මත් රකුසාගෙන් දරුවන් ගලවමු

461

මේ වනවිට අප රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. සුද්දාගෙන් පසු එදාමෙදා තුර රට පාලනය කළ අය මේ සඳහා වගකිව යුතුය. ජනතාවට තුන්වේල කන්න බැරි ආර්ථිකයක් නිර්මාණය කළෝ වෙන කවුරුවත් නොව මොවුන්මය. එහි ප්‍රතිඵලයක් ලෙස මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ අප රටට දායාද වී තිබේ. මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් හෙට දවසේ අප රට තවදුරටත් වළපල්ලට යනු ඇත. මැති සබයේදී වැදි බණ දේශනා කළ ද ඉන් අප රටට හෝ අපේ දරුවන්ට වන යහපතක් නැත. දැන්වත් රට පාලනය කරන ඇත්තෝ වැදි බණ නොදොඩා රට වැටී ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.

අප රට වෙළාගෙන ඇති ආර්ථික ව්‍යසනයටත් වඩා දරුණු ව්‍යසනයන් මේ මොහොතේ අප රට තුළ වර්ධනය වෙමින් පවතී. ඒ අන් කිසිවක් නොව මත්ද්‍රව්‍ය උවදුරයි. කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම උවදුරින් රට මුදා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් මේ මොහොතේත් ක්‍රියාත්මක නොවීම කනගාටුදායකය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට මත්ද්‍රව්‍ය රකුසා පාසල් දරුවන් ද බිලිගන්නා මට්ටමට වර්ධනය වී තිබේ.

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ සිසුවකු පසුගිය දිනවලදී අත්අඩංගුවට ගනු ලැබුවේ මිල්ලනිය ප්‍රදේශයේදීය. පාසල් සිසුවා සමග තවත් පුද්ගලයන් තිදෙනකු විශේෂ කාර්ය බළකාය විසින් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අතර මල්වතුහිරිපිටිය පාසලක මේ හා සමාන සිද්ධියක් වාර්තා විය. උතුරු මැද පළාතේ පාසල් හා පෞද්ගලික පන්තිවල දරුවන්ට මත්ද්‍රව්‍ය විකුණන බවට ලද තොරතුරකට අනුව උතුරු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයසූරිය මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි. පානදුර ප්‍රදේශයේදී මත්වන සුගර් බෝල සහ ලොලිපොප් තොගයක් අත්අඩංගුවට ගනු ලැබූයේ සැකකරුවන් දෙදෙනකු ද සමගිනි. මොවුන්ගේ ඉලක්කය ද පාසල් සිසුන් බව අනාවරණය විය.

අප ඉහතින් සඳහන් කළේ මත්ද්‍රව්‍ය පාසල් සිසුන් බිලිගන්නා බවට සාක්‍ෂි සහිත උදාහරණ කීපයක් පමණි. මීට අමතරව තවත් සිද්ධීන් ගණනාවක් ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.

මෙම තත්ත්වය සුළුකොට තැකිය නොහැක. මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා විවිධ කායික හා මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉතා ඉහළය. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඇතිවෙන මානසික ව්‍යාකූලතා නිසා දරුවන් සියදිවි හානිකර ගැනීමට වුවද පෙළඹිය හැකිය. අද අප රට මුහුණ දී තිබෙන සමාජ ආර්ථික ප්‍රශ්න හමුවේ හෙට රටට අවශ්‍ය නිරෝගී දරු පරපුරකි. ආර්ථික පීඩාවන් නිසා දරුවන් පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙද්දී තවත් දරුවන් පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවහොත් හෙට අප රටට ඉතිරි වන්නේ ලෙඩ්ඩු ටිකක් පමණි. රටේ සමස්ත අනාගතයම අඳුරු කරන මේ රුදුරු සාපයෙන් අපේ දරුවන් මුදාගැනීම සඳහා දැන්වත් ක්‍රමානුකූල වැඩපිළිවෙළක් අවශ්‍යයයි. ඒ සඳහා වැඩිහිටි පරපුරට ඇති වගකීම පැහැර නොහැරිය යුතුය. නිවසින් බැහැරව පාසලේදී මෙන්ම දරුවන් සමාජය හා ගැටෙන අන් සෑම ස්ථානයකදී දරුවන් සමග ඇසුරු කරන පුද්ගලයන් පිළිබඳව විමසිල්ලෙන් සිටීම දෙමාපියන්ගේ යුතුකමකි. එසේම දරුවන්ගේ අසාමාන්‍ය හැසිරීම් රටා දුටු වහාම ඒ පිළිබඳව විමසිල්ලෙන් සිට අවශ්‍ය පියවර ගැනීමද දෙමාපියන්ගේ වගකීමයි.

මත්ද්‍රව්‍ය උවදුරින් මුදා ගැනීම සඳහා පාසල් ප්‍රධානීන්ට, ගුරුවරුන්ට මෙන්ම ආගමික ප්‍රජාවට ද කළ හැකි මෙහෙය අති විශාලය. මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන ආදීනව කියාදී දරුවන් දැනුවත් කිරීමට මෙම කණ්ඩායම් පියවර ගන්නේ නම් මෙම තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වනු ඇත.

දරුවන් පමණක් නොව අප රටේ තරුණ තරුණියන් වැඩිහිටියන් ඇතුළු සියලු දෙනා ද මත්ද්‍රව්‍ය උවදුරින් බේරා ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් අවැසිව තිබේ. අප රට දූපතකි. එසේ නම් අප රටට මත්ද්‍රව්‍ය පැමිණිය හැක්කේ මුහුදු මාර්ගයෙනි. නැතිනම් ගුවනිනි. මේ සියලු තැන්වල ආරක්‍ෂක මුරකපොළු තිබේ. එහෙත් බාධාවකින් තොරව අප රටට මත්ද්‍රව්‍ය ගෙන එන ජාවාරම දිගටම සිදුකෙරේ. එනිසා මත්ද්‍රව්‍ය පිටුපස ඇති අදිසි හස්තයන් හඳුනා ගැනීමකින් තොරව අප රට මත්ද්‍රව්‍ය රකුසාගෙන් ගලවා ගත නොහැකිය. විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සමග බැඳුණු පාතාල සබඳතා බිඳ දැමීමකින් තොරව අප රට මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවාගත නොහැක. පාතාලයට උදව් කරන ඇතැම් දේශපාලන හස්ත ද ඇතැම් නිලධාරීන් ද මෙම ජාවාරමේ පිටුපස සිටින බවට පවතින සැකය ද සුළුපටු නැත. එනිසා අප රට මත්ද්‍රව්‍ය උවදුරින් ගලවා ගැනීම සඳහා පුළුල් විද්‍යාත්මක මානුෂීය මෙහෙයුමක් දියත් කළ යුතුය. මත් දැලට හාල්මැස්සන්, කූණිස්සන් හසුකර ගැනීම වෙනුවට මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස ඇති තෝරුන් මෝරුන් හසුකර ගැනීමට වහා පියවර ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment