මත්පැන්වලින් තොරවූවන්ටත් වැළඳෙන සිරෝසිස්

868

සිරෝසිස් රෝගය යැයි කියූ විට අපට නිතැතින්ම සිහිපත් වන්නේ ඇල්කොහොල්ය. මන්දයත් සිරෝසිස් රෝගයට ගොදුරු වූ බොහෝ පුද්ගලයන් අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූවන් බව හෙළිවී ඇති බැවිණි. නමුත් වර්තමානයේ ඇල්කොහොල් අංශු මාත්‍රයක්වත් ශරීරගත නොවූවන්ද සිරෝසිස් රෝගයට ගොදුරු වීමේ අවදානමක් මතුවෙමින් පවතී. ඊට බලපා ඇත්තේ දියවැඩියා රෝගයේ සංකූලතා රෝගයක් වන අධික තෙල් සහිත අක්මා රෝගයයි. (Fatty Liver)

ඒ අනුව නිසි පාලනයකින් තොරව දියවැඩියා රෝගය දිගු කාලයක් පැවැතීම නිසා ඇල්කොහොල්වලින් තොර අධික තෙල් සහිත අක්මා රෝගය (Non alcoholic Fattyliver) (NAFLD) වැළඳිය හැකි බවට මේ වනවිට හඳුනාගෙන ඇත.

මීට වසර දහයකට පමණ පෙර අපගේ රෝහල්හි ප්‍රතිකාර ලබන සිරෝසිස් රෝගීන් දෙස විමසා බැලූවිට ඔවුන් සියලුදෙනා අධික ලෙස මත්පැන්වලට ඇබ්බැහි වූවන් බව හඳුනාගෙන තිබිණි. නමුත් වර්තමානයේ රෝහල්හි ප්‍රතිකාර ලබන සිරෝසිස් රෝගීන් අතර මෙම NAFLD රෝගය නිසා සිරෝසිස් රෝගය මතුවී ඇති රෝගීන් බහුලව සිටින බව වාර්තා වේ.

මත්පැන්වලින් තොරවූවන්ටත් වැළඳෙන සිරෝසිස්

● ඇල්කොහොල්වලින් තොර අධික තෙල් සහිත අක්මා රෝගය (Non alcoholic Fattyliver) (NAFLD)

මෙම රෝගයට බලපාන අවදානම් හේතු කිහිපයක් ඇත. අධික තරබාරුව, රුධිරගත සීනි මට්ටම නිසි පාලනයකින් තොරව පැවැතීම, දියවැඩියාව සහ ව්‍යායාම මදකම ඉන් ප්‍රධාන තැනක් ගනී.

අධික තරබාරුව සහ ව්‍යායාම මද බවද දියවැඩියා රෝගය ඇතිවීමට බලපායි. එබැවින් මෙම NAFLD රෝගය සඳහා බලපාන ප්‍රධාන පරිවෘත්තීය රෝගය බවට (Metabolic Disease) දියවැඩියාව පත්ව ඇත.

මෙම රෝගය නිසා අක්මාවේ සිරෝසිස් රෝගයට අමතරව අක්මා පිළිකා (Hepato sonoma Carcinoma) රෝගය ද මතුවිය හැකිය. මෙම රෝග දෙකම මතුවුවහොත් රෝගියාගේ ජීවිතය ඉතා ඉක්මනින් මරණයෙන් කෙළවර වේ.

මෙහි බරපතළම තත්ත්වය වන්නේ මෙම රෝග තත්ත්වය කිසිදු ආකාරයකින් මත්පැන් පානය නොකරන කාන්තා, පිරිමි බේදයකින් තොරව දෙපාර්ශ්වයටම වැළඳීමය.

● දියවැඩියාව නිසා

දියවැඩියාව රෝගයේ දී රුධිරගත සීනි ලෙස පාලනය සිදුනොවී එය නරක තත්ත්වයට පත්වූවිට රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වේ. එවිට නිදහසේ රුධිරේ පාවෙන තෙල් අංශු ප්‍රමාණය වැඩි වේ. එම තෙල් අංශු ඉතා පහසුවෙන් අක්මාව වෙත ගොස් එහි තැන්පත් වේ.

● අධික තරබාරුව නිසා

තරබාරු තත්ත්වයේ දී සිරුරේ තැන්පත්ව ඇති මේදය ප්‍රමාණය අධිකය. එම මේදය අක්මාවේ ද අධික ලෙස තැන්පත් වේ.

● ව්‍යායාම අඩු බව

සාමාන්‍යයෙන් සිරුරේ තැන්පත්ව ඇති මේදය දහනය කරන්නේ සිරුරේ මාංශපේශි වෙහෙස කරවීම මගිනි. එම මාංශ පේශි වෙහෙසකරවීම ව්‍යායාම මගින් ඉතා පහසුවෙන් සිදුකළ හැකිය. ව්‍යායාම අඩුවීමෙන් මාංශ පේශි වෙහෙසකරවීම අවම වේ. එනිසා ඉතා පහසුවෙන් අධිකව මේදය සිරුරේ තැන්පත් වේ.

එසේ සිරුරේ අධිකව තැන්පත් වන මේදය ඉතා ඉක්මනින් අක්මාව වෙත ද ගමන් කර එහි තැන්පත් වේ.

● ඇල්කොහොල්වලින් තොර හෙපටයිටීස්

අක්මාවේ අධිකව තැන්පත් වන මේදය නිසා ඇල්කොහොල් වලින් තොර හෙපටයිටීස් රෝගය (Non alcoholic Steatohepatitis) මතුවිය හැකිය. මේ සමගම අක්මාවේ ඉදිමුමක් ද හටගනී.

මෙලෙස ඇතිවන හෙපටයිටීස් රෝගය නිසා අක්මාවේ සෛල ක්‍රමානුකූලව මිය යෑමට පටන්ගනී. එසේ සෛල මියයෑමත් සමග අක්මාවේ සිරෝසිස් රෝගය හටගනී.

මෙලෙස සිරෝසිස් රෝගය මතුවී කාලයක් යන විට අක්මාව හරහා ගමන් කරන බඩවැල්හි රුධිර නාළ අවහිරවීමට ලක්වේ. එසේ රුධිර නාළ අවහිරවීම නිසා ඒවායේ හටගන්නා පීඩනය හේතුවෙන් අසාමාන්‍ය රුධිර නාළ හටගනී. ඒවා ගලනාලය හා ආමාශය අතර

හටගැනීම බහුලව දැකිය හැකිය. මෙම රුධිර නාළ පුපුරා යෑමෙන් ලේ ගැලීම් සිදුවේ. එවිට ලේ වමනය වීම වැනි තත්ත්වයන් මතුවේ.

අපගේ අක්මාව යනු සිරුරේ අපද්‍රව්‍ය බැහැර කරන විශාල ඉන්ද්‍රියයකි. අප සිරුරට ගනු ලබන ආහාර, ඖෂධ ආදී සියලු ද්‍රව්‍යයන්හි ඇති ශරීරයට විෂ සහිත ද්‍රව්‍ය පිත්තාශයේ නිපදවන පිත සමග සිරුරින් පිටකරන්නේ අක්මාවය.

එසේම සිරුරේ වැදගත් ප්‍රෝටීන් වර්ගයක් වන ඇල්බියුමින් තැන්පත් කරගන්නේ ද අක්මාවෙ ය. අක්මාව රෝගීවීම නිසා මෙම ඇල්බියුමින් ප්‍රෝටීනය තැන්පත් වීමට ද බාධා ඇති වේ. මෙම ප්‍රෝටීනය සිරුරේ අඩුවීමෙන් රුධිරයේ පීඩනය අඩුවේ. එවිට සිරුරේ පටකවල ඇති ජලය රුධිරයට යළි උරාගැනීම දුර්වල වේ. එසේ වූවිට දෙපා ඉදිමුම උදරය ඉදිමුව ආදී තත්ත්වයන් හටගනී.

එසේම විටමින් ‘කේ’ (K) හරහා රුධිරය කැටිගැසීමට අවශ්‍ය සංඝඨක රැසක් නිපදවන්නේ ද අක්මාව මගිනි. අක්මාව දුර්වලවීම නිසා එම සංඝඨක නිපදවීම අඩුවීමෙන් රුධිරය කැටිගැසීම දුර්වල වේ.

එනිසා සිරෝසිස් රෝගීන්ගේ සමට යටින් ලේ ගැලීම් ආදිය සිදුවන්නේ මෙම තත්ත්වය නිසා ය.

සිරෝසිස් රෝගීන්ට අක්මා පිළිකා රෝගය ද වැළඳී තිබීම බහුලව දැකිය හැකිය.

මෙම තත්ත්වයන් මත තම සිරුරේ තරබාරුව අඩුකර ගැනීම, දියවැඩියාව පාලනය කරගැනීම ආදිය සඳහා යොමුවිය යුතුය.

මන්දයත් වර්තමානයේ අප රටේ තරුණ පරපුර අතර බහුලව තරබාරුව සහ දියවැඩියාව රෝගය මතුවීම දැකිය හැකිය.

තරුණ වියේදීම මෙම රෝගවලට ගොදුරුවීම නිසා ඔවුන්ගේ සිරුරේ දිගු කාලයක් මෙම රෝග පවති. එවිට මැදිවියට පත්වන විට ඉතා පහසුවෙන් මෙම රෝගවල බලපෑමෙන් අක්මා රෝගවලට ගොදුරුවීමේ ඇති ඉඩකඩ වැඩි වේ.

එබැවින් මෙම රෝග තත්ත්වය පාලනය කර ගැනීමට අවධානය යොමු නොකළ හොත් ඉදිරියේදී අක්මාවේ අධික ලෙස මේදය තැන්පත්වීමේ රෝගය සහ ඇල්කොහොල්වලින් තොර සිරෝසිස් රෝගය සුනාමි තත්ත්වයක් බවට පත්විය හැකිය.

මත්පැන්වලින් තොරවූවන්ටත් වැළඳෙන සිරෝසිස්

කොළඹ ජාතික රෝහලේ අන්තරා සර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විද්‍යා ජෝති – ප්‍රසාද් කටුලන්ද

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment