මදාවි ඩ්‍රයිවින් ඉවර කරන ලයිසන් ලකුණු කැපිල්ල

297

දඩ මුදල් එවලේම අයකර ගන්න පොලිසියට අලුත් යන්ත්‍ර

ශ්‍රී ලංකාවේ දිනපතා මහා මාර්ගයට එකතුවන වාහන සංඛ්‍යාව ඉහළයෑමත්, මෙලෙස එකතුවන වාහන සංඛ්‍යාව සඳහා ප්‍රමාණවත් ලෙස තාක්‍ෂණික ලෙස සුදුසු මාර්ග පද්ධතියත්, රියදුරන්ගේ නොසැලකිලිමත් ධාවනය නිසාත් වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු සංඛ්‍යාව සීඝ්‍රලෙස වර්ධනය වෙමින් පවතී.

ශ්‍රී ලංකාවට මුල්ම වරට වාහනයක් ගෙන්වන ලද්දේ 1904 දීය. එලෙස මුල්ම වාහනයක් ගෙන්වා වසර හයකට පසු 1910 දී මෙරට ප්‍රථම රිය අනතුර සිදුවිය. ඒ කොළඹ නගරයේදීය. සංඛ්‍යා ලේඛන අනුව සෑම වසරකදීම වාහන අනතුරු නිසා මිනිස් ජීවිත තුන්දහසක් පමණ අපට අහිමිවෙයි. වාර්ෂිකව එය අති විශාල සංඛ්‍යාවකි. එල්.ටී.ටී.ඊ යුද සමයේදීවත් එවන් මිනිස් මරණ සංඛ්‍යාවක් සිදුවී නැත. එසේම මහා මාර්ග අනතුරුවලින් වසරකදී පහළොස් දහසකට ආසන්න සංඛ්‍යාවක් සදාකාලික ආබාධිත බවට පත්වෙති. අවාසනාවකට කරුණ වන්නේ මෙලෙස මාර්ග අනතුරු වලින් මියයන වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු විසි හතරත්, හතළිස් පහත් අතර වයස් කාණ්ඩයේ වන, රටේ සංවර්ධනයට සුවිශේෂකාරයෙන් දායක වන වයස් කාණ්ඩයේ අයවලුන් වීමය. මොවුන් බොහෝ දෙනෙක් රැකියාවල නිරත පවුල් නඩත්තු කරන අයවීමය. එනිසා රටේ අනාථ වන පවුල් සංඛ්‍යාව අති විශාලය.

මදාවි ඩ්‍රයිවින් ඉවර කරන ලයිසන් ලකුණු කැපිල්ල

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සම සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දුමින්ත ධර්මරත්න මහතා පවසන ලෙස, ශ්‍රී ලංකාවේ රිය අනතුරු නිසා දිනකට මියයන සංඛ්‍යාව අටත්, නමයත් අතර ප්‍රමාණයක් වෙයි.

පොලිස් දත්ත අනුව 2018 දී මාරක රිය අනතුරු 2994 ක් සිදුවී ඇති අතර මියගිය සංඛ්‍යාව 3151 කි. 2019 දී මාරක රිය අනතුරු 2689ක් සිදුවී ඇති අතර මියගිය සංඛ්‍යාව 2852 කි. 2020 දී මාරක රිය අනතුරු 1822 සිදුවී ඇති අතර මරණ සංඛ්‍යාව එක්දහස් නවසියයකි.

මෙරට සිදුවන රිය අනතුරු අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ යතුරුපැදි අනතුරුය. 2019 දී යතුරුපැදි අනතුරු එක්දහස් එකක් සිදුවී ඇත. 2019 ලොරි අනතුරු තුන්සිය විස්සක්ද, ත්‍රීවීලර් අනතුරු තුන්සිය දහසයක්ද, කාර් අනතුරු දෙසිය දහසයක්ද, වෑන් අනතුරු එකසිය හැටහයක්ද, පුද්ගලික බස් අනතුරු එකසිය අසූවක්ද, කැබ්රථ අනතුරු එකසිය එකක්ද, ලංගම බස් අනතුරු තිස් දෙකක්ද, ට්‍රැක්ටර් රථ අනතුරු තිස් අටක්ද, පාපැදි අනතුරු තිස් හතරක්ද, ජීප් රථ අනතුරු තිස් දෙකක්ද, කන්ටේනර් අනතුරු දහයක්ද, බවුසර් රථ අනතුරු දහහතරක්ද, අත් ට්‍රැක්ටර් අනතුරු දෙකක්ද සිදුවී ඇත.

දෙදහස් විස්ස වසරේදී යතුරුපැදි අනතුරු අටසිය අනූපහක්ද, ලොරි රථ අනතරු එකසිය අනූඅටක්ද, ත්‍රීවීලර් අනතුරු දෙසිය විසිනමයක්ද, කාර් රථ අනතුරු එකසිය තිස් හතරක්ද, වෑන් රථ අනතුරු හැත්තෑතුනක්ද, පුද්ගලික බස් රථ අනතුරු එකසිය හතක්ද, කැබ් රථ අනතුරු හැත්තෑ හතක්ද, ලංගම බස් රථ අනතුරු තිස් තුනක්ද, ට්‍රැක්ටර් රථ අනතුරු හතළිස් දෙකක්ද, පාපැදි අනතුරු විසිහයක්ද, ජීප් රථ අනතුරු විස්සක්ද, කන්ටේනර් රථ අනතුරු දහයක්ද, බවුසර් රථ අනතුරු අටක්ද අත්ට්‍රැක්ටර් අනතුරු එකක්ද සිදුවී ඇත.

සාමාන්‍යයෙන් එක් වසරකදී මෝටර් රථ වාහන වැරදි ලක්‍ෂ හතළිකට ආසන්න සංඛ්‍යාවක් පොලිස් පොතේ සටහන්වෙයි.

බොහෝ රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් වන්නේ බීමත්කම සහ අධික වේගයෙන් රිය පැදවීමය. නිසි විවේකයක් සහ නින්දක් නොලැබීමද සමහර රිය අනතුරු වලට සාධකයක්වී ඇත. නොසැලකිලිමත්කම සහ අපරීක්‍ෂාකාරී රිය ධාවනය නිසා මහා මාර්ගයේදී සිදුවන රිය අනතුරු ප්‍රමාණය අති සුවිශාලය.

මෙලෙස රටට අහිමිවන අති විශාල මිනිස් ජීවිත රැකගැනීම සහ රිය අනතුරු අවම තත්ත්වයකට පත්කිරීම සඳහා පසුගිය කාලයේ රථ වාහන වැරදි සම්බන්ධයෙන්, දඩ මුදල්ද ඉහළ නැංවිනි.

එලෙස දඩ මුදල් ඉහළ අගයට නැංවූවත් බොහෝ දෙනා එම දඩ මුදල් ගෙවා නැවතත් එම වරදටම යොමුවීමේ ප්‍රවණතාවක් දක්වන බවක් පෙනී යයි.

දඩ මුදලට අමතරව, වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැලසුම් කළේ මහා මාර්ගයේ සිදුවන මෝටර් රථ අනතුරු තවත් අවම තත්ත්වයකට පත්කර ගැනීමේ පරමාර්ථය ඇතිවය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පසුගිය දිනක පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවසුයේ එම වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමමේදය 2023 මාර්තු අවසානයට පෙර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව සැලසුම් කළ මෙම වාහන රියදුරු බලපත්‍ර අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයේදී රියදුරකු සිදුකරන රථවාහන වැරදි තිස්දෙකක් සඳහා, ලකුණු තුනේ සිට ලකුණු දහය දක්වා ලකුණු ලබාදෙන අතර, රියදුරකුට අකුසලතා ලකුණු විසිහතරක් එකතුවූ විට වසරක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය අවලංගු කෙරේ.

ලකුණු තුනක් එකතු වන වැරදි මෙසේය. අනතුරක් වළක්වා ගැනීමට අසමත්වීම, රිය පදවන අතර ජංගම දුරකථනය භාවිත කිරීම, වැරදි සංඥා ලබාදීම හෝ නියමිත සංඥා ලබානොදීම, ආසන පටි නොපැලඳීම, අධික ශබ්දය.

මෝටර් රථයක් නියමිත මංතීරුවේ ධාවනය නොකිරීම, අකුසලතා ලකුණු හතරක් එක්වන වරදකි. එසේම මෝටර් රථයක් වැරදි ලෙස ඉස්සර කිරීම, පසුපසින් එන වාහනයකට ඉදිරියට යෑමට අවස්ථාව ලබානොදී අවහිර කිරීම, එක් මං පෙතක සිට වෙනත් මං පෙතකට ධාවනය කිරීමේදී, නියමිත නීති කඩකිරීම, මංසන්ධියකදී පිළිපැදිය යුතු නීති නොතකා කටයුතු කිරීම, පොලිස් නිලධාරියකුගේ උපදෙස් සහ හස්ත සංඥා නොතකා රිය ධාවනය කිරීම, මෝටර් රථයක් දිගු දුරක් පසුපසට ධාවනය කිරීම, සුළු අනතුරක් සිදුවූ විට අනතුර සිදුවූ ස්ථානයට සමීපයෙන් ඇති පොලිස් ස්ථානයට වාර්තා නොකිරීම නිසා අකුසලතා ලකුණු හතරක් රියදුරකුට එකතුවෙයි.

20% සිට 30% දක්වා අධික වේගයෙන් රිය පැදවීම නිසා අකුසලතා ලකුණු පහක් එකතුවෙයි.

30% සිට 50% දක්වා අධික වේගයෙන් පැදවීම නිසා අකුසලතා ලකුණු හයක් එකතුවෙයි. එමෙන්ම අපරීක්‍ෂාකාරී රිය ධාවනය, නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, වලංගු රක්‍ෂණ සහතිකයක් නොමැතිව රිය ධාවනය මෙන්ම, මාර්ග යෝග්‍යතාවය නොමැතිව රිය ධාවනය සඳහා අකුසලතා ලකුණු හයක් එකතුවෙයි.

150% වැඩි අධික වේගයෙන් රිය පැදවීම නිසා අකුසලතා ලකුණු අටක් හිමිවෙයි. මාර්ග අනතුරක් සිදුවූ පසු වාහනය නතර නොකර පලායෑම, එම අනතුර පිළිබද තොරතුරු පොලිසිය වෙත ඉදිරිපත් නොකිරීම, රිය අනතුර නිසා තුවාල ලැබූවන් ආරෝග්‍ය ශාලාවක් වෙත හෝ වෛද්‍යවරයකු වෙත ප්‍රතිකාර සඳහා රැගෙන නොයෑම නිසා අකුසලතා ලකුණු දහයක් හිමිවෙයි.

මදාවි ඩ්‍රයිවින් ඉවර කරන ලයිසන් ලකුණු කැපිල්ල

මහාමාර්ගයේ මෝටර් රථ ධාවනය කරන රියදුරකු වාහන වැරැද්දකට අසුවූ විට, මෙම අකුසලතා ලකුණු සටහන්කර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සම්පාදනය කර තිබෙන රියදුරු අකුසලතා පද්ධතියට එවනු ලබයි. එම පද්ධතිය මගින් රියදුරකු අකුසලතා ලකුණු විසිහතර සම්පූර්ණ කළ විට රියදුරු බලපත්‍රය වසරකට අවලංගු කරනු ලබයි. මේ සඳහා අවශ්‍ය වන ජංගම විද්්‍යුත් උපකරණයක් රථවාහන පොලිස් නිලධාරීන්ට ලැබෙන අතර, වාහන වැරදි සඳහා නියම කෙරෙන දඩ මුදල් එම මොහොතේම මාර්ග ගත ක්‍රමයට ගෙවීමේ පහසුකම්ද සැලසෙනු ඇත.

කාලයක් මුළුල්ලේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පළාත් අක්‍ෂරය සහිතව මෝටර් රථ ලියාපදිංචි කිරීම ජනවාරි මස පළමුවන දින සිට අත්හිටවන ලදී. මෙතෙක් Wp, NW, SG, NC, CP, UP, NP, EP, SP වශයෙන් පැවැති මෝටර් රථ අංක තහඩු ඉදිරියේදී නිකුත් නොකරනු ඇත. ජනවාරි පළමුවැනිදා සිට අලුතෙන් වාහන ලියාපදිංචි වන්නේ ඉංග්‍රීසි අක්ෂර තුනක් අනුවය. අලුත් වාහන ලියාපදිංචිය වන්නේ AAA-0000 ලෙසටය.

ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍යය ඇමැති බන්දුල ගුණවර්ධන පසුගිය දිනක ප්‍රකාශ කළ අන්දමට, වාහන විකිණීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හිමියාගේ නමට නිකුත්කරන ලදුව, නමුත් වාහන අයිතිකරුවන් විසින් රැගෙන නොගිය අංක තහඩු 50,000 ක් පමණ පරිසරයට හානිකර අන්දමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇත.

එක් වාහනයක් පළාතකින් තවත් පළාතකට අලෙවි කිරීමේදී මෙලෙස අංක තහඩු රාශියක් නිකුත්වෙයි. ඇලුමිනියම් වලින් නිර්මාණය වන මෙම අංක තහඩු සඳහා අලුමේනියම් ආනයයට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැයවෙයි. පළාත් අනුව වාහන ලියාපදිංචිය අහෝසි කිරීමට එයද හේතුවක් විය. පළාත් අක්‍ෂරය ඉවත්කළාය කියා, කිසියම් වාහනයක් හඳුනාගැනීමට අපහසුවක් නොවේ. සෑමවිටකම වාහනයක අයිතිය හඳුනාගන්නේ එහි අක්ෂර සහ අංක අනුවය.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment