මත් ගින්න නිවන වේදිකා සිසිලස අග්නි නිදහස් අභිමන

90

ජීවිතය වැරදුණු හැටි ගීතයෙන් ගායනා කරනකොට මිනිස්සු ඉකි ගසා හැඬූහ…

ආධුනික අග්නි මෙරට ජනප්‍රිය සංගීත කණ්ඩායම්වලට දෙවැනි නෑ…

අග්නි නිදහස් අභිමන අමද්‍යප සංගීත කණ්ඩායමක්…

සෞන්දර්යාත්මක රසවින්දනයට මත්පැන්, මත්ද්‍රව්‍ය අවශ්‍ය නොවන බව අග්නි සමාජගත කළා…

දවස නිවෙන්නට පෙර මන්දාරම් අඳුර රජයන්නට විය. එහෙත් ඒ හැන්දෑව රත්නපුර ලෙල්ලුපිටියට චමත්කාරජනකය. පාට, පාට විදුලි බුබුළුවලින් ඒකාලෝක වූ ලෙල්ලුපිටිය සිල්වරි හෝටලයේ විචිත්‍රත්වය තීව්‍ර වී ඇත්තේ මන්දාරම් අඳුර නිසා බව අපට හැඟේ. අඳුර මැදින් විශාල ජනකායක් එම හෝටල් පරිශ්‍රයට පැමිණෙමින් සිටිනුයේ ද ජීවිතයේ පෙර නොවිඳි නැවුම් අත්දැකීමක් විඳගැනීමට බව සැබෑය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සිල්වරි හෝටලයේ අධ්‍යක්‍ෂ සමන් උපසේන, ජනරාල් වනසිංහ සහ වී. එෆ්. එම්. නාලිකාවේ සභාපති ෂනිල් මෙන්ඩිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් පෙරටු කරගෙන අසුන්ගෙන සිටි විශාල ආරාධිතයන් පිරිස නොවිසිලිමත්ව බලා සිටිනුයේ නැවුම් ජීවිත අත්දැකීම විඳගැනීමටය. වැරැදුණු ජීවිත නිවැරැදි කරගත් ආකාරය ගීතයෙන් සහ නර්තනයෙන් හදවත්වලට සන්නිවේදනය කරන ගී මියැසියක රසය සිත් පුරා විඳගැනීමටය. නිරන්තරයේ නැවුම් අද්දැකීම් සමාජගත කරන ‘මිතුරු මිතුරෝ සංසදයේ’ යෞවනයන් නොවිසිලිමත්ව සිටිනුයේ තම ජීවිත අත්දැකීම් ගීතයෙන් සහ නර්තනයෙන් ඉදිරිපත් කිරීමටය. එහෙත් ගී මියැසිය ආරම්භ කිරීමේ හෝරාව තවම පැමිණ නැත. ඒ අවසරයෙන් මිතුරු මිතුරෝ සංගීත කණ්ඩායම ආරම්භ කිරීමට පාදක වූ කරුණු විමසා බැලීමට මිතුරු, මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවන් සමඟ මම සම්මුඛ වෙමි.

“සංගීතය තුළින් මිනිසුන්ගේ සිත් සුවපත් කරන්න පුළුවන්. ඒක ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමයක්. මිතුරු, මිතුරෝ ආයතනය තුළ එම විද්‍යාත්මක විශෝධන ක්‍රමවේදය අත්හදා බැලුවා. සියයට, සියයක් සාර්ථකයි. ඒ සාර්ථකත්වය තමයි ‘අග්නි නිදහස් අභිමන’ නමින් අද කලඑළි දකින්නෙ. ඒ වගේම ‘අග්නි’ මගේ එක සිහිනයක් සැබෑ වීමක්. ඒ සිහිනය සැබෑ කරගැනීමට සංගීත භාණ්ඩ මිලදී ගැනීමට ෂනිල් මෙන්ඩිස් මහතා අතිවිශාල මුදලක් පරිත්‍යාග කළා. සමන් උපසේන මහතා මේ උත්සවයට පූර්ණ අනුග්‍රහය දැක්වූවා. ඔවුන්ගේ දායකත්වය නොලැබෙන්න සංගීත කණ්ඩායම හැදීම තව කල් යන්න ඉඩ තිබුණා. ඒ වගේම ‘පුනරුත්ථාපන’ කියන නාමය අපේ සමාජයෙන් සම්පූර්ණයෙන්ම අතු ගා දැමීමත් කාලයක සිට මම දකින සිහිනයක්. එම සිහිනය සැබෑ කරගැනීමට අග්නි ලොකු පිටිවහලක් වන බව මට විශ්වාසයි…” තම ආත්ම සුඛවිහරණය සඳහා නොව, මත නිසා වැනසෙන දරුවන්ගේ හෙට දවස ගැන සිහින රැසක් පොදි බැඳගෙන පැල්මඩුල්ල කිරිබත්ගල කඳු මුදුනේ මැටි කුටියක් හදාගෙන මත නිසා නොමඟ ගිය තරුණයන් බොදු පිළිවෙතින් සුවපත් කළ බෝධානන්ද හාමුදුරුවන්ගේ බොහෝ සිහින සැබෑ වී ඇති බව සැබෑය. බොදු පිළිවෙතින් මනස සුවපත් කරන ‘විශෝධනය’ කරළියට ගෙන ‘පුනරුත්ථාපනය’ බියජනක නාමය අපේ සමාජයෙන් නොදුරේදීම අතු ගා දැමීමට උන්වහන්සේට ශක්තිය ධෛර්ය තිබෙන බව අපට විශ්වාසය.

මත් ගින්න නිවන වේදිකා සිසිලස අග්නි නිදහස් අභිමන
මිතුරු, මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හිමි

ගින්න… ගිනි… ගිනි… අලුත්ම ගීතයකින් වේදිකාව පමණක් නොව විසල් ශාලාව ගිඟුම් දෙන විට අසුන්ගෙන සිටි පිරිස අතරින් අත්පොළසන් වර්ෂාවක් නැඟිණි. ගිනිගෙන දැවෙමින් තිබෙන තරුණ ජීවිත නිවා සනහාළන මිතුරු මිතුරෝ සංසදයේ නැවුම් සෞන්දර්යාත්මක අත්දැකීම ‘අග්නි නිදහස් අභිමන’ ගිනි ජාලාවක් මැදින් වේදිකාගත විය. සංගීත ප්‍රසංගයක් කියූ සැණින් සිතට නැගෙනුයේ සැරට අඩිය ගහලා ගායනට, වාදනයට පාද තබමින් ෆන් එකේ ගීත විවිධත්වයක රසවිඳීමකි. එහෙත් මේ සංගීත ප්‍රසංගය වෙනස්ය. ‘අග්නි’ සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් ඇති වෙන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කොට නැති වෙන්න ගොස් මිතුරු මිතුරෝ ආයතනයේ පිහිටෙන් ජීවත්වන තරුණයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. එම සංගීත කණ්ඩායමේ තරුණයො ‘මත’ කියන අකුරු දෙකට ද වෛර කරති. එහෙයින් මේ ප්‍රසංගය තුළට මත්පැන්, දුම්වැටි, මත්ද්‍රව්‍ය සපුරා තහනම්ය. ඉදිරියටත් අග්නි වේදිකා ගත වන සෑම ප්‍රසංගයකදීම මත තහනම්ය. ‘මිතුරු ගී මියැසිය’ ජීවිතයට ලැබෙන නැවුම් අත්දැකීමක් බව පෙර සිට අප සඳහන් කළේ අග්නි යනු අමද්‍යප ප්‍රසංගයක් වන බැවිනි. එමෙන්ම අග්නි සංගීත ප්‍රසංගය තුළ හදවතට සතුටක් මෙන්ම විටෙක දෑසට කඳුළු ද එකතු විය.

ජීවිතයේ වැරැදි නිවැරැදි කරගත් ආකාරය ගැන මවුපියන් වැළඳගෙන තරුණයන් ගායන කරන විට ගල් නොවෙන හදවත් උණු වී දෑස්වලින් කඳුළු කඩා හැළිණි. එක තරුණයෙක් පුංචි දියණියක් එවා තිබූ ලිපියක් අතේ ගුලි කරගෙන ගීතයෙන් දියණියගෙන් සමාව යදින විට ඉදිරිපෙළ අසුන්ගෙන සිටි භික්‍ෂූන්වහන්සේගේ ද දෑස් තෙත් වන අයුරු මම දුටිමි. ඇතැම් කාන්තාවෝ ඉකි ගසා හැඬූහ. දුක, සතුට එක සේ ගලා යන අග්නි ගී මියැසියේ සාර්ථකත්වය මෙරට ජනප්‍රියතම සංගීත කණ්ඩායම්වලට දෙවැනි නැත. මෙරට සුපිරි සංගීත කණ්ඩායම් භාවිත කරන නවීන වාද්‍ය උපකරණ අග්නි සතුය. ප්‍රවීණ පුහුණු උපදේශකවරු යටතේ පුහුණුවීම් කටයුතුවල නියැළෙන තරුණයන් ද මෙරට සුපිරි වාදන ශිල්පීන්ට නොදැවැනිය. අග්නි නිදහස් අභිමන කලඑළි දුටුවා පමණි. ඔබටත් අමද්‍යප සංගීත ප්‍රසංගයක මිහිර විඳගැනීමට අවස්ථාව තිබෙන බව අප සතුටින් මතක් කර සිටිමු.

සංගීතය යනු ලොව පිළිගත් චිකිත්සාවකි. එය චිකිත්සාවක් බවට පත්වනුයේ රසවින්දය හරහාය. රසවින්දනයෙන් සතුටු සිතක් ඇති කරගෙන, ඒ සතුටු සිතම චින්තනය මුවහත් කරන ක්‍රමයක් බවට පත් කරගැනීම තුළය. ඒ සඳහා උපකාරාත්මක ක්‍රමයක් ලෙස මෙවැනි සංගීත ප්‍රසංග හඳුන්වාදිය හැකිය. සංගීත චිකිත්සාව ගැන ලොව පිළිගත් විශ්වවිද්‍යාල කිහිපයක්ම පර්යේෂණ කරගෙන යන බව සැරෙන්ඩෝ විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්ය, ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලයන්හි බාහිර කථිකාචාර්ය ආචාර්ය ඇත්කඳවක සද්ධාවජීව හාමුදුරුවෝ ද මා සමඟ පැවසූහ.

“මේ වන විට ලොව පුරා රටටවල මනෝ විද්‍යාත්මක වපසරිය තුළ විශාල වශයෙන් සංගීත චිකිත්සාව උපයෝගී කරගෙන විවිධ ට්‍රිට්මන්ට් ප්ලෑන් සකස් කිරීමේ ක්‍රමවේදයන් දකින්න ලැබෙනවා. මිතුරු මිතුරෝ සංසදයේ නිර්මාතෘ කුප්පියාවත්තේ බෝධානන්ද හාමුදුරුවොත් ලොව පුරා තිබෙන අත්දැකීම් එකතු කරගෙන අග්නි සංගීත කණ්ඩායම හදලා තියෙන බව පේනවා. ඒ ගැන අපි සතුටට පත් වෙනවා විතරක් නෙමෙයි, උන්වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ වගේම සෞන්දර්යාත්මක රසවින්දනයට මත්පැන්, මත්ද්‍රව්‍ය කිසිම අවශ්‍යතාවයක් නැති බව අග්නි වැඩසටහන හරහා මේ දරුවො පෙන්වා දීලා තියෙනවා. මේ දරුවො නැවත සමාජගතවීමෙන් පසුව මද්‍යසාර, මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව සාද සාමිච්චී, සංගීත ප්‍රසංග රසවින්දනයට පුරුදු පුහුණු වී සිටින අපූර්වත්වය, මතින් තොරව සංගීත වැඩසටහන්වලට ඉදිරිපත්වීමට තිබෙන හැකියාව අග්නි තුළින් ඔවුන් ප්‍රදර්ශනය කරනවා. ඒ නිසා අග්නි සංගීත ප්‍රසංගය සමාජයට හොඳ පණිවිඩයක් ලබාදෙනවා…” තවත් උන්වහන්සේට බාධාවක් නොවෙමි. අග්නි රසවිඳීමට ඉඩ හැර මම ඈතට ගියෙමි.

දැනුම එකතු කරගැනීමට පොත්පත් කියැවීමට, දේශනවලට සවන්දීමට ඇවැසි නිසල මනස හදාගැනීමට සංගීතය භාවනාවක් බව සැබෑය. එමෙන්ම සංගීතය තුළ තිබෙන විශ්ව භාෂාව තුළට කිමිදීමට සමාධිමත් සිතක් ඇවැසිය. ගීතයක අර්ථ රසය හා ශබ්ද රසය ජනිත කරගැනීම සඳහා සංවේදී මනසක් තිබිය යුතුය. සංගීතයට ඇලුම් කරන ඒ සමඟ රසවින්දනාත්මකව ජීවත්වන අයගේ පරිකල්පන ඥානය අතිශය ඉහළය. දියුණු පරිකල්පන ඥානයක් සහිත මිනිසුන්ට යමක් පිළිබඳ දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් දකින්නට හැකියාව තිබේ. දරාගැනීමේ ශක්තිය තිබේ. අග්නි ගී මියැසියේ ඉදිරිපත් වූ ගීත, නර්තන අංගයන්වලින් ඉහත සඳහන් සියලු ගුණාංග ඉස්මතු වූ බව සැබෑය.

මතින් වල්මත්ව ගෙවූ අතීතය මරා දමා ජීවිතය සොයාගෙන අලුත් ගමනක් යන යෞවනයන්ගේ දක්‍ෂතා නරඹමින්, ගී රස විඳිමින් සිටින විට ජිංජර් කෲසෝ පරිසරවේදියා විසින් සිදු කරනු ලැබූ පර්යේෂණයක් මගේ මතකයට නැඟිණි. හේ පුංචි පැළෑටි දෙකක් ගෙන වෙන, වෙනම පෝච්චි දෙකක සිටුවා එකම ප්‍රමාණයකින් අවශ්‍ය ජලය, පොහොර අඛණ්ඩව ලබා දුන්නේය. එක පැළෑටියකට අවශ්‍ය වතුර, පොහොර සැලකිල්ලකින් තොරව ලබාදෙනවිට අනෙක් පැළෑටියට ජලය, පොහොර සමඟ විශේෂ ආදරයක්, කරුණාවක් දැක්වූයේය. පර්යේෂණ කාලසීමාව අවසානයේ පැළෑටි දෙකේ වර්ධනය දෙවිදිහකි. විශේෂ සැලකිල්ලකින් තොරව ජලය, පොහොර ලබාදුන් පැළෑටියට සාපේක්‍ෂව ආදරය, සෙනෙහස දක්වමින් රැකබලාගත් පැළෑටියේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබිණි. එයින් හැඟෙනුයේ මේ ලෝක තලයේ ජීවි, අජිවී සියලු කොටස්වලට ආදරය, සෙනෙහස, කරුණාව වැනි ගුණාංගවල අතිශය බලපෑමක් තිබෙන බවය. ආදරය, කරුණාව, මෛත්‍රිය කියන ගුණධර්ම සංවේදී නොවෙන පුද්ගලයන්, එම ගුණ ධර්ම පිළිබඳ හැඟීමක්, දැනීමක් ඇති නොවෙන, ගුණ ධර්මවලින් හීන වූ සිතීමේ ශක්තිය දුර්වල පුද්ගලයන් සත්ව චර්යාවන් සහිත පිරිසක් බවට පත්වීම අරුමයක් නොවේ.

එහෙත් වල්මත් වන සතුන් පවා ආදරය, සෙනෙහස, කරුණාව දැක්වීම තුළ හීල වන බව සැබෑය. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමෙන් වල්මත් වූ තරුණ, තරුණියන් පමණක් නොව ජන්මයෙන්ම තිරිසන් ගතිපැවතුම් තුරුළු කරගෙන මෙලොවට පැමිණි පුද්ගලයන් පවා මිතුරු මිතුරෝ ආයතනයේදී සුමගට ගනුයේ ආදරය, සෙනෙහස කරුණාව මෛත්‍රී ගුණ ධර්මවලින් හදමඬල සහ අපිරිසිදු මනස පිරිසිදු කිරීම තුළිනි. ‘අග්නි’ යනු එම වෙදගෙදරට එකතු වන සිතීමේ ශක්තිය, දරාගැනීම, ආදරය, කරුණාව, දයාව පෝෂණය කරන සෞන්දර්යාත්මක ප්‍රතිකාර ක්‍රමයකි. නොදුරේදීම ඔබේ නිවසේ ආලින්දයේ සිට රූප පෙට්ටිය හරහා ‘අග්නි’ රසවිඳිය හැකි බව ද සිහිපත් කළ යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment