මතු ජීවිත : පශ්චාත් යටත් විජිත සාහිත්‍යය පිළිබඳ නිදර්ශනයක්

389

ටැන්සානියාවේ උපත ලබා, බි්‍රතාන්‍යයට සංක්‍රමණය වී ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ නියුක්ත වූ අබ්දුල් රසාක් ගුර්නා ලියූ AFTERLIVES නව කතාව, රෝහණ වෙත්තසිංහ විසින් ‘මතු ජීවිත’ මැයෙන් සිංහලට පරිවර්තනය කොට ප්‍රකාශයට පත් කිරීම කරුණු කිහිපයක් නිසා වැදගත් වේ. අප රට ද, මේ නවකතාවට පාදකවූ නැගෙනහිර අප්‍රිකාවේ ටැන්සානියාව ද කලක් යටත්විජිතයක්ව පැවති, එනිසාම එහි ජනතාව දැඩි පීඩනයට ලක්වූ, ඊනියා සංවර්ධනය වෙමින් පවත්නා රාජ්‍යයකි. අප පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි අධිරාජ්‍යවලට යටත්ව පීඩා විඳි සේ, ටැන්සානියානු ජනයා ජර්මන් හා බි්‍රතාන්‍ය අධිරාජ්‍යවලට යටත්ව පීඩා වින්දහ.

අපේ රටේ ජනතාව පළමු හා දෙවන ලෝක සංග්‍රාමවල අත්දැකීම් ලැබ සිටියත්, ටැන්සානියානු ජනයා ඊට වඩා බිහිසුණු ලෙස එහි පීඩා අත්වින්දහ. යටත්විජිතවාදීන් වෙනුවෙන් සටන් කිරීමට එහි ජනතාවට සිදු වුවත්, ඒ කිසිසේත්ම පොදුජන අවශ්‍යතාවක් නොවීය. ලෝක යුද්ධ පාදක නවකතා රැසක් ලෝක සාහිත්‍යයට එක්ව තිබුණත් ඒ අතරින් හුදු වාර්තාකරණය ඉක්මවූ, පොදු මානව පැවැත්ම ආශ්‍රිත නිර්මාණාත්මක කෘති සීමිතය. ‘මතු ජීවිත’ අයත් වන්නේ ඒ සීමිත ගොඩටය.

අනෙක් අතට ලෝක යුද්ධ පාදක නවකතා බහුතරයක් එක්කෝ සාංදෘෂ්ටිකවාදයෙන් හෝ මාක්ස්වාදයෙන් අනුප්‍රාණය ලබා ඇති බව පෙනී ගියත් මතු ජීවිත වඩාත් අනුප්‍රාණය ලබා ඇත්තේ මානවවාදයෙන් බව හැඟෙයි.

යුද්ධය නිසා විසිර ගිය සමාජ මානව සබඳතා යටත්විජිතවාදයේම ප්‍රතිඵල බව නවකතාව කියවා යළි සිහිකරනා පාඨකයා අවබෝධ කර ගන්නේ උපේක්ෂාභරිතව ය. එසේ වන්නේ රචකයා අවස්ථා හා චරිත නිර්මාණයේදී දක්වන මධ්‍යස්ථභාවය නිසාය. එහෙත්, මේ කෘතිය සඳහා අබ්දුල් රසාක් ගුර්නාට 2021 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනමමින් දක්වන ලද හේතු පාඨය නිවැරදිය.

“යටත්විජිතවාදයේ, මහාද්වීපික හා සංස්කෘතික යෝධ පරතරය හමුවේ සරණාගත ජීවිතවලට ඇතිවන බලපෑම හා ඉන් අත්වන ඉරණම පිළිබඳ නිර්දය හා සානුකම්පිත තියුණු විමසා බැලීම පාඨකයා කම්පනයට පත් කරන සුළුය. රචකයා සිදුවීම් මාලාව හා සහභාගී වූවෙකු ලෙස තියුණු නිරීක්‍ෂණයකින් කතාව ගොතයි. කාලීෆා, ඉල්යාස්, අයිෆා, හම්සා ආදී චරිත යුද්ධයේ වින්දිතයෝ වෙති.

අපට සමහර විට ඇතැම් චරිත ආගන්තුක වුවත්, ඔවුන් ජීවිතයට මුහුණ දෙන ආකාරය පාඨකයා බැඳ තබා ගනී.

කිරි දරුවකුගේ හැඬුම් මැද බිආශා ගැඹුරු නින්දකට වැටී සිටිනු දක්නට විය. එය නින්දත් නොනින්දත් අතරමැද තත්ත්වයකි. කිසිදු කෑම රුචියක් ද නොදැක් වූ ඇය, කලිෆා හෝ ඈ බලාගත් කත ඇයට අන්දවා තිබූ නැපි තුවාය ඉවත් කිරීමට සිරුර එහාට මෙහාට පෙරළද්දී පවා ඇහැරුණේ නැත. ඇය ආයාසකර ලෙස ගැඹුරු හුස්මක් ගත්තද පසුගිය දිනවල වූ ගොරොද්දෙ අදින ගතිය දක්නට නොවීය. දරු උපතින් තුන්වැනි දවස ගෙවුණු තැන, ජමිලා ගෙදර සියල්ලන්ටම දහවල කෑම සකස් කරදී ඇගේ නිවස බලා ගියා ය. මේ වන විටත් ඇඳෙන් බැස සිටි අෆියා දරුවා නිදාගෙන සිටින අතරේ ගෙදරfදාර එදිනෙදා කටයුතු වලද නිරත විය. එදින හවස් කාලයේ, දරු උපත දා සිටම නින්දේ පසුවූ බිආශා ජීවිත කාලය පුරාවටම නුපුරුදු නිහඬතාවයක ගිලී අවසන් හුස්ම හෙළුවාය.

(පිටුව 37)

මෙම නවකතාවේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ නොබෙල් ත්‍යාගයේ හේතු පාඨයේ දැක්වූ කරුණු වුවත්, යටත්විජිතවාදය පිළිබඳව කතුවරයාගේ ශාස්ත්‍රීය හැදෑරීම අභිබවා යන ආඛ්‍යාන රීතිය හා ඊටම ගැළපෙන ශෛලිය පාඨකයාගේ සිත් ඇදගැනීමට සමත් වේ. මෙහි චරිත මූලික වශයෙන් ගත කරන්නේ සරණාගත ජීවිතයි. යුද්ධය හා දිළිඳුකම නිසා පවුල් ජීවිත ව්‍යාකූල වී ගොසිනි. ජීවිතයේ සාර්ථකත්වය පතා යන ගමන් බිමන් අවසන් වන්නේ අවිනිශ්චිත ලෙසිනි. නවකතාවේ ගලායෑම ඇතැම් විට නාට්‍යාකාරව ද, තවත් විටෙක වාර්තාකාර ලෙස ද විකාශය වන්නේ එය ජීවිතයේ ස්වභාවය බව පෙන්වා දෙමිනි. මේ ස්වභාවය පැහැදිලි කිරීමට වඩා උචිත වන්නේ යථාර්ථවාදී රීතිය බව කතුවරයා පිළිගත් බව හැඟෙයි. නොබෙල් සාහිත්‍ය කමිටු සාමාජික ඇන්ඩ්ර්ස් ඔල්සන් කියා ඇති පරිදි, කතුවරයා පුද්ගල ජීවන චරිත ඇසුරින් අපට පැහැදිලි හා සිත්ගන්නා සුළු ආකෘතියකින් ඉතිහාස පාඩමක් දක්වයි. එහෙත් ඉතිහාසයේ සැබෑ සිද්ධිසේම ඒවා ඉක්මවා අප හමුවට එන්නේ සාමාන්‍ය ජනතාව මුහුණ දුන් ගැටලුය. යටත්විජිතවාදයේ කෲරත්වය පැහැදිලි වුවත් ඒ සිදුවීම් දක්වන්නේ පිරිපහදු කළ සිද්ධි මාලාවකිනි. ඒවා උපේක්‍ෂාවෙන් හා කුතුහලයෙන් යුතුව කියවීමට යථාර්ථවාදී රීතිය අපට අනුබල දෙයි.

මුල් කෘතියක් ඇසුරේ පරිවර්තනය පහසු කාර්යයක් නොවේ. සුදුසු කෘතියක් තෝරා ගැනීම සේම, එහි මුල් අර්ථ උද්දීපනය වන සේ පරිවර්තනය කිරීම අභියෝගාත්මක කාර්යයකි. රෝහණ වෙත්තසිංහ දිගු කලක් මාධ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කිරීමෙන් හා හොඳ සාහිත්‍ය කෘති පරිශීලනයෙන් මුවහත් වූ ලේඛකයෙකු බැවින් ඔහු තමා අබියස ඇති අභියෝගය ජයගෙන ඇත. ඔහුගේ බස් වහර නවකතාවට සාධාරණයක් ඉටු කරයි.

මෙම පරිවර්තනය වඩා වැදගත් වන්නේ, මුල් කෘතියේ එන පශ්චාත් යටත්විජිත තේමාව, අපේ රටට ද සාධාරණ වීම හේතුවෙන් අද විචාරක පර්ෂද අතර ද පශ්චාත් යටත්විජිත කතිකාවක් ගොඩනැගී ඇති පසුබිමක, මතු ජීවිත පිළිබඳ තව තවත් සාකච්ඡා විය යුතු බව මගේ පිළිගැනීමයි.

● සුගත් වටගෙදර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment