මත්පැන් කර්මාන්තශාලා විවෘත කිරීමට රජය ගත් තීරණය වහාම හකුලා ගත යුතුයි!

200

මත්පැන් නිෂ්පාදන කර්මාන්තශාලා තුනක් ආරම්භ කිරීම සඳහා රජය ගෙන ඇති තීරණය වහාම හකුලා ගත යුතු බව ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කරති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ පංචශීල ප‍්‍රතිපත්තිවලට එරෙහි මෙවැනි තීරණ මගින් රජය ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිටින බවයි. මෙවැනි තීරණ අනුමත කරන කැබිනට් මණ්ඩලයකින් ජනතාවට පරිහානියක් සිදුවන බව ප‍්‍රකාශ කරන උන්වහන්සේ අවධාරණය කරනු ලබන්නේ රජය මෙම යෝජනාව වහාම හකුලා ගත යුතු බවයි. ඇඹිලිපිටියේ ඊයේ (23 දා* පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව ප‍්‍රකාශ කළ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළහ.

”මුදල් අමාත්‍යංශය මත්පැන් නිෂ්පාදන බලපත‍්‍ර තුනකට අවසර දීමෙන් සිද්ධ වෙන්නේ ලංකාව තුළ බීමත්කම ප‍්‍රචලිත වෙන එකයි. බේබදුකම ප‍්‍රවර්ධනය කරන්න රජයට තියන උනන්දුව කුමක්ද? ජනතාව ප‍්‍රශ්න වලින් කෑගහනකොට ඒ අයගේ සිහි විකල් කරලා අවධානය වෙනස් කරන්න තමයි මේ වගේ වැඩ කරන්නේ. යටත් විජිත කාලේ යුරෝපා අධිරාජ්‍යවාදීනුත් මේ වගේ වැඩ කරා. මිනිස්සු බේබද්දෝ කරාම ඔවුන්ව වහල්ලූ කරගන්න ලේසියි.”

”අද රටේ ජනතාවට කන්න බොන්න නෑ. ගෑස් නෑ. ඉන්ධන නෑ. රටේ විදේශ විනිමය නෑ. රට ආර්ථික වශයෙන් පසුබාල තියන තත්වයක් තියෙන්නේ. එවැනි පසුබිමක් තුළ රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවෙන් සුරාබදු කොමසාරිස් වරයාට මධ්‍යසාර කර්මාන්ත ශාලා තුනක් විවෘත කරන්න අවසර දෙන්න කියලා ලිපියක් යොමුකර තිබෙනවා. මධ්‍යසාර නිපදවීමෙන් රටේ සහ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතනව නම් ඒක මෝඩකමක්”

”ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට ලංකාවේ බේබදුකම වර්ධනය වෙලා. ලෝකේ අනෙක් රටවල්වල මත්පැන් පරිභෝජන වේගය 55% වෙද්දි ලංකාවේ ඒක 95%ක් වෙලා. වගකීම් සහගත මහජන හිතකාමී රජයක් හැටියට කරන්න ඕනෙ මත්පැන් භාවිතය අවම කරන්න කටයුතු කරන්න ඕන එකයි. මේ ගැන රජයට උපදෙස් දෙන්න ඉන්න නාටා ආයතනයත් නිහඩව සිටීම කනගාටුවට කරුණක් බව දැනෙනවා. අපි ඉදිරියේදී රජයේ මෙම තීරණයට එරෙහිව මහජන පවුරක් හදනවා. මහානායක හිමිවරුන්, පූජකවරුන් සහ සිවිල් සංවිධාන එක්ව මීට එරෙහිව නැගී සිටිනවා.”
ඕමල්පේ – ප‍්‍රගීත් ජානක

advertistmentadvertistment
advertistmentadvertistment