මදුරන්කුලියේ මිනිස් ඇටකැබලි ළඟ තිබී හමුවූ අවිය සුමිත්ගේ… අස්ථි කැබලි ඔහුගේම දැයි සෙවීමට ඞීඑන්ඒ පරීක්‍ෂණයක්

513

 පුත්තලම – නලින් හෙන්දුරුගොඩ
 
 කුරුවිට පොලිසියට අනියුක්තව සේවය කරමින් සිටියදී 2020 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී අතුරුදන්වූ බවට සැක කෙරෙන පොලිස් සැරයන්වරයාගේ රාජකාරී ගිනි අවියද ඔහුගේ මිය ගිය සිරුරේ කොටස් ද ඉකුද්දා මදුරන්කුලිය සේම්බැට්ට ප‍්‍රදේශයේ ඉඩමක තිබීයදී හමු වුයේද යන්න පිළිබඳව මුන්දලම පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මදුරන්කුලියේ මිනිස් ඇටකැබලි ළඟ තිබී හමුවූ අවිය සුමිත්ගේ... අස්ථි කැබලි ඔහුගේම දැයි සෙවීමට ඞීඑන්ඒ පරීක්‍ෂණයක්

එම වත්තේ ඇතිවු ගින්නක් නිවා දැමීමට ගිය අයකුට ඉකුත් 30 වැනිදා සවස මෙම ඇටකටු සහ ඒ අසල තිබූ මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලයක් හමුවී ඇති අතර ඒ පිළිබඳව පසුව මුන්දලම පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව මෙම පරීක්ෂණ ආරම්භ වී ඇත.
 
 ඒ අනුව මේ පිළිබඳව පුත්තලම අධිකරණය කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් ඒ. එස්. අසේල ද සිල්වා මහතා විසින් ස්ථානීය පරීක්ෂණයක් සිදු කළේය.
 
 සිද්ධියට සම්බන්ධව හමුවී ඇති මිනිස් ඇට කටු සියල්ල පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කරන ලෙසත්, මේවා එක් අයකුගේද දෙදෙනකුගේද යන්න සොයා බලන ලෙසත් අවශ්‍ය වන්නේ නම් පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාගේ සහාය ලබා ගන්නා ලෙසත්, ඞී.එන්.ඒ. පරීක්ෂණයකට කොටස් සුරක්ෂිතව තබන ලෙසත් අතිරේක දිසා විනිසුරුවරයා මුන්දලම පොලිසියට නියෝග කළේය.
 
 මුලින් හමුවූ මිනිස් ඇට කටු හා ගිනි අවියට පසුව පුත්තලම කොට්ඨාස අපරාධ නිරීක්ෂණ ඒකකයේ නිලධාරීන් එම ඉඩමේ සිදු කළ නිරීක්ෂණවලදී එම පාළු ඉඩමේ වෙනත් ස්ථානයක තිබී හිස් කබල සහ උකුල් ඇටය හා තවත් ඇට කටු කීපයක් හා වළක තිබූ භාවිතා නොකළ උන්ඩ 07 ක් පොලිසියට සොයා ගෙන ඇත.
 
 මේ අතර මෙම ගිනි අවිය පිළිබදව මුන්දලම පොලිසිය පොලිස් ශේෂ්ත‍්‍ර මුලස්ථානයේ මධ්‍යම අවි ගබඩාවෙන් ලබා ගත් වාර්තාවක් අනුව කුරුවිට – සිරිපාගම පොලිස් මුරපොලේ සේවය කරමින් සිටි දැනට අතුරුදන් වී සිටින කුරුවිට පොලිස් ස්ථානයේ සේවය කළ පොලිස් සැරයන් සුමිත් (29288* යන අයට නිකුත් කළ ගිනි අවිය බවට දැනුම් දී තිබේ.
 
 නමුත් මෙම ස්ථානයේදී හමු වු ඇට කටු එම නිලධාරියාගේද වෙනත් අයකුගේද යන්න තහවරු කර ගැනීමට ඉදිරි ඞී. එන්. ඒ. පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව මුන්දලම පොලිසිය පවසයි.
 
 මුන්දලම පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අසිත රක්රුවන් මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment