මධ්‍යම අධිවේගයේ ජල උල්පත් කළු ගල කැඩීමට එරෙහිව ජනතාව පෙළගැසෙති

721

ජල උල්පතක් මත පිහිටි කළු ගලක් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම ඉදිකෙරෙමින් පවතින කොටසේ තිබීම නිසා එම කළු ගල කඩා ඉවත්කිරීමට එරෙහිව ජනතා විරෝධතාවක් ඉකුත් දා ඇතිවිය.

ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ පිහිටි මෙම කළු ගල මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධාවක් වන නිසා කළු ගලේ පිපිරුම් කම්පන පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා බලධාරීන් පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පිරිසක් ඊට එරෙහි වෙමින් ඊට විරෝධය පළ කළහ. දිය උල්පතක් මත පිහිටා ඇති මෙම කළු ගල ඉවත් කළහොත් තමන්ට බීමට අවශ්‍ය ජලය නොමැති වන බවත්, කළු ගල ඉවත් කිරීමේදී සිදුකරන පිපුරුම්වලදී සිදුවන කම්පන හේතුවෙන් තම නිවාසවලට දැඩි ලෙස හානි සිදුවිය හැකි බව ද ප්‍රදේශවාසීහු මෙහිදී පෙන්වා දුන්හ.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඒ සඳහා ජනතාවට වන්දි ගෙවා අවශ්‍ය අත්පත්කරගැනීම් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදුකර ඇති නමුත් එම ලබාදුන් බිම්කඩවල් වාසස්ථාන ඉදිකොට ඇත්තේ සිද්ධියට පාදක වන කළු ගලට සුළු දුරකිනි. මෙවැනි අවදානම් තත්ත්වයක් පිළිබඳව තමන්ට තම වාසස්ථාන ඉදිකිරීමට ප්‍රථමයෙන් දැනුවත් කර තිබුණේ නම් වෙනත් විකල්ප ස්ථාන සොයා ගන්නා බව මෙහිදී ප්‍රදේශවාසීහු පැහැදිලි කළහ. කළු ගල ඉවත් කිරීම සඳහා සිදුකරන පිපිරීම් නිසා තම නිවාසවලට හානි විය හැකි බවත්, මෙම ගම හරහා ගමන් කර තිබූ ස්වභාවික දිය පහර කළු ගලට යටින් ගමන් කරන බැවින් බීමට ජලය ලබා ගන්නේ මෙම භූගත දිය උල්පත්වලින් බව ද මෙහිදී ජනතාව පැහැදිලි කළහ. මෙම ස්ථානයට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. ඩබ්ලිව්. එම්. ඩී. කුමාරි මහත්මිය ඇතුළු පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් හා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් රැසක් පැමිණ සිටියහ.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment