මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නාකොටික් බහුතරයක් ප‍්‍රබල මත් ජාවාරමුන් සමග ගනුදෙනු කරලා – නි.සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්

948

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කළ උ.පො.ප. උදාර චතුරංග පේ‍්‍රමසිරි ඇතුළු සැකකාර පොලිස් නිලධාරීන් බහුතරයක් මාකඳුරේ මධුෂ් හා බන්ධනාගාරය තුළ සිටම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පොඩි ලැසී, පරවි සුදා මෙන්ම ඩුබායි සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ගිහාන් ෆොන්සේකා වැනි ප‍්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා නීති විරෝධී ගිනි අවි ජාවාරම්කරුවන් සමඟ එක්ව එකී ජවාරම් සිදුකළ බවට සාක්‍ෂි අනාවරණය වී ඇති බැවින් ඔවුන්ව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට පියවර ගත්තේ යැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (19 දා) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට පෙන්වා දුන්නේය.

පිළියන්දල ප‍්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතාට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීම, එම කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධවලට වක‍්‍රව හෝ දායකත්වයක් දක්වා ඇති බවට තොරතුරු අනාවරණය වීම නිසා රටේ විධායක ජනාධිපතිවරයා ගෙන් ලබාගත් රැුඳවුම් නියෝග මත උදාර චතුරංග ඇතුළු පිරිස රඳවාගෙන විමර්ශන සිදුකළ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එකී විමර්ශනවලදී ටී-56 ගිනි අවි ඇතුළු ගිනි අවි 14 ක්, මෙන්ම එකී ජාවාරමේ ගණකාධිකාරිවරයා ලෙස පොලිස් කොස්තාපල් රත්නායක නමැත්තා බාරයේ තිබී රුපියල් 325 ක මුදලක් සහිත ගමන් බෑගයක් අත්අඩංගුවට ගැනීමට සමත් වූ බවද එහිදී පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එකී පිරිසගේ මෙහෙයවීම යටතේ එකී අපරාධ සිදුවී ඇති බව ද අධිකරණයට පෙන්වා දුන්නේය.

එම සැකකරුවන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් වෙන් වෙන්ව සවිස්තර වාර්තාවක් ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත්කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

එම කරුණු සලකා බැලූ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා එම නඩුව ලබන 30 වැනිදා යළි කැඳවීමට දින නියම කළේය.

පොලිස් පරීක්‍ෂක කේ. කරුණාරත්න, ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමග සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය.

එකී සැකකරුවන්ට එරෙහිව මෙතෙක් සිදුකළ විමර්ශනවල සුවිශේෂී කරුණු ඇතුළත් පිටු 15 ක වාර්තාවක් විමර්ශන නිලධාරීන් විසින් එහිදී අධිකරණයට ඉදිරිපත් කළහ.

– ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment