මධ්‍යම පරිසර අධිකාරියේ  සභාපති හා පුතා ඇත්තටම හෝටල් ගහනවා ද කියා සොයන්න – වසන්ත යාපා බණ්ඩාර

419

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා සංවේදී පරිසර කලාපේ අනවසරයෙන් හෝටල් ඉදිකරන බවත් එබැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙසත් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කළේය.

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී පරිසර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කරමින් ඔහු එම අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ කීය. මධ්‍යම පරිසර අධිකාරිය පිළිබඳව දැවැන්ත චෝදනාවක් මාධ්‍ය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා සහ ඔහුගේ පුතා එක්ව නකල්ස් රක්ෂිතයේ ලෝක උරුමයට යටත් වන ප්‍රදේශයේ පරිසර සංවේදී කලාපයක් වන මාතලේ රත්කිඳ ප්‍රදේශයේ හෝටලයක් හදන බවට. ඒ වගේම මොරගහකන්ද ජලාශයට ප්‍රධාන වශයෙන්ම ජලය සැපයෙන තෙල්ගමුව ඔයේ අතු ඇළක් වන කටුකොල්ලලන්ද කටුකිතුල ඇළ ආශ්‍රිතව හෝටලයක් ඉදිකරන බවට. මේක ඇත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා හෝ ඔහුගේ ළඟම ඥාතියකුට අයත් දේපළක් ද ගොඩනැගිල්ලක් ද කියලා සොයන්න. මේ මධ්‍යම කඳුකරයේ මේ සංවේදී කලාපයේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා මේ විදියේ දෙයක් කරනව නම් ඒක දැවැන්ත විනාශයක්. ඒ නිසා මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවලා තියෙන්නේ මෙබඳු කාර්යයන්ට ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මෙය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමාගේ ගොඩනැගිල්ලක් ද කියන එක පිළිබඳවත් මෙහි අයිතිය පිළිබඳවත් සොයා බලන්න කියායි. සමහර වෙලාවට ඒ විදුලි බිල්පත් පරීක්ෂා කළොත් එහි අයිතිය අපිට දැනගන්න පුළුවන්. කරුණාකරලා මේ වගේ පිස්සු නටන්න දෙන්න එපා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment