මදුෂ්කගේ ද්විත්ව ශතකයෙන් ලයන්ස්ට අද ප්‍රබල අභියෝගයක්

322

එංගලන්ත ලයන්ස් පිලට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පෑවත්වෙන පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (02 වැනිදා) ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ ආරම්භක පිතිකරු නිශාන් මදුශ්ක ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූවේය.

ටොම් අබෙල්ගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් ලබාගත් ලකුණු 4 ත් සමඟ මදුශ්ක සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කර ගත්තේය.

තමන් මුහුණ දුන් 334 වැනි පන්දුවේදී එම කඩඉම ඉක්මවා යන විට මදුශ්ක සිය ඉනිම සඳහා මිනිත්තු 515 ක් වැය කර තිබිණ. හතරේ පහර 24 කින් සහ හයේ පහර 2 කින් වර්ණවත් වුණු මදුශ්කගේ මෙම ද්විත්ව ශතකය ශ්‍රී ලංකා ‘ඒ’ තරග ඉතිහාසයේ පිතිකරුවකු රැස් කරන ලද පස්වැනි ද්විත්ව ශතකය ලෙසින් සටහන් වේ.

මීට පෙර මලින්ද වර්ණපුර (206), දිනේෂ් චන්දිමාල් (244), දිමුත් කරුණාරත්න (212) සහ පැතුම් නිස්සංක (217) මදුශ්කට පෙර ද්විත්ව ශතක ලාභීහු බවට පත්ව සිටිති.

ලකුණු 331 ක් පළමු ඉනිමේ පිටුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මදුශ්කගේ ද්විත්ව ශතකය සහ සෙසු පිතිකරුවන්ගේ දායකත්වය හේතුවෙන් ඊයේ දිනයට ක්‍රීඩාව නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 580ක් ලබා ගෙන සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම එංගලන්ත ලයන්ස් කණ්ඩායමට වඩා කඩුලු 7ක් අතැතිව ලකුණු 249 ක් ඉදිරියෙන් සිටින අතර තරගයේ 4 වන සහ අවසාන දිනය අද වෙයි.

ඊයේ දිනයට ක්‍රීඩාව නතර කරන විට නායක නිපුන් ධනංජය නොදැවී ලකුණු 89ක් ලබාගෙන සිටි අතර ද්විත්ව ශතක ලාභී නිශාන් මදුශ්ක නොදැවී ලකුණු 207ක් ලබා ගෙන සිටියේය.

ඊයේ දිනය ආරම්භ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 228 ක් ලබා ගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ දිනයේ පළමු අර්ධ ශතකය වාර්තා කිරීමට පෙර දිනයේ සැඳෑ ආරක්ෂක පිතිකරු ලෙස පිටියට පැමිණි ලක්ශිත මනසිංහ සමත් වූයේය.

පන්දු 107කදී ලකුණු 73ක් ලබා ගත් මනසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 322දී පිටියෙන් ඉවත් වූයේය.

අනතුරුව නිශාන් මදුශ්ක ට එකතු වූ නුවනිදු ප්‍රනාන්දු තෙවන කඩුල්ල සඳහා තවත් ශතක සම්බන්ධතාවක් වාර්තා කරමින් එංගලන්ත පන්දු යවන්නන් වෙහෙසට පත් කර වූහ.

නුවනිදු ප්‍රනාන්දු පන්දු 90කදී ලකුණු 80ක් ලබාගත් අතර ජැක් කාර්සන්ගේ පන්දුව කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. අනතුරුව නිශාන් මදුෂ්ක සහ නායක නිපුන් ධනංජය දෙදෙනා 4 වැනි කඩුල්ල වෙනුවෙන් අඛණ්ඩ ලකුණු 145ක සම්බන්ධතාවයක් පවත්වා ගෙන සිටිති.

ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ එංගලන්ත පන්දු යවන්නන් කෙතරම් ප්‍රහාරයකට ලක් වූයේද යත් ලියාම් පැටර්සන් ගේ පන්දුවාර 42 ක් තුළදී ලකුණු 206ක් වාර්තා වී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment