මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ  සමස්ත ශූරතා  කුසලානය මහනුවරට

222

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ ඊයේ (07දා) සවස නිමාව දුටු මධ්‍යම පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ සමස්ත මලල ක්‍රීඩා ශූරතාව දිනා ගැනීමට මහනුවර අධ්‍යාපන කලාපය (ලකුණු 985) නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

මෙවර සමස්ත අනුශූරතාව වත්තේගම අධ්‍යාපන කලාපය (ලකුණු 437) තහවුරු කර ගත් අතර ලකුණු 359 ක් වාර්තා කර ගත් හැටන් කලාපයට තෙවැනි ස්ථානය හිමිවිණි.

ප්‍රසාද ලකුණු 170 සටහන් කර  ගනිමින් මෙවර තරගාවලියේ බාලක සමස්ත ශූරතාව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය දිනා ගන්නා අතර වාරයේ වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමස්ත බාලිකා ශූරතාවයට හිමිකම් කීය. ඔවුන් ලත් ප්‍රසාද ලකුණු එකතුව 228 කි.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමස්ත බාලිකා ශූරතාව නොකඩවා දිනා ගන්නා ලද 30 වැනි වර්ෂය මෙය වීමද විශේෂයෙන් කැපී පෙණුනි. එමෙන්ම, 2004 වසරට පසුව සංවිධානය වෙමින් සමස්ත බාලක ශූරතාවයට හිමිකම් කියන්නට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් වීම ද විශේෂත්වයක් විය.

වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල (ලකුණු 122) බාලක අනුශූරතාව තහවුරු කර ගන්නා අතර වාරයේ බාලිකා අනුශූරතාව අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 218) හිමිවිය.

බාලක සහ බාලිකා තෙවැනි ස්ථානය පිළිවෙලින් අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 88) ට ද මහනුවර උසස් බාලිකා විදුහල (ලකුණු 101) ට ද හිමි විය.

මෙවර තරගාවලියේ අතිශූරතම මලල ක්‍රීඩකයා ලෙස අඹගමුව මධ්‍ය මහා විදුහලේ කේ. එම්. ධනුක දර්ශන අභිෂේක ලැබූ අතර නාවලපිටිය ශාන්ත ඇන්ඩෲ බාලිකා විදුහල නියෝජනය කළ ඩබ්ලිව්. ජී. චාමලී රෂ්මිකා වික්‍රමගේ අතිශූරතම මලල ක්‍රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.

අවුරුදු 20 න් පහළ මීටර් 400 කඩුළු මතින් දිවීම ඉසව්ව ජය ගනිමින් ප්‍රදර්ශනය කළ තත්: 53.8 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් ධනුක දර්ශන ද අවුරුදු 18 න් පහළ දුර පැනීම ඉසව්ව ජය ගනිමින් ප්‍රදර්ශනය කළ මීටර්5.58 ක දක්ෂතාවය පදනම් කර ගනිමින් ඩබ්ලිව්. ජී.සී.ආර් වික්‍රමගේ ද අදාළ සම්මාන දිනා ගත්හ.

මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ත්‍රිත්වයක පිහිටි අධ්‍යාපන කලාප 15 ක් අතරේ ක්‍රියාත්මක කෙරුණු මෙවර මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා  තරගාවලියේ සමාප්ත උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment