‘මනමාල හැන්දෑව’ පිළිකා රෝගීන් වෙනුවෙන්මයි – කීර්ති පැස්කුවල්

245

කීර්ති පැස්කුවල් කියූ සැණින් ඔබ, මට, අප කාහටත් එකවර සිහිවන්නේ ඒ ළයාන්විත හඬ පෞර්ෂයයි. ඔහුගේ උපන් දිනය දා ළයාන්විත අහසක ආදරණීයම පහස විඳගන්න ඔබත් එන්න “මනමාල හැන්දෑව” රසවිඳින්න, ජනවාරි මස 29 වන ඉරිදා සවස 6.45ට නෙළුම් පොකුණ රඟහලට.

“මනමාල හැන්දෑව” ඔබ කරපු අනෙක් ප්‍රසංගවලට වඩා වෙනස් හැඩයක් ගන්නවා ද?

ඔව්. මම 2019 සැප්තැම්බර් 29 වන දාත් “මනමාල හැන්දෑවක්” පැවැත්වූවා. එහි මූලික සැලැස්මම තමයි මෙවර ප්‍රසංගයෙත් තියෙන්නේ. නමුත් මෙහි අනු පිළිවෙළ සහ පෙර නොතිබුණු ගීත අලුතින් එකතු වීම් වගේ වෙනස්කම් කිහිපයක් තියෙනවා. ගීතවල යුග ගායනා එහෙමත් ගියවරට වඩා ටිකක් වැඩියි මෙවර. චන්ද්‍රලේඛා පෙරේරා, නිරෝෂා විරාජිනී, සමිතා මුදුන්කොටුව, ධම්මිකා බණ්ඩාර, මරියසෙල් ගුණතිලක,චේතනා රණසිංහ සහ චාරුණී පැස්කුවල් යන අය තමයි ගීත ගායනා කරන්නේ. ඒ වගේම නර්තනය අංග රචනය කරන්නේ චන්න විජේවර්ධන-උපුලි රංගායතනයයි. සංගීතය සපයන්නේ නව පරපුරේ සංගීතඥයෙක් වන නාලක සජී. මෙවර ප්‍රසංගය ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කරන්නේ සාරංග දිසාසේකර. ඒ වගේම මේ මුළු ප්‍රසංගයම කොටස් හතරකට වෙන් කෙරෙනවා. ඒ හතරට ඇඳුම් හතරකුත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ප්‍රේක්ෂකයින්ට නැවුම් අත්දැකීමක් ලැබෙයි කියල මම හිතනවා.

“මනමාල හැන්දෑව” කියන නම හැදෙන්නේ කොහොමද?

මගේ ගීතයක් තියෙනවා උපාලි බණ්ඩාර වීරසේකර මහතා රචනා කළ “මනමාල හැන්දෑවේ පිනි වැස්ස වහිනවා” කියලා. ඉතින් මේ ගීතය මතක් වෙලා තමයි මට හිතුණේ මේ ගීතය මගේ මේ ප්‍රසංගයට ගැළපෙනවා කියලා.

“මනමාල හැන්දෑවේ” මනමාලියෝ කැන්දන්නද බලාපොරොත්තුව?

ඔව්. විශේෂයෙන්ම කියන්න ඕනේ මට රසිකාවියෝ තමයි වැඩිපුර ඉන්නේ. ඉතිං ඒ රසිකාවියෝ මම මනමාලියෝ විදිහට දකින්න ආසයි. එදාට මගේ උපන් දිනයත් යෙදී තියෙනවා. ඉතින් මට සුභ පතන්න ප්‍රසංගය දවසෙ මාව බලන්න ගොඩක් අය එයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

දිනය සහ වේලාවත් මතක් කරමු?

ජනවාරි මාසේ 29 වන ඉරිදා සවස 06.45ට නෙළුම් පොකුණ රඟහලේදී තමයි පැවැත්වෙන්නේ.

මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණ ගැන කතා කළොත්?

ප්‍රසංගයේදී මම ගායකයෙක් විදිහට මට ප්‍රිය කරන ප්‍රේක්ෂකයෝ ඇවිත් මගේ ගීත රසවිඳිනවා. මම ලොකු මුදලක් වැය කරලා මේ ප්‍රසංගය පවත්වන්නේ අන්න ඒ අයව සතුටු කරවන්න. ඊට පස්සේ තියෙන අරමුණ තමයි මෙම ප්‍රසංගය තුළින් මම ජනතාව වෙතට ඉතාමත් වැදගත් පණිවුඩයක් ගෙනියනවා. ඒ තමයි, අපේ රටේ රෝගාතුර වෙලා අසරණ වෙලා ඉන්න පිළිකා රෝගීන් පිරිසක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් මම මේ ප්‍රසංගය පවත්වා එදිනට “භාරකාර අරමුදලක්” ආරම්භ කරනවා. භාරකාරයින් විදිහට වෛද්‍යවරු වගේම ලෝකේ සහ රටේ පිළිගත්ත වැදගත් පිරිසක් මේකට එකතු කරගෙන ආරම්භ කරනවා. එතකොට මුළු ලෝකෙටම මේ පණිවිඩය මේ ප්‍රසංගය හරහා ලබා දෙන්න පුළුවන්. මොකද මම කෑගහලා කිව්වට ඒ පණිවිඩය අරගෙන යන්න බැහැ. මිනිස්සුන්ගෙ ඇස්වලට කඳුළු පිරෙන විදියට ප්‍රසංගය ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක හැම කෙනෙක්ටම දැනෙනවා සහ උදව් කරන්න ඔවුන් පෙළඹෙනවා. ඒ උදව්ව අපි අසරණ රෝගීන් උදෙසා භාවිතා කරනවා. අන්න ඒ රෝගීන්ව ජීවත් කරන්න ගන්න උත්සාහය තමයි මගේ මේ “මනමාල හැන්දෑව” ප්‍රසංගයේ ප්‍රධාන අරමුණ වෙන්නේ.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment