම ගෞරවය පොලිසියට ලබාදෙන්න.

ඒක තමයි අපි ඉස්සෙල්ලාම කරපු දේ මේ මාස අටේ. නමුත් ඊට පස්සෙ මම කල්පනා කෙරුවා අපි පොලිස් නිලධාරීන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් කරගන්න නම් ඉස්සෙල්ලා අපි ඔවුන්ට තියෙන ප්‍රශ්නත් බලලා විසඳන්න ඕනි කියලා.

ඉතින් පොලිස්පතිතුමාත් මා එක්ක කතා කෙරුවා.

ගොඩක් දැවෙන ප්‍රශ්නයක් තමයි 2019 ඉඳලා බලාපොරොත්තුව හිටිය ආහාර දීමනාව. නමුත් ඒක කරගන්න බැරි වෙලා තිබුණා. හැබැයි අපිට ඒ වෙනුවට බටා එක දින 14 ඉඳන් 21 දක්වා වැඩි කරගන්න පුළුවන් වුණා මේ කාලේ.

එතකොට තව ප්‍රශ්නයක් තිබුණා නඩු වලට රාජකාරි කරන්න ගිහිල්ලා නඩු වලට පැටලෙන එක. ඊට පස්සෙ නඩු වැටුනහම තමන්ගෙ සල්ලි වියදම් කරගෙන නඩු කියන්න ඕනේ. මට මතකයි කවුද මට ඇවිල්ලා කිව්වා ගෙදර තියෙන බඩුත් සමහර වෙලාවට විකුණන්න වුණා කියලා නඩු කියන්න. ඉතින් ඒක නිසා අපි කතා කරලා නීති සහන අරමුදලක් පටන් ගත්තා. රජයෙන් මිලියන සීයක් දීල ඒකෙන් අපි පටන්ගත්තෙ. මට මතක විදිහට පොලිසියේ අරමුදලකින් පොලිස්පතිතුමා මිලියන සීයක් දීලා පටන්ගත්තේ ඒක රජයෙන් අපිට නැවත ලැබෙන විදිහට. මං මේ මාස 8 ඇතුළත දී කරගත්තු දේවල්.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment