මතුගම තිදරු මවගේ ඝාතකයා වෙඩි කෑව නීලක! – නිවසේ සිටි වැඩිහිටි කාන්තාවක් පොලිසියට කියයි

964

බණ්ඩාරගම හොරණ, බැල්ලපිටිය ප‍්‍රදේශයේ නිවසක පෙරේදා (17 දා) පස්වරුවේ පොලිස් වෙඩි පහරින් මියගිය ‘ඉළිඹේ නීලක’ නමැත්තා ඉකුත් 15 දා රාත‍්‍රි මතුගම තිදරු මවක වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා බවට අනුමාන කරන බව ඝාතනය සිදුවන මොහොතේ නිවසේ සිටි වැඩිහිටි කාන්තාවක ප‍්‍රකාශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තිදරු මවට වෙඩි තබා ඝාතනය කරන මොහොතේ නිවසේ රැඳී සිටි තැනැත්තියට හොරණ මූලික රෝහලේ තැන්පත් කර ඇති සැකකරුගේ මෘතදේහය, ඡායාරූප සහ මතුගම නිවසේ සීසීටීවී දර්ශන පෙන්වීමෙන් අනතුරුව, එදින ඝාතනයට ගිනිඅවිය දරා පැමිණි අය බවට අනුමාන කරන බව ඇය ප‍්‍රකාශ කර ඇතැයි පැවසෙයි.

අදාළ කාන්තාව එසේ අනුමාන ප‍්‍රකාශයක් කළ ද, ඇයගේ වයස් මට්ටම සහ අදහස් දැක්වීම ගැටලූ සහගත බැවින් තවදුරටත් අඛණ්ඩව විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ඉකුත් 15 වැනිදා රාත‍්‍රියේ මතුගම ගාමිණී මාවතේ නිවසක් තුළ චන්දිමා දිල්හානි පෙරේරා නමැති 46 හැවිරිදි දෙදරු මවගේ හිසට වෙඩි තබා ඝාතකයන් පලාගොස් තිබුණි.

ප‍්‍රහාරය එල්ල වූ මොහොතේ සිට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි, කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලූගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී.එල්.ඒ. නයනජිත් මහතා ඇතුළු පොලිස් කණ්ඩායම පැති කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ඒ අතරතුර හොරණ ප‍්‍රදේශයේ දරුණු අපරාධකරුවකු වූ ‘ඉළිඹ නීලක’ නමැත්තා පෙරේදා (17 දා) උදෑසන හොරණ, කඳන ප‍්‍රදේශයේ නිවසක් ඉදිරිපිට අහසට වෙඩිතබා හත් හැවිරිදි සිය එකම දරුවා පැහැර ගෙන ගොස් ඇති බවට ලද තොරතුරක් සමඟින් පොලිස් කණ්ඩායම සැකකරු පසු ලූහුබැඳ තිබේ.

ඒ අනුව තවත් පුද්ගලයින් තිදෙනකු ඝාතනය කිරීමේ අරමුණින් හොරණ, බැල්ලපිටිය ප‍්‍රදේශයේ දෙමහල් නිවසක රැුඳී සිටි සැකකරු පොලිසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබුණි.

මතුගම තිදරු මව ඝාතනය සඳහා යොදා ගෙන ඇත්තේ ද ටී. 56 වර්ගයේ ස්වයංක‍්‍රීය ගිනිඅවියක් බවත්, පෙරේදා පස්වරුවේ හොරණ, බැල්ලපිටිය ප‍්‍රදේශයේ දෙමහල් නිවසක තිබී සොයා ගනු ලැබූවේ ද ටී. 56 වර්ගයේ ගිනිඅවියක් බවත් පොලිසිය කියයි. එබැවින් එම අවි දෙකම එකක් ද යන්න සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ කර ඇතත්, මතුගම ප‍්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ මාක් 1 (කචල් බට්) වර්ගයේ ගිනිඅවියක් බවත්, හොරණ බැල්ලපිටිය ප‍්‍රදේශයේ නිවසක නීලක නමැත්තා වෙඩි තැබීමට යොදාගෙන ඇත්තේ බට් එක රහිත ගිනිඅවියක් බවත් හෙළිවිණැයි පොලිසිය සඳහන් කරයි.

‘ඉළිඹ නීලක’ නමැත්තා භාවිතා කළ අංක තහඩු නොමැති ඩිස්කවරි වර්ගය යතුරුපැදියක් ද කළුතර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සොයාගෙන ඇත. මතුගම ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා ඝාතකයන් පැමිණි වාහනය සොයා පරීක්ෂණ සිදු කෙරේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතාගේ උපදෙස් පරිදි කළුතර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලූගල මහතාගේ ප‍්‍රධානත්වයෙන් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඞී.එල්.ඒ. නයනජිත්, උප පොලිස් පරීක්ෂක අතුල, සැරයන්වරුන් වන සමන්තිලක (41104), නෙළුම් බණ්ඩාර (30787), කොස්තාපල්වරුන් වන වසන්ත (69918), පේමසිරි (97949), ප‍්‍රසංජන (97057), අමරසූරිය (98243) සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති.

ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment