මධුෂ්ගේ ප‍්‍රධාන ගෝල ‘පොඩි පැටී’ ආයුධත් සමඟ අල්ලයි

927

පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට පිළියන්දලදී ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට සම්බන්ධ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප‍්‍රධානම පෙළේ ගෝලයකු බව කියන සුජීව කුමාර ද සිල්වා හෙවත් පොඩි පැටී නමැත්තා අවි ආයුධත් සමඟ කළුතර අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (09 දා) අලූයම අත්අඩංගුවට ගෙන ඇත.

වැලිපැන්න, කුරුඳුවත්ත මීගම පාරේදී අත්අඩංගුවට ගත් පොඩි පැටී සතුව තිබී මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝලයක්, ජීව උණ්ඩ 05 ක්, අත් බෝම්බයක් පොලිසිය සොයාගෙන තිබේ.

වැලිපැන්න කුරුඳුගහවත්ත මීගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ‘පොඩි පැටී’ මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකි.

කලක් යුද හමුදාවේ සේවය කර ඇති පොඩි පැටී පසුව ඉන් නීත්‍යානුකූලව ඉවත්වී මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියට සම්බන්ධ වී ඇත.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පාතාල අපරාධකරුවන්

දෙදෙනාගෙන් එක් අයකු බව කියන පොඩි පැටී එම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර තිබිණි.

ඇපමත මුදාහැරීමෙන් පසු මොහු වැලිපැන්න ප‍්‍රදේශයට පැමිණ නැවතත් විවිධ අපරාධ වල නිරතවන්නට පටන් ගෙන ඇත.

සැකකරු කිසියම් අපරාධයක් සඳහා වෙනත් පුද්ගලයකුට මෙම අවි ආයුධ ලබාදීමට යමින් සිටියදී කොටු වූ බව පොලිසිය පවසයි.

මෙම සැකකරුගේ වැඩිමහල් සොහොයුරා ලොකු පැටී වන අතර ඔහුද පාතාලයට සම්බන්ධ අපරාධකරුවකු බව පොලිස් විමර්ශන වලින් හෙළිවී ඇත.

අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ලොකු පැටීද මේ වනවිට බන්ධනාගාර ගතකර සිටියි.

සැකකරු මතුගම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත පෙරේදා (09 වැනිද) ඉදිරිපත් කළ අතර ලබන 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඞී. එල්. ඒ. නයනජිත් මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු, ආර්. ඒ. එස්. පේ‍්‍රමතිලක බණ්ඩාරගම, කළුතර – විජයසිරි විද්‍යාසේකර

advertistmentadvertistment
advertistmentadvertistment