මත්පැන් අලෙවිය 50 කින් පහළට: සුරාබදු ආදායම කෝටි 2700 කින් ඉහළට

178

සුරාබදු ඉහළ දැමීම හේතුවෙන් මත්පැන් අලෙවිය සියයට පනහකින් පමණ පහළ වැටී තිබුණත් ඉකුත් 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේදී සුරාබදු ආදායම රුපියල් කෝටි 2700 කින් (බිලියන 27) වැඩි වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

2022 වසරේ සුරාබදු මගින් රුපියල් කෝටි 18,500 ක ආදායමක් (බිලියන 185) ඉලක්ක කර තිබුණත් රටේ ඇතිවූ අනපේක්‍ෂිත ආර්ථික කඩාවැටීමත් තවත් කාරණා කිහිපයක් නිසාත් එම ඉලක්කයට යෑමට නොහැකිවූ බවද එම දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසීය.

ඒ අනුව කොරෝනා වසංගතය පැවැති 2020 වසරේ සුරාබදු ආදායම රුපියල් කෝටි 12,100 (බිලියන 121) ලෙස පහත වැටුණු අතර 2021 වසරේදී එම ආදායම රුපියල් කෝටි 13,800 (බිලියන 138) දක්වා යළි ඉහළ ගොස් තිබිණි.

කෙසේ වෙතත් ඉකුත් 2022 වසරේදී රට තුළ ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හා ඉන්ධන මිල ඉහළයෑම ආදිය නිසා මත්පැන් මිලදී ගැනීම සියයට 45 කින් පමණ අඩු වූ බවද කපිල කුමාරසිංහ මහතා කීය. නමුත් බදු ප්‍රමාණය ඉහළ දැමීම නිසා මත්පැන් අලෙවිය අඩකින් පහළ ගියත් 2022 දී රුපියල් කෝටි 16,500 (බිලියන 165) ආදායමක් උපයා ඇත.

සාමාන්‍ය වසරවලදී දෛනික සුරාබදු ආදායම රුපියල් කෝටි 50 (මිලියන 500) ක් පමණ වූ අතර ඒ කාලයේ සුරාබදු මගින් වසරකට රජයට රුපියල් කෝටි 15,000 (බිලියන 150) ක පමණ ආදායමක් ලැබී තිබිණි.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment