මධ්‍යස්ථ භාවිතාවක් සමඟ රටේ දේශපාලන ව්‍යුහය ධනාත්මක වෙනසකට භාජනය කළ යුතුයි – උවිඳු විජේවීර

399

අනිවාර්යෙන් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනට අපි සංවිධානයක් ලෙස සම්පාදනය කරමින් ඉන්නේ. රට පුරා සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන ලෙස ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස දෙවන පරපුර නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම රටට ආදරය කරන අවංක මිනිස්සුන්ට විශේෂයෙන් තරුණ පරපුරට යෝජනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙසට.

 ජනතා විමුක්ති පෙරමුණ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් දෙවන පරපුර සංවිධානයේ නායක උවිඳු විජේවීර මහතා සමඟ කළ කාලීන දේශපාලන කථිකාවකි.

මධ්‍යස්ථ භාවිතාවක් සමඟ රටේ දේශපාලන ව්‍යුහය ධනාත්මක වෙනසකට භාජනය කළ යුතුයි - උවිඳු විජේවීර

ඉතිහාසයේ කිසිදු විටෙක නොවූ විරූ ලෙස ආර්ථික වශයෙන් අපේ රට බිඳ වැටී අවසන්, මෙම අර්බුදය  ගැන උවිඳුගේ අදහස කුමක්ද?

 වර්තමානයේදී අප රට මුහණපා තිබෙන මේ කනගාටුදායක තත්ත්වයට රාජ්‍ය පාලකයන් සෘජුවම වගකිව යුතුයි, ඔවුන්ගේ හිතුවක්කාරී වැරදි තීරණ තීන්දු මෙන්ම දූෂිත පාලනය නිසා ජනතාවගේ එදිනෙදා දිවි පෙවත බිඳ වැටී අවසන්. අනෙක් අතට ලෝකයෙන් සිඟමන් යදින තත්ත්වයට මේ වන විට අප පත්ව අවසන්-

 අද දරුවෙක්ට නිසි පෝෂණයක් නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න බැරි තැනට දෙමාපියන් පත් වෙලා. අද වන විට මන්දපෝෂණයෙන් පෙළෙන ළමා ජනග්‍රහණයක් සිටින ලොව ප්‍රමුක පෙළේ රටක් එය ඉතා දුක්ඛික තත්ත්වයක්.

මධ්‍යස්ථ භාවිතාවක් සමඟ රටේ දේශපාලන ව්‍යුහය ධනාත්මක වෙනසකට භාජනය කළ යුතුයි - උවිඳු විජේවීර

ඉදිරියේ දී සමහර ව්‍යාපාර බිඳ වැටීමත් සමඟ රැකියා සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වී යා හැකියි. අර්බුදයේ දිග පළල තේරුම් ගන්න මේ දේවල්ම ප්‍රමාණවත්-

මෙම තත්ත්වය සමනය කරන්න තිබෙන මාර්ග ලෙස ඔබ යෝජනා කරන්නේ මොනවාද?

 අධික ණයගැති භාවය සහ විදෙස් මුදල් සංචිත ප්‍රමාණවත් නොවීම වැනි කාරණා තමයි අපට තිබෙන ප්‍රභලම ගැටලු, විශේෂයෙන් රටේ ණය කළමනාකරණය පිළිබඳව උපාය මාර්ගික සැලසුම් නොවීම ඉතා කනගාටුදායක තත්ත්වයක්, අනෙක් අතට ජාතික නිෂ්පාදනය සහ භාණ්ඩ ආනයනය සීමා වූ මොහොතක පවා මුදල් සැපයුම ඉහළ දැමීමෙන් දැඩි උද්දමනකාරී තත්ත්වයක් නිර්මාණය වුණා-

 අපට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ලැබීමේ මාර්ග වන විදෙස් ශ්‍රම ඉපයීම් සහ ආයෝජන ප්‍රවර්ධන කලාප සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්‍ර, නමුත් ඒ මත පමණක් විශ්වාසය තබා රටකට සංවර්ධන ඉලක්ක කරා ළඟාවිය නොහැකියි. නිෂ්පාදන අංශය මෙන්ම රටට විදෙස් ප්‍රාග්ධනය ගලා එන දිගුකාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුය. රටේ විද්වතුන්ගේ අදහස පිළිබඳව පාලකයෝ අවධානය යොමු කළ යුතුයි. ඔවුන් රාජ්‍ය පාලනයට මැදිහත් කර ගනිමින් ඔවුන්ගේ යෝජනා අදහස් ක්‍රියාත්මක කළ යුතුයි-

 අනෙක් අතට විදෙස් ණය ලබා ගැනීමේ අර්බුදයට නිසි පිළිතුර නොවේ. බොහෝ විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වූ ණය මුදල පවා වාරික වශයෙන් ණය ලබා දෙන වාතාවරණයක් තිබෙන්නේ. ඒ නිසා ආර්ථික ගැටලුව සමනය කරන්න එය එතරම් වැදගත් සාධකයක් නොවේ. අනෙක කුමන ආකාරයට ණය ලබා ගත්තත් නැවත ගෙවිය නොහැකි තත්ත්වයත් රට තුළ උද්ගතව තිබෙන්නේ.

 අපට මතුව තිබෙන තත්ත්වයෙන් ගොඩ එන්න දියුණු රටවල්වල සහය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා අතීතයේ දී ප්‍රති උපකාර අපේක්ෂාවන් නොමැතිව ලෝකයේ බොහෝ රටවල් අපට උදව් උපකාර කළා. නැවතත් ඒ තත්ත්වය අප විසින් ගොඩනඟාගත යුතුයි. ඒ සඳහා යහපත් දක්ෂ, අවංක රාජ්‍ය පාලනයක් මුලින්ම බිහි විය යුතුය- ජාත්‍යන්තරයට කෙසේ වෙතත් රටේ ජනතාවට පවා මේ පවතින දේශපාලන ක්‍රමය  ගැන ඇත්තේ බලවත් අප්‍රසාදයක්.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාධනීය ලෙස කිසිදු පාලකයෙක්ට ගොඩනඟන්න නොහැකි වූයේ ඇයි?

 මේ ආර්ථික මොඩලය සම්පූර්ණයෙන් වෙනස් විය යුතුයි. ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් නිර්මාණය විය යුතුය- නමුත් ඉතිහාසයේ බිහි වූ කිසිම ආණ්ඩුවක් රටේ ආර්ථිකය ගොඩනැන්වීමට සුදුසු උපාය මාර්ග පිළිබඳව නිසි අවධානය යොමු කළේ නෑ. රටට ගැළපෙන නිෂ්පාදන ආර්ථිකය ගොඩනඟන්න ඔවුන් අසමත් වුණා-

 1971 දී හඳුන්වා දුන් සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය දැඩි අර්බුද රට තුළ නිර්මාණය කරන්න සමත් වුණා. රටේ ආර්ථිකය හැකුළුණා. ඒ වගේම 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ අපේ කෘෂිකර්මාන්තය සහ දේශීය ව්‍යාපාර බිඳ වැටුනා. රටේ නිෂ්පාදනය කළ හැකි බොහෝ දේවල් රිසිසේ අපනයනය කළා මිසක දේශීය නිෂ්පාදන සඳහා විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට කිසිදු දැක්මක් තිබුණේ නෑ. ණයගැතිභාවය ඉහළ යැවීමට කටයුතු කළා. අද වෙනකොට ලෝකයට ණය ගෙවාගත නොහැකි අසමත් රාජ්‍යයක් බවට පාලනය කළ පාලකයෝ විසින්ම අපේ රට රැගෙන ගොස් අවසන්. ඒ නිසා තමයි මැද මාවතක් අප යෝජනා කරන්නේ. ලෝකයේ බොහෝ සාර්ථක රටවල්වල ගමන් මඟ එයයි-

පසුගිය කාලයේ සමාජ අරගලයක් වෙනුවෙන් මිනිස්සු සක්‍රීය ලෙස ඒකරාශී වුණා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

 රටේ ජනතාව පසුගිය කාලයේ පාරට බැස්සේ ක්‍රමයේ වෙනසක් අපේක්ෂාවෙන්. නමුත් ඒ මිනිස්සුන්ව පවා තමන්ගේ දේශපාලන වුවමනා වෙනුවෙන් යොදා ගන්න සමහර පිරිස් උත්සහ කරා. ඒ වගේම වර්තමාන අර්බුදයට වගකිව යුතු අය අතරම නැවත පාලන බලය හුවමාරු වෙලා අවසන්. රාජ්‍ය සේවකයෝ අඩු කළ යුතුයි. ඔවුන් රටට බරක් කියන උදවියම විශාල ඇමැති පොකුරක් නිර්මාණය කරමින් යනවා. ජනතාවට මේ සියලු දේ ගැනම ඇත්තේ බලවත් සිත් රිදීමක්.

ඔබ රුසියාවේ අධ්‍යාපන කටයුතු අවසන් කර දැන් ලංකාවට පැමිණ සිටින්නේ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල නිරත වීමේ අපේක්ෂාවෙන් ද ?

 ඔව්, ඒ සඳහා දෙවන පරපුර නමින් නව දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කළා. දැන් රටපුරා අපි එහි සංවිධාන ශක්තිය ගොඩනඟමින් ඉන්නවා.

ඔබ නව දේශපාලන ව්‍යාපාරය ගැන කතා කොළොත්?
 

 දේශපාලන න්‍යායන් තුළට සීමා නොවන ජාතිකත්ව සංකල්පය මත ගොඩනඟන දේශපාලන භාවිතාවක් රටට අවශ්‍ය බව අප විශ්වාස කරනවා. එමෙන්ම අලුත් දේශපාලන ධාරාවක් රටට අවශ්‍ය යුගයක්. ඒ අරමුණු වෙනුවෙන් තමයි දෙවන පරපුර නිර්මාණය වෙන්නේ-

රටට යෝග්‍ය ගමන් මඟ ලෙස දෙවන පරපුර යෝජනා කරන්නේ කුමක්ද?

 අප රටට ගැළපෙන අපේ අනන්‍යතාවය සහිත සමාජ දේශපාලන ආර්ථික ක්‍රමයක් මෙන්ම ආණ්ඩු අනුව වෙනස් නොවන ජාතික වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුයි. වර්තමාන ලෝකයේ බොහෝ දියුණු රටවල් තමන්ටම ගැළපෙන මාවතක් ඔස්සේ තමයි  ගොඩනැඟුණේ.

 ණය බරින් පීඩිත මෙන්ම නිෂ්පාදනය සහ වෙළෙඳපොළ අවස්ථා සීමා සහිත වූ රටකට පූර්ණ සමාජවාදී මුහුණුවරක් ගැනීම ද අපහසුයි. ඒ තමයි කටුක සත්‍යය. ඒ නිසා රටට ගැළපෙන මධ්‍යස්ථ දේශපාලන භාවිතාවක් සමඟ වත්මන් දේශපාලන ව්‍යුහය ධනාත්මක වෙනසකට භාජනය කළ යුතුයි-

 මූල්‍ය ලාභය මෙන්ම සමාජ ප්‍රතිලාභ යන කරුණු ඉටුකර ගැනීමේ අරමුණින් පෞද්ගලික, රාජ්‍ය අංශ දෙකෙහිම නිෂ්පාදන හා සේවා අංශවල දායකත්වය සමඟින් ජාතික, අන්තර්ජාතික වශයෙන් වෙළෙඳපොළ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාතික අර්ථ ක්‍රමයක් අපට අවශ්‍යයි.

 එමෙන්ම බුදුදහම සහ අනෙකුත් ආගමික සංස්කෘතික අගනාකමී ආරක්ෂා කරමින් සමාජයේ වරප්‍රසාද සහ සම්පත් සාධාරණ ලෙස සියලු රටවැසියන්ට භුක්ති විඳීමේ අවස්ථාව සැලසෙන දේශපාලන, ආර්ථික, සමාජ වෙනස සහතික කිරීමත් කළ යුතුයි-

දෙවන පරපුර ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට අපේක්ෂා කරනවාද ?

 අනිවාර්යෙන් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය වැඩකටයුතු දැනට අපි සංවිධානයක් ලෙස සම්පාදනය කරමින් ඉන්නේ. රට පුරා සියලු දිස්ත්‍රික්ක නියෝජනය වන ලෙස ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස දෙවන පරපුර නිර්මාණය වෙමින් පවතිනවා. ඒ වගේම රටට ආදරය කරන අවංක මිනිස්සුන්ට විශේෂයෙන් තරුණ පරපුරට යෝජනා කරනවා අප සමඟ අත්වැල් බැඳගන්නා ලෙසට.

ඔබ කියන රට ගොඩනැන්විය හැකි යෝජනා යථාර්ථයක් බවට පරිවර්ථනය කළ හැකිද?

 ඒ විශ්වාසය හා දැක්ම මත තමා අප දේශපාලන ප්‍රවාහය ගොඩනඟන්නේ ඒ නිසා අනිවාර්යෙන් යෝජනා සැබෑවක් බවට පත් වේවි. එමෙන්ම මේ රටේ දක්ෂ මිනිස්සු සහ පවතින සම්පත් නිසි කළමනාකරණයක් හා රටට අහිත කර නොවන විදෙස් ආයෝජන තුළින් ඒ අරමුණට යන්න පුළුවන් කියන විශ්වාසය අපට තියෙනවා.

– නිර්මල දුශාන්ත

advertistmentadvertistment
advertistmentadvertistment