මධුසංඛ සහ මධුශ්ක ශ්‍රී ලංකා “ඒ ” කණ්ඩායමට විශිෂ්ට ජයක් ලබාදෙති

570

ඩිල්ශාන් මධුසංඛගේ විශිෂ්ට පන්දු යැවීමත් නිශාන් මධුශ්කගේ අලංකාර ශතකයේත් සහාය මත සංචාරක දකුණු අප්‍රිකා “ඒ ” කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා “ඒ ” ක්‍රීඩකයෝ එක්දින සීමිත පන්දුවාර තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඊයේ (06 වැනිදා) සමත් වූහ.

ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් වමත් ආරම්භක වේගපන්දු යවන්නා දකුණු අප්‍රිකා ඉනිමේ මුල් කඩුලු හතරටම හිමිකම් කියන්නට වගබලා ගත් අතර ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 85 කදී නොදැවී වේගවත් ශතකයක් ලබාගෙන ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රැගෙන ආවේය.

ඩිල්ශාන් මධුශ්කගේ පන්දු යැවීම හමුවේ අඩපණ වූ දකුණු අප්‍රිකා “ඒ ” ඉනිම පන්දුවාර 43.2 ක් තුළදී සියලු දෙනා දැවී ලකුණු 175 කට සීමා වූ අතර ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දුවාර 29 ක් තුළ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක ඒ සඳහා දැක්වූ දායකත්වය ලකුණු 107 ක් වන අතර තමන් මුහුණ දුන් පන්දු 85 න් පන්දු 13 ක් හතරෙ පහර ලෙසද තවත් පන්දු දෙකක් හතරේ සීමාවට ඉහළින්ද පියාසර කර යැවීමට මධුශ්ක සමත් වූයේය.

ශ්‍රී ලංකා ඉනිමේ මධුශ්කට අනගි සහායක් ලබාදුන් සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 50 ක් ලබාගත් අතර ඔවුන් දෙදෙනා අතර ජයග්‍රාහී නොදැවුණු සම්බන්ධතාවය ලකුණු 104 ක් වූයේය.

ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ලකුණු 4 කටත්, නුවනිදු ප්‍රනාන්දු ලකුණු බිංදුවකටත්, නායක නිපුන් ධනංජය ලකුණු 8 කටත් දැවී යෑමෙන් පසු මධුශ්ක සහ සහන් ආරච්චිගේ සම්බන්ධතාවය ගොඩනැගුණි.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා “ ඒ ”ඉනිම එක් අවස්ථාවක කඩුලු හතක් දැවී ලකුණු 43 ක් ලෙස දිස් වූවද 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට රිස්ටන් ස්ටබ්ස් සහ ගෙරාල්ඩ් කෝට්සී දෙදෙනා සමත් වූහ.

දකුණු අප්‍රිකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ගෙරාල්ඩ් ලකුණු 77 ක් ලබා ගත් අතර ස්ටබ්ස් ලකුණු 59 දී ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියේය.

පන්දු යැවීමේදී මධුශංකට අනගි සහායක් ලබාදුන් ජනිත් ලියනගේ සහ සහන් ආරච්චිගේ කඩුලු 2 බැගින් ලබා ගත්හ.

ප්‍රමෝත් මධුෂාන් සහ දුනිත් වෙල්ලාලගේ ද එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.

advertistmentadvertistment
advertistmentadvertistment