මන්කිපොක්ස් පැතිරීම නිසා ඇමෙරිකාවේ ප්‍රාන්ත 2ක් සහ නගරයක හදිසි තත්ත්වයක්

254

ලොව පුරා රටවල පැතිර යමින් පවතින ‘මන්කිපොක්ස්’ හෙවත් වඳුරු උණ රෝගයේ ශීඝ්‍ර පැතිරීම හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 2ක් හා නගරයක් හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන මන්කිපොක්ස් රෝගීන්ගෙන් සියයට 47ක් වාර්තා වන කැලිෆෝර්නියා හා ඉලිනොයි යන ප්‍රාන්ත හා නිව්යෝක් නගරය මෙසේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කර තිබේ.

මෙසේ හදිසි සෞඛ්‍ය ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම මගින් මන්කිපොක්ස් රෝගය වැළක්වීම සඳහා සිදු කරන එන්නත්කරණ වැඩසටහන් සාර්ථක කරගැනීමට හැකි වන බව කැලිෆෝර්නියා ප්‍රාන්ත බලධාරීහු පවසති. මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 48කට මන්කිපොක්ස් රෝගය පැතිර ගොස් ඇති අතර එරටින් මන්කිපොක්ස් රෝගීන් 6000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. දැනට යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ මන්කිපොක්ස් රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බව වාර්තා වී තිබේ. මේ අතර ඉන්දියාවෙන් ඊයේ (02 දා) වන විට මන්කිපොක්ස් ආසාදිතයන් -7 දෙනකු වාර්තා වී තිබුණු අතර ඉන් 05දෙනකු කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වී තිබේ. ඉන්දියාවෙන් දැනට වාර්තා වී ඇති මන්කිපොක්ස් ආසාදිත මරණය වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් වන අතර එම මියගිය ආසාදිතයාගේ ආශ්‍රිතයන් 20 දෙනකු නිරෝධානයට ලක් කර ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment