මන්කිපොක්ස් අවදානමක් : ප්‍රවේශම්වන්න

511

මේ වන විට ලොව පුරා රටවල් 12කින් වාර්තා වී ඇති ‘මන්කිපොක්ස්’ නමැති දුර්ලභ රෝගය විදෙස් සංචාරකයන් හරහා ශ්‍රී ලංකාවට ද පැමිණීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති.

මෙම රෝගය සම්බන්ධයෙන් පරීක්ෂා කර හඳුනාගැනීමේ සියලු පහසුකම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකක රසායනාගාරයේ පවතින බව එම ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි. අදාළ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය දැනටමත් ආනයනය කර ඇති අතර එම ද්‍රව්‍ය මෙම සතිය තුළදී සිය ඒකකය වෙත ලැබීමට නියමිත බව ඔහු ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී.

ඊයේ (22දා) වන විට ලොව පුරා රටවල් 12කින් මන්කිපොක්ස් රෝගයට ගොදුරුවූවන් 80කට අධික පිරිසක් හඳුනාගෙන තිබූ අතර එම රෝගය වැළඳුණු බවට සැක කෙරෙන තවත් රෝගීන් 50 දෙනකු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙමින් තිබිණි. මුලින් මධ්‍යම හා බටහිර අප්‍රිකානු රටවලට සීමා වී තිබූ මෙම දුර්ලභ ගණයේ රෝගය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැඩි අවධානයක් යොමු කරමින් එම රෝගීන් වාර්තා වී ඇති රටවල රජයන් සමග එක්ව විමර්ශනය කරමින් සිටින බව නිවේදනය කර ඇත. තවමත් මෙම රෝගය පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පැවතීම නිසා එම රෝගයේ පැතිරීම හා පැතිරීම වැළැක්වීම සම්බන්ධයෙන් රටවල පිළිගත් සෞඛ්‍ය ආයතනයක් විසින් අනාවරණය කරනු ලබන තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මුලදී වඳුරන් ඇතුළු සතුන්ට වැළඳී ඇති මෙම රෝගය මේ වන විට මිනිසුන්ටද වැළඳීම හේතුවෙන් එම රෝගය වසංගත රෝගයක් ලෙස පැතිර යෑමේ දැඩි අවදානමක් පවතින බවට බටහිර සෞඛ්‍ය විශේෂඥයන් විසින් අනතුරු අඟවා තිබේ. මෙම රෝගය දැනට යුරෝපා රටවල් වන එංගලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය, ජර්මනිය, බෙල්ජියම, ප්‍රංශය, නෙදර්ලන්තය, ඉතාලිය හා ස්වීඩනය යන රටවලින් හා ඔස්ටේ්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව යන රටවලින් වාර්තා වී තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

වසූරිය වෛරසයට සමානකම් දැක්වීම නිසා මන්කිපොක්ස් රෝග වෛරසය මැඬලීම සඳහා යම් පමණකට හෝ හැකියාව ඇත්තේ වසූරිය එන්නතට පමණක් වන බවත් එම එන්නතට මන්කිපොක්ස් රෝගයට එරෙහිව සියයට 85ක පමණ ප්‍රතිශක්තියක් ලබා දිය හැකි බවත් සෞඛ්‍ය විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබේ. මෙම රෝගය කෙළ බිඳිති හා සොටු දියර මගින්ද පැතිරෙන බවට දැනට හඳුනාගෙන ඇත. තවමත් මෙම රෝගය විමර්ශන මට්ටමේ පැවතියද එහි රෝග ලක්ෂණ වශයෙන් උණ, හිසරදය, ඉදිමීම්, මාංශ පේෂීන්වල හටගන්නා වේදනාව හා තුනටිය රුදාව හඳුනාගෙන තිබේ. මෙම වෛරසය නිසා හටගන්නා රෝග ලක්ෂණ මුහුණෙන් පටන් ගෙන පාද දක්වා ව්‍යාප්ත වන බව හෙළි වී තිබේ. මෙම වෛරසය මුලදී ලෙහෙසියෙන් මිනිසුන් අතර නොපැතිරෙන වෛරසයක් ලෙස හැඳින්වුවද එහි ස්වභාවය මේ වන විට වෙනස් වීම නිසා මිනිසුන් අතර එය පැතිරෙන බවට සෞඛ්‍ය අංශ විසින් සැක පළ කර ඇත.

ඒමන්ති මාරඹේ
 

advertistmentadvertistment
advertistmentadvertistment