මධූෂ් එක්කත් පාතාල ගේමට බැහැපු පිංතුත් වෙඩිකයි… නමටම මිනී මැරුම් අටක්… බන්ධනාගාරයේ සුපිරි ජීවිතයක්….

530

තවත් විෂිෂ්ට එස්.ටී.එෆ් මෙහෙයුමක් 


ඒ 1999 වර්ෂය මුල භාගයේ එක්තරා දිනක රාත‍්‍රියෙයි. සීදුව අමන්දොළුව ප‍්‍රදේශයේ පිහිටි එක්තරා නිවසක පවත්වාගෙන යන මහා බූරු පොළකි. කටුනායක, සීදුව, මීගමුව රද්දොළුගම ප‍්‍රදේශවල මහා කෙළිකාරයන් පිරිසක් මේ බූරුපොළට පැමිණ සිටියහ. මේ බූරු පාළේ වැඩිපුරම සිටියේ කටුනායක ආයෝජන කලාපයේ කර්මාන්තශාලාවලින් ඉවත දමන ද්‍රව්‍ය මිලදී ගෙන ඒවා අලෙවිකර කෝටිපතියන් බවට පත් වූ ව්‍යාපාරිකයන් ය.

pinthu2මේ කෙළිකාරයන් අතර විසිදෙහැවිරිදි වියේ පසු වූ තරුණයකු ද සිටියේය. ඔහු නමින් ලලිත් පිංතුය. ලලිත් පිංතුගේ සමීපතම මිතුරකු ද මේ බූරුපිටියේ ම සිටියේය. ඔහු ද පිංතුගේ ම වයසේ පසු වූ තරුණයෙකි. කායවර්ධන ක‍්‍රීඩාවේ යෙදීමට මහත් රුචිකත්වයක් දැක්වූ පිංතුගේ මේ මිතුරා ද බූරු පිටියේ කෙළිකාරයකු විය.

පසු කලෙක පිංතුගේ මේ මිතුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන ආ කායවර්ධන ශූරයකු බවට පත්වුණේය.

ඒ වන විට ලලිත් පිංතු ද කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවලින් ඉවත දමන රෙදි ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය මිලට ගෙන විකිණීමේ ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ධනවතකු බවට පත්ව සිටියේය.

මේ බූරුපිටියේ සදාතනික වාසනාවන්තයා වුණේ ලලිත් පිංතු ය. බූරු ක‍්‍රීඩාවට උපන් හපන්කමක් දැක්වූ ලලිත් පිංතු රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් උපයා ගත්තේය.

දිනක් රාත‍්‍රියේ සුපුරුදු ලෙස මේ බූරුපිටිය ක‍්‍රියාත්මක වුණේය. බූරු ක‍්‍රීඩාව පටන් ගත් මොහොතේ සිටම ජයග‍්‍රහණය කළේ ලලිත් පිංතු ය. පැය කිහිපයක් ගත වන්නට පෙර පිංතුගේ මුදල් බෑගය පිරී ඉතිරි යන්නට විය.

‘‘මේ මඟුල හැමදාම කරන්න බැහැ. මේකා මොනවා හරි ගේමක් ගහනවා. අපිට කිසිදවසක දිනන්න ලැබෙන්නේ නැහැනෙ.’’ කටුනායක ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු ලලිත් පිංතුට එරෙහිව විවිධ චෝදනා එල්ල කරන්නට වූහ. ‘‘උඹලට දිනා ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නැහැ. හැබැයි එක එක චෝදනා විතරක් ගේන්න එන්න එපා.’’ ව්‍යාපාරිකයන් අභූත චෝදනා එල්ල කරද්දී ලලිත් පිංතුට අසූහාරදාහට තද වුණේය. ඒ වන විට කටුනායක රුවන් ද මේ බූරුපිටියට පැමිණ සිටියේය. කටුනායක රුවන් යනු පාතාල මැරයෙකි. ආයෝජන කලාපයේ ඉවතලන අපද්‍රව්‍ය මිලදී ගැනීමේ මාෆියාවේ ප‍්‍රධානීන් කීපදෙනාගෙන් එකකු වූ රුවන් ප‍්‍රදේශයේ චණ්ඩියෙකි. බූරුපිටියේ සිටින මහා ව්‍යාපාරිකයන් තුට්ටුවකට මායිම් නොකර තම කාර්ය ඉටුකර ගන්නා ලලිත් පිංතු දෙස රුවන් බොහෝම තැන්පත් ලෙස බලා සිටියේය.

බූරුපිටියේ වාදය ටිකෙන් ටික දිග්ගැස්සෙන්නට වුණේය. වාද විවාද උණුසුම් වාග් ප‍්‍රහාර දක්වා දුරදිග ගියේය. අවසානයේ ලලිත් පිංතු ඇතුළු ඔහුගේ සගයන් බූරුපිටියට පැමිණි ව්‍යාපාරිකයන් පිරිසකට පන්න පන්නා පහර දුන්නේය. කටුනායක රුවන් මේ සියල්ල නිරීක්‍ෂණය කළේය. පිංතු මල්ලි උඹ වගේ එකෙක් තමයි මමත් හොය හොය හිටියේ. හෙට ඉඳලම උඹ මා එක්ක වැඩ කරන්න වරෙන්. මං උඹට හොඳ බිස්නස් එකක් සෙට් කරලා දෙන්නම්. උඹ කිසි එකෙකුට බය නැහැ. ඇත්තටම මට උඹ ගැන ලොකු පැහැදීමක් ඇතිවුණා.

කටුනායක රුවන් නමැති පාතාල මැරයා ලලිත් පිංතු සිය කල්ලියට සම්බන්ධ කරගන්නේ ඉන් පසුවය. එතැන් සිට ලලිත් පිංතු වැඩ කළේ කටුනායක රුවන්ටයි. රුවන් යනු නියම චණ්ඩියෙකි. ජිම්නාස්ටික් ක‍්‍රීඩාව හැදෑරූ රුවන් හොඳ සටන්කරුවෙකි. හත්අටදෙනකු සමඟ වුවද සටන් කිරීමේ හැකියාවක් ඔහුට තිබුණේය. කටුනායක රුවන් සහ හීනටියන නීල් අතර පැවතියේ ද වෛරයකි. කලින් මිතුරන් වුවද මොවුන් කටුනායක ආයෝජන කලාපයේ රෙදි මාෆියාව නිසා බද්ධ වෛරකාරයන් බවට පත්ව සිටියහ. ටික කාලයක් ගත වෙද්දී ලලිත් පිංතු කටුනායක රුවන්ගේ සමීපතම ගෝලයා බවට පත් වුණේය.

කටුනායක රුවන් එවකට එක්සත් ජාතික පක්‍ෂයේ සීදුව ප‍්‍රදේශය නියෝජනය කළ ප‍්‍රබල දේශපාලනඥයකුගේ සුවච කීකරු ගෝලයකු විය. රුවන් හරහා ලලිත් පිංතුට මේ දේශපාලනඥයා දැන හඳුනාගෙන ළඟින් ඇසුරු කිරීමට ද අවස්ථාව ලැබුණේය. කටුනායක රුවන් තම ප‍්‍රතිවාදීන්ට පහරදීමට ඔවුන් පරලොව යැවීමට යොදාගත්තේ ලලිත් පිංතු ය. ලලිත් පිංතු මුල්ම මිනිස් ඝාතනය සිදුකරන්නේ 1999 වර්ෂයේදීය. කටුනායක රුවන් කටුනායක පදිංචි ව්‍යාපාරිකයකු වූ දයාවංශ නමැති පුද්ගලයකු සමඟ ව්‍යාපාරික ආරවුලක පැටලී සිටියේය. මේ ව්‍යාපාරික ආරවුල කෙළවර වන්නේ දයාවංශ පරලොව යෑමෙන් පසුවය. ලලිත් පිංතු ඇතුළු මැර පිරිසක් දයාවංශට පොලූ මුගුරුවලින් පහර දී ඔහු ඝාතනය කළහ. ලලිත් පිංතුගේ අපරාධ චාරිකාව ආරම්භ වන්නේ එතැන් සිටය. කටුනායක රුවන් සමඟ එක්ව විවිධ අපරාධවල නිරත වූ ලලිත් පිංතු පාතාල ලෝකයේ කෙරුම්කාරයකු වීමේ ලකුණු පහළ කළේය. කොල්ලකෑම් කප්පම් ගැනීම් මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවල නිරතවෙමින් සිටි ලලිත් පිංතු දහඅටේ කණුවේ පිංතු ලෙස පාතාලයේ කුප‍්‍රකට චරිතයක් බවට පත්වුණේය. ඒ වන විට ලලිත් පිංතු කොළඹ දෙමටගොඩ ප‍්‍රදේශයේ තරුණියක සමඟ පේ‍්‍රම සම්බන්ධතාවක් ගොඩනඟාගෙන සිටියේය. ඉඩක් ලැබුණු හැම විටකම ලලිත් පිංතු සිය පෙම්වතියගේ පහස සොයා ගෙන දෙමටගොඩ පිහිටි ඇගේ නිවස වෙත යෑමට පුරුදුව සිටියේය. වසර කීපයක් යනතුරු මේ පේ‍්‍රමසම්බන්ධතාව පැවතුණේය. තමන් විවාහ කර ගන්නා ලෙස දිගින් දිගටම ඇවිටිලි කිරීම නිසා පිංතු සහ තරුණිය අතර නිතර ආරවුල් හට ගන්නට පටන් ගත්තේය.

‘‘තමුසෙ මාව පාවිච්චි කරන්න විතරද තියාගෙන ඉන්නේ. මට දැන් නැතිවෙන්න දෙයක් නැහැ. ඉක්මනින් කසාද බඳිනවා. නැත්නම් මට මගේ අම්මලා තාත්තලාට මුහුණ දෙන්න බැහැ.

තරුණිය ලලිත් පිංතු සමඟ මේ බව කියමින් නිතර නිතර ගැටුම් ඇතිකර ගත්තාය. පිංතුට මේ පේ‍්‍රම පලහිලව්ව මහා හිසරදයක් බවට පත්වෙමින් තිබුණේය. පිංතු මේ තරුණිය ආශ‍්‍රය කළේ විවාහ කර ගැනීමට නොව තාවකාලික ආශ්වාදයක් ලබා ගැනීමට පමණය. ‘‘මේ ගෑනි මහ වදයක් වෙනවා. මේක අයින් කරලා දාන්න ඕනෙ. නැත්නම් මට යහතින් ජීවත් වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.’’ විටක තම සගයන් සමඟ කීවේය. තම පෙම්වතියගේ දෙමටගොඩ පිහිටි නිවස වෙත පැමිණි අවස්ථාවක මොවුන් අතර ආරවුලක් ඇති වුණේය. ඒ වන විට පිංතු සැලසුම් කරගෙන සිටියේ තම පෙම්වතිය පරලොව යැවීමටය. එදින ආරවුල කෙළවර වන්නේ තරුණිය පිංතු අතින් පිහි ඇනුම් කා ජීවිතය අහිමිකර ගැනීමෙන් පසුවය. මීගමුව, කටාන, සීදුව, කටුනායක ප‍්‍රදේශවල සිදුවූ මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලලිත් පිංතු අත්අඩංගුවට පත්වුණේය. ලලිත් පිංතුගේ ජීවිතය උඩුයටිකුරු වන්නට පටන් ගත්තේ මීගමුව බන්ධනාගාරයේදී මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා දැන හඳුනා ගැනීමට ලැබීමත් සමඟය. ඒ වන විට මාකඳුරේ මධුෂ් සිටියේ මීගමුව බන්ධනාගාරයේ ය. මධුෂ් සහ ලලිත් පිංතු අතර දැඩි මිත‍්‍රත්වයක් ගොඩනැඟුණේය. ‘‘අපිට එකතුවෙලා හොඳ ගමනක් යන්න පුළුවන්. මං අහලා තියෙනවා උඹ ගැන. එළියට ගිහින් අපි සෙට් වෙලා හොඳ වැඩ ටිකක් කරමු.

මාකඳුරේ මධුෂ් ලලිත් පිංතුට යෝජනා කළේය. වසර කිහිපයක් මීගමුව බන්ධනාගාරයේ එකට ගතකළ මධුෂ් සහ පිංතු පසුව ඇප මත නිදහස් වී එළියට ආහ. එතැන් පටන් මධුෂ් සහ පිංතු එකට වැඩ කරන්නට පටන් ගත්හ. මධුෂ්ට අවශ්‍ය බොහොමයක් අපරාධවලට ලලිත් පිංතු සහාය වුණේය. එමෙන්ම පිංතුට අවශ්‍ය වූ බොහෝ දේ ඉටුකර දීමට මධුෂ් කටයුතු කළේය.

pinthu3කලක් බන්ධනාගාරයේ සිටීම නිසා සීදුව කටුනායක ප‍්‍රදේශවල පාතාල බලය ලලිත් පිංතුගෙන් ගිලිහී යමින් තිබුණේය. ඒ වන විට කටුනායක ප‍්‍රදේශයේ අලූතින් චණ්ඩියකු බිහිවි සිටියේය. ඔහු නමින් ‘බෆතා’ නම් විය. කරාතේ ශූරයකු වූ ‘බෆතා’ මුළු පළාතම භීතියට පත් කරගෙන චණ්ඩිකම් කරමින් ජීවත් වුණේය.

‘‘මේ අලූතෙන් එන උන්ට රජ කරන්න ඉඩ දුන්නොත් අපිට බලූවෙලා තමයි ඉන්න වෙන්නේ. බෆතා අයින් කරලා දැම්මෙ නැත්නම් ලෝක ලෙඩක් වෙනවා. අද හෙටම මොනවා හරි කරලා දාන්න ඕනෙ.’’ ලලිත් පිංතු සිය කල්‍යාණ මිතුරා වූ මධුෂ්ට කීවේය.

‘‘හරි උඹ වැඬේ ලෑස්ති කරපන්. ෂූටර්ලා ටික මං දෙන්නම්. උන් ඇවිත් වැඬේ කරලා යයි.’’

මධුෂ් පිංතුට කීවේය. බෆතා යන එන ගමන්බිමන් ගැන නිරීක්‍ෂණය කළ ලලිත් පිංතු ඔහු මරා දැමීමට දින නියම කර ගත්තේය. 2010 වර්ෂයේ එක්තරා දිනක බෆතා කටුනායක ප‍්‍රදේශයේ සැලූන් එකකට ආවේය.

ඒ වෙනකොට බෆතා පරලොව යැවීමට මධුෂ් පාතාල කණ්ඩායමක් කටුනායකට එවා තිබුණේය. කොස්ගොඩ රණා සහ ප‍්‍රියන්ත නමැති පාතාල මැරයන් ඒ අතර වූහ. ලලිත් පිංතු මධුෂ්ගේ ගෝල බාලයන් සමඟ කටුනායක පිහිටි රූපලාවණ්‍යාගාරයකට කඩාවැදී බෆතාට වෙඩිතබා ඝාතනය කර පලා ගියහ. මේ ඝාතනයෙන් කටුනායක ප‍්‍රදේශයම උණුසුම් වුණේය. ලලිත් පිංතුට අහිමි වෙමින් තිබූ කටුනායක පාතාල බලය නැවත හිමි වන්නේ මේ ඝාතනයෙන් පසුවය. තේජන මාතර ප‍්‍රදේශයේ ප‍්‍රධාන පෙළේ මාළු ව්‍යාපාරිකයෙකි. යහමින් මුදල් හරිහම්බ කර ගෙන සිටි නිසා තේජනට ඒ ප‍්‍රදේශයේ විශාල බලයක් ද ගොඩනැඟී තිබුණේය. මාකඳුරේ මධුෂ් සමඟ ආරවුලක පැටලී සිටි තේජන ඔහුට එරෙහිව විටින් විට අභියෝග කරන්නට පටන් ගත්තේය. ‘තේජනයා ඉවර කරලා දාන්න ඕනෙ. නැත්නම් ඕක මහ වදයක් වෙනවා. මධුෂ් සිය සගයන්ට කීවේය. තේජන විනාශකර දැමීමේ සැලසුම සඳහා සිය පාතාල කල්ලියේ පිරිසක් යෙදවීමට මධුෂ් කටයුතු කළේය. ඒ මෙහෙයුම සඳහා ලලිත් පිංතු ද එක්ව සිටියේය.

ලලිත් පිංතු සමඟ තේජන මුදලාලිගේ නිවසට කඩාවැදුණු කොස්ගොඩ රණා, ගිහාන් ෆොන්සේකා, ප‍්‍රියන්ත, වජිර, සංජීව ඇතුළු මැරයන් ඔහුට වෙඩිතබා ඝාතනය කළහ. පසුව නිවසේ තිබූ රුපියල් කෝටි ගණණක මුදල් සහ වටිනා කියන දේ කොල්ලකා පාතල මැරයන් පලා ගියහ. මුදල් සහ වටිනා දේපොළ කොල්ලකෑමේ රස වටහා ගෙන සිටි ලලිත් පිංතු එතැන සිට රටපුරාම මහාපරිමාණ කොල්ලකැම් සිදු කරන්නට පටන් ගත්තේය.

සීදුව කොටුගොඩ ප‍්‍රදේශයේ නිවසකට ආයුධ සන්නද්ධව කඩාවැදුණු පිංතු ඇතුළු පාතාල මැරයන් එහි තිබූ රුපියල් ලක්‍ෂ දොළහමාරකට අධික වටිනාකමින් යුත් මුදල්, රන් ආභරණ කොල්ලකෑවෝය. ස්ටැන්ලි රාගම ප‍්‍රදේශයේ මහාපරිමාණ ගවමස් ව්‍යාපාරිකයෙකි. ස්ටැන්ලිගේ නිවස කොල්ලකෑමට පිංතු ඇතුළු මැරයන් සැලසුම් කළහ.

ස්ටැන්ලිගේ ගේ සුද්ධ කරන්න අපි මොකක් හරි ක‍්‍රමයක් ලෑස්ති කරගන්න ඕනෙ. අපි සී.අයි.ඞී. එකෙන් වගේ ගිහින් ගේ සර්ච් කරන විදිහට ඇතුළුවෙමුු. ලලිත් පිංතු සිය ගෝලයන්ට උපදෙස් දුන්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස වෙස්වළා ගත් ලලිත් පිංතු ඇතුළු මැරයන් රාගම පිහිටි ස්ටැන්ලිගේ නිවසට කඩාවැදී රුපියල් ලක්‍ෂ ගණනක මුදල් සහ දේපොළ කොල්ලකෑහ.

මේ ආකාරයටම ඇළකන්ද ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවස කොල්ලකෑමට ලලිත් පිංතු සැලසුම් කළේය. නිමල් මුදලාලි ගොඩනැඟිලි අමුද්‍රව්‍ය අලෙවි කරන මහා පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි. ඇළකන්ද ප‍්‍රදේශයේ පිහිටි නිමල් මුදලාලිගේ නිවසට ලලිත් පිංතු ඇතුළු නිලධාරීන් කඩාවදින්නේ රහස් පොලිසියේ නිලධාරීන් ලෙස වෙස්වළාගෙනය. ‘‘අපි සී.අයි.ඞී. එකෙන්. ගේ චෙක් කරන්න තියෙනවා. දොරවල් ඇරපල්ලා.’’ ලලිත් පිංතු ඇතුළු මැරයන් රහස් පොලිස් නිලධාරීන් ලෙස වෙස්ගෙන සුනිල් මුදලාලිගේ නිවසට ඇතුළුවුණේය. සුනිල් මුදලාලිට දරුවන් දෙදෙනකු වූහ. ඔවුන් ඒ වන විට කරදඬු උස්මහත් වූ තරුණයන්ය. එක් පුත‍්‍රයෙකුට මේ රහස් පොලිස් නිලධාරීන් ගැන සැකයක් මතුවුණේය. ඔහු රහස් පොලිසිය යැයි කියාගත් පිරිස සමග පැටලූණේය. ලලිත් පිංතු දෙවරක් සිතා බැලූවේ නැත. සුනිල් මුදලාලිගේ පුත‍්‍රයාට වෙඩිතබා ඝාතනය කළේය. පසුව නිවසේ තිබූ ලක්‍ෂ ගණනක මුදල් සහ දේපළ කොල්ලකාගත් මැරයන් පලා ගියහ.

පොලොන්නරුව ප‍්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු පැහැර ගෙන මැදිරිගිරිය ප‍්‍රදේශයට රැගෙන ගිය ලලිත් පිංතු ඇතුළු මැරයන් දින කිහිපයක් ඔහු සිරකර තබාගෙන නිවැසියන්ගෙන් රුපියල් ලක්‍ෂ 50ක කප්පම් මුදලක් ලබා ගත්හ. ගුණවර්ධන තෙල්දෙණිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විය. උකස් මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ධනවතකුව සිටි ගුණවර්ධනගේ ව්‍යාපාරික ස්ථානය වෙත ලලිත් පිංතු ඇතුළු පාතාල මැරයන් කඩාවදින්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙසය. පසුව එහි තිබූ රන් ආභරණ සහ මුදල් කොල්ලකෑ පාතාල මැරයන් නිරුපද්‍රිතව පලා ගියහ. පේරාදෙණිය ප‍්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු හොර සිගරැට් ජාවාරමක් ජයටම කරගෙන ගියේය. ලලිත් පිංතු ඇතුළු මැරයන් මේ ව්‍යාපාරිකයාගේ සිගරැට් ඒජන්සිය කොල්ලකෑමට සැලසුම් කළෝය. ඔවුන් එහි කඩාවැදුණේ ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස වෙස්වළාගෙනය.

මාරවිල ප‍්‍රදේශයේ මහාපරිමාණ ව්‍යාපාරිකයකු වූ කුමාරගේ නිවස කොල්ලකෑමට ලලිත් පිංතු ඇතුළු මැරයන් යන්නේ ආදායම්බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස වෙස්වළාගෙනය. ලලිත් පිංතු ඇතුළු පාතාල කණ්ඩායම රටපුරා සිදුකරන මහා පරිමාණ කොල්ලකෑම්, මිනිස් ඝාතන දිනෙන් දිනම ඉහළ යමින් තිබුණේය. 2011 වර්ෂය වන විට ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නියෝජය පොලිස්පතිවරයා වූයේ නිමල් වාකිෂ්ඨ මහතාය. එහි අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවීන්‍ද්‍ර කරවිට මහතා ය.

ලලිත් පිංතු ඇතුළු පාතාල මැරයන් අත්අඩංගුවට ගැනීම සඳහා එවකට ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකය මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබුණේ රවීන්‍ද්‍ර කරවිට මහතාගේ උපදෙස් මතය. ලලිත් පිංතු බුත්තල ප‍්‍රදේශයේ රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට තොරතුරු එවකට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සැරයන්වරයකු වූ දාස්ගුප්තා මහතා වෙත ලැබී තිබුණේය. ඒ අනුව ක‍්‍රියාත්මක වූ ත‍්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් බුත්තල ප‍්‍රදේශයේ සැඟවී සිටි ලලිත් පිංතු අත්අඩංගුවට ගත්තේය.

ලලිත් පිංතුගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත කොල්ල කල්ලියේ ප‍්‍රබලයන් හත්දෙනෙකුම අත්අඩංගුවට ගැනීමට ත‍්‍රස්ත විමර්ශන අංශයේ නිලදාරීහු සමත් වූහ.

ඒ අතර කොස්ගොඩ රණා, ප‍්‍රියන්ත, අංගොඩ ලොක්කාගේ කල්ලියේ සාමාජිකයකු වූ වජිර පෙරේරා, මධුෂ්ගේ සමීපතම ගෝලයකු වූ රත්නායක ඇතුළු පිරිසක් සිටියහ. ලලිත් පිංතු වසර ගණනක් තිස්සේ සිදුකළ මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ප‍්‍රමාණය අති විශාලය. මේ සියලූ අපරාධ පිළිබඳව ප‍්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගැනීමේ නියෝගයක් අධිකරණයෙන් ලබා ගැනීමට ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය කටයුතු කළේය. ඒ අනුව ලලිත් පිංතු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා තබනු ලැබුණේ ප‍්‍රධාන පෙළේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් පිරිසක් සමඟය. සුසෙයි නමැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදියා ද ඒ වන විට සිටියේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රැඳවුම් භාරයේ ය. කාලයක් තිස්සේ එකට සිටීමෙන් සුසෙයි සහ ලලිත් පිංතු අතර දැඩි මිත‍්‍රත්වයක් ගොඩනැඟී තිබුණේය. සුසෙයි ඉන්දියාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් පිරිසක් සමඟ සම්බන්ධතා පැවැත්වූයේය. ඒ සම්බන්ධතා ප‍්‍රයෝජනයට ගෙන මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීමට සුසෙයි සහ පිංතු ගිවිසුම් ගත වූහ.

‘‘අපි දෙන්නට එකතුවෙලා ලොකු වැඩක් කරන්න පුළුවන්. අනික සල්ලි තිබ්බොත් අපට මේවා ඇතුළෙ උනත් ඕනෙ සෙල්ලමක් දාන්න පුළුවන්. අත දිග ඇරලා සල්ලි විසිකළාම ඔය කොයි මහත්තුරුත් අපි ළඟ දණ ගහනවා.’’

සුසෙයි තම සමීප මිතුරකු බවට පත්ව සිටින ලලිත් පිංතුට කීවේය. 2012 වර්ෂයේදී ලලිත් පිංතු මීගමුව බන්ධනාගාරයට යවනු ලැබුවේ අධිකරණ නියෝග මතය.

මීගමුව බන්ධනාගාරය ලලිත් පිංතුට සුරපුරයක් බඳු විය. ඒ වනවිට එහි අධිකාරිවරයා ලෙස සිටියේ මෙරට බන්ධනාගාර ක්‍ෂේත‍්‍රයේ මහා පෙරළියක් සිදුකළ අනුරුද්ධ සම්පායෝ ය. අනුරුද්ධ සම්පායෝගේ අනුහසින් මීගමුව බන්ධනාගාරය පුරා සිය අධිපත්‍යය පතුරුවා හරිනු ලැබූ ලලිත් පිංතු මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන ගියේය. සුසෙයි සමඟ එක් වී ඉන්දියාවේ සිට ටොන් ගණනකින් කේරළ ගංජා ආනයනය කර රටපුරා බෙදා හැරියේය. ලලිත් පිංතුට මීගමුව බන්ධනාගාරය තුළ හිමි වූයේ වෙන කිසිවෙකුටවත් නොමැති විශේෂ සැලකිලිය. නිඳාගැනීමට තරුපහේ හෝටලයක ඇති පන්නයේ කුෂන් මෙට්ට යෙදූ ඇඳක් ඔහුට හිමිව තිබුණේය. කෑම බීමවලින් ලලිත් පිංතුට අඩුවක් නොවීය. ‘අධිශීතකරණයක් ඔහුගේ කාමරයට වෙන්කර දී තිබුණේය.

ඒ ශීතකරණය තුළ සියලූම වර්ගයේ බීම වර්ග ආහාරපාන, චොක්ලට්, රසකැවිලි ගබඩාකර තිබුණේය. අවශ්‍ය වූ විට ලලිත් පිංතු මීගමුව බන්ධනාගාරය තුළ සාද පැවැත්වූවේය. මේ සාදවලදී ඒ මොහොතේම ආහාර පිසදීම පවා සිදුකෙරුණේය. සිරකරුවන්ට අවශ්‍ය පලතුරු යුෂ ඒ මොහොතේම සකස්කර දෙන්නට තරම් පාලන අධිකාරිය අනුකම්පාසහගත වී සිටියේය.

බන්ධනාගාරය තුළ ලලිත් පිංතුට මේ සියලූ සැප පහසුකම් ලැබුණේ එහි පාලන අධිකාරියට පිංසිදු වන්නටය. ඒ සියල්ල සිදුවුණේ දහසින් බැඳි මොනර කොළ පාකර හැරීමෙන්ය. බන්ධනාගාර ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ අනුරුද්ධ සම්පායෝ ඉන් ඉවත් කිරීමෙන් පසු ලලිත් පිංතුගේ සුඛෝපභෝගී ජීවිතයට කණකොකා හඬන්නට පටන් ගත්තේය. සාමාන්‍ය රැඳවියෙකුට හිමිවන ආකාරයේ පහසුකම් ලලිත් පිංතුට ලැබෙන්නට විය.

වසර ගණනක් තිස්සේ මීගමුව බන්ධනාගාරයේ ගත කළ සුඛෝපභෝගී ජීවිතය අහිමි වීමෙන් ලලිත් පිංතුට තවදුරටත් එහි වාසය කළ නොහැකි තත්ත්වයක් උද්ගත විය.

අවසානයේ ලලිත් පිංතු ඇප ලබාගෙන බන්ධනාගාරයෙන් පිටතට ආවේය. ලලිත් පිංතුට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ රටින් පැන ගැනීමටය. මාකඳුරේ මධුෂ්ගේ ගෝල බාලයන් බහුතරයක් ඒ වන විට සිටියේ ඩුබායි රාජ්‍යයේ ය. ගිහාන් ෆොන්සේකා කොස්ගොඩ රණා ඇතුළු පාතාල මැරයන් කීපදෙනෙකුම ඩුබායි රාජ්‍යයට වී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වෙමින් මහා ධනකුවේරයන් ලෙස ජීවත් වෙමින් සිටියහ.

ලලිත් පිංතුට අවශ්‍ය වී තිබුණේ කෙසේ හෝ ඩුබායි රාජ්‍යයට පැන ගැනීමටය. එහෙත් කොරා්නා වසංගතය නිසා පිංතුට රටින් බැහැරවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. බන්ධනාගාරයෙන් පිටත ජීවිතය දැඩි අනාරක්‍ෂිත බව පිංතු තේරුම් ගෙන සිටියේය. ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි මෙන්ම ආරක්‍ෂක අංශත් තමන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින බව පිංතු දැන සිටියේය.

තමන් පාතාල ක‍්‍රියාකාරකම් සියල්ල අතහැර යහපත් මඟක යන බව කියමින් පිංතු අමුතුම තාලේ රංගනයකට මුල පිරුවේය. මම මහණ වෙනවා. මම මේ ජීවිතේ තේරුම් අරන් ඉන්නේ. මං ගොඩක් වැරදි කළා. ඒවායේ ආනිසංස දැන් තමයි තේරෙන්නේ.’’ ලලිත් පිංතු අවි බිම තබා නවගුණවැල ගණන් කරන්නට පටන් ගෙන තිබුණේ කාව නොමඟ යැවීමට දැයි කිසිවකුත් දැන සිටියේ නැත. පොලිසියේ උසස් නිලධාරීන් කීපදෙනෙකුම මුණගැසී තමන් යහමඟට යෑමට උත්සාහ කරමින් සිටින බව කියමින් මේ පාතාල මැරයා සියළුදෙනා නොමඟ යැවීමට උත්සාහ ගනිමින් සිටියේය. පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකය පසුගිය කාලය පුරාවට සීරුවෙන් සිටියේය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය වෙත පසුගිය දවසක වැදගත් තොරතුරක් ලැබෙන්නේ මේ අතරතුරදීය. ඉන් කියැවුණේ ආයුධ සන්නද්ධ පාතාල කණ්ඩායමක් සුඛෝපභෝගී ජීප් රථයකින් සීදුව කටුනායක මීගමුව ප‍්‍රදේශ පුරා සැරිසරන බවය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන මෙහෙයුම්වලට නම්දරා සිටින කීර්තිමත් නිලධාරියකු වන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතා වෙත මෙම බුද්ධි තොරතුරු ලැබෙන්නේ ඉන් අනතුරුවය. ආයුධ සන්නද්ධව සැරිසරන පාතාල කල්ලිය පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීමට නදීක සිල්වා ඇතුළු නිලධාරීහු කටයුතු කළහ. කිසියම් අපරාදයක් සිදුකිරීම සඳහා අරඅදිමින් සිටින මේ පාතාල කල්ලිය පිළිබඳව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගැනීමට ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා පියවර ගත්තේය.

‘‘සර්…. මොකක් හරි ලොකු ගේම් එකකට තමයි මේ ටීම් එක කැරකෙන්නේ. මොනව හරි දෙයක් කරන්න ඉස්සර අපි මේ ටීම්් එක ගන්න ඕනෙ. නදික සිල්වා නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට සියලූ තොරතුරු ලබා දී මෙහෙයුම සඳහා උපදෙස් ලබා ගත්තේය.

‘‘මේ වැඬේ පරක්කු කරන්න එපා. අපේ TEAM ටීම් එක අදම බස්සන්න. මොකද අපේ ප‍්‍රමාදය ලොකු අනතුරකට හේතු වෙන්න පුළුවන්….’’ ආයුධ සන්නද්ධව සීදුව කටුනායක ප‍්‍රදේශ පුරා කරක් ගහගෙන පාතල කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් මෙන්ම පහසුකම් වහාම ලබා දීමට නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා පියවර ගත්තේය. පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දින කීපයක් තිස්සේ සීදුව, මීගමුව, කටුනායක ප‍්‍රදේශ පුරා සැරිසරමින් මේ පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මක කළහ. පසුගිය 18 වැනිදා රාත‍්‍රියේ විශේෂ කාර්ය බළකායේ නදික සිල්වා ඇතුළු නිලධාරීන් සීදුව බේස්ලයින් මාර්ගයේ රැකවල්ලාගෙන සිටියහ. සන්නද්ධ පාතාල කණ්ඩායම සීදුව බේස්ලයින් මාර්ගය ඔස්සේ පැමිණෙන බවට තොරතුරක් ඒ වන විට නදීක සිල්වා වෙත ලැබී තිබුණේය. ඒ වන විට මධ්‍යම රාත‍්‍රියට ආසන්න වෙමින් තිබිණි. බේස්ලයින් මාර්ගය ඔස්සේ පැමිණි මෙරූන් පැහැති වෙසල් රථය හඳුනාගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එය නතර කළහ. වෙසල් රථය තුළ පුද්ගලයන් තිදෙනෙකු වූහ. ඔවුන් පරීක්‍ෂා කිරීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සූදානම් වනවාත් සමඟම රථයේ ඉදිරිපස අහුනේ සිටි පුද්ගලයා වේගයෙන් එහි දොර විවෘත කළේය.

අනපේක්‍ෂිතව වූ සිදුවීමෙන් දොරේ වැදුණු විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂකවරයකු බිම ඇද වැටුණේය. ඒ සැණින් ක‍්‍රියාත්මක වූ පුද්ගලයා මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ද රැගෙන වෙසල් රථයෙන් බැස දිව ගියේය.

ඒ වන විට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මාර්ගය දෙපස රැකවල්ලාගෙන සිටියහ. පිස්තෝලය රැගෙන පලා යන පුද්ගලයාට නතර වීමට අණ දුන්නද ඔහු නතර නොවීය. රැකවල්ලාගෙන සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අවි ක‍්‍රියාත්මක වන්නේ ඉන් පසුවය. සන්නද්ධ පාතාල මැරයාගේ සිරුර පසාරු කරගෙන වෙඩි උණ්ඩ කීපයක් ගමන් කර තිබුණේය.

වෙඩි ප‍්‍රහාරවලින් තුවාල ලැබූ පාතාල මැරයා මීගමුව රෝහල වෙත රැගෙන යන විටත් ඔහු මියගොස් සිටියේ නැත. රෝහල්ගත කිරීමෙන් පසු මේ පාතාල මැරයා ජීවිතය හැර ගියේය. මැරයා සමඟ සිටි පාතාල සගයන් දෙදෙනා සහ ඔවුන් සතුව තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලය විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අතට පත්විය.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වුණේ වෙන කවරකුවත් නොව විසි දෙවසරකට අධික කාලයක් තිස්සේ මෙරට පාතාලයේ මහා කෙළිකාරයකුව සිටි ලලිත් පිංතු නමැති පාතාල මැරයා ය. තමන් සියලූ දුසිරිත් ක‍්‍රියාවලින් ඉවත් වී යහපත් පුරවැසියකු වීමට උත්සාහ ගන්නා බව කියමින් ලලිත් පිංතු රටින් පැන ගැනීමේ උත්සාහයක නිරතවී සිටියේය. මොහු සතුව තිබූ විදේශ ගමන් බලපත‍්‍ර දෙකක් ද විශේෂ කාර්ය බළකාය අතට පත්විය.

ඩුබායි රාජ්‍යයේ සුරසැප විඳින ගිහාන් ෆොන්සේකා, කොස්ගොඩ රණා ඇතුළු පාතාල මැරයන් ලලිත් පිංතු තොරණ ගසා පිළිගන්නට සූදානමින් සිටියහ. එහෙත් පොලිස් විශේෂ කාර්ය බළකාය ලලිත් පිංතුගේ අවසානය තීරණය කළහ. එසේ නොවන්නට ලලිත් පිංතු ඩුබායි රාජ්‍යය වෙත ගොස් මෙරට මහා කුඩු මුදලාලි බවට පත්ව සිටින ගිහාන් ෆොන්සේකලා කොස්ගොඩ රණා ඇතුළු පාතාල මැරයන් සමඟ අත්වැල් බැඳගනු නිසැකය.

එසේ වූවා නම් තවත් හෙරොයින් ටොන් ගණන් මේ පුංචි දිවයින වෙත පැමිණීම වැළැක්විය නොහැක.

පුරා විසි දෙවසරකට අධික කාලයක් තිස්සේ ලලිත් පිංතු නමැති පාතාල මැරයා සිදුකළ අපරාධ මෙතෙකැයි කිව නොහැක. ඒ අපරාධවලට නියම දඬුවම මෙලොවදීම භුක්ති විඳින්නට ලලිත් පිංතුට අවස්ථාව හිමිවිය. මෙරට බිහි වූ පාතාල මැරයන් හැම එකාටම අත් වූ අකල් මරණය ලලිත් පිංතු නමැති මැරයාට ද ලැබුණේය.

– හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment