මන්කි පොක්ස් බිය විය යුතු නැහැ

233

හමුවූ රෝගියා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය
සැකකටයුතු අයෙක් නම් ළඟම සෞඛ්‍ය ආයතනය වෙත යන්න

Monkeypox (මන්කි පොක්ස්) වෛරසය ආසාදනය වනුයේ ඉතාම සමීප ඇසුරකින් බවත්, ඒ නිසා ඒ පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ නිසා මෙරටින් එවැනි ආසාදිතයකු වාර්තා වීම පිළිබඳව බියක් ඇතිකර ගත යුතු නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මේ පිළිබඳව මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කීය.

ශ්‍රී ලංකාව තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වනු ලබන බවත්, ඒ නිසාම අදාළ ආසාදිතයා කඩිනමින් හඳුනා ගැනීමට හැකි වූ බවත් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කීය.

විශේෂයෙන්ම Monkeypox රෝගය පුද්ගලයකුගෙන් තවත් අයකුට බෝවිය හැක්කේ ඉතාම සමීප ඇසුරකින් පමණක් බවත්, එය විවිධ ක්‍රම ඔස්සේ සිදුවිය හැක්කක් යැයි ද ඒ මහතා පැවසීය. මෙම රෝගී තත්ත්වය පැපොල වැනි රෝගී තත්ත්වයක් බවත්, එවැනි වෛරස් තත්ත්වයන් සාමාන්‍යයෙන් විටින් විට ඇතිවන්නක් බවත්, එහෙත් මෙම රෝගය පිළිබඳව වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඒ පිළිබඳව අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ඔස්සේ කටයුතු කරන ලෙසත්, සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට මේ වන විට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයි පෙන්වා දෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඒ නිසා සැක සහිත රෝගීන් පිළිබඳව සෞඛ්‍ය අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවත් කීවේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා-

03 වැනිදා මෙරටින් ප්‍රථම Monkeypox රෝගියා වාර්තා වූවා. ඔහු නොවැම්බර් මස 01 දා විදේශ රටක සිට මෙරටට පැමිණි වයස අවුරුදු 19 ක පුද්ගලයෙකි. සැක සහිත බැවින් 02 දා වෛද්‍යවරුන් විසින් ඔහුගේ සාම්පල් වෛද්‍ය පර්යේෂණායතනයට යොමු කර එම පුද්ගලයා රෝහල්ගත කිරීමට කටයුතු කළා. ඊයේ දිනයේදී වෛද්‍ය පර්යේෂණායතනය විසින් එම රෝගියාට Monkeypox වෛරසය ආසාදිත බවට තහවුරු කළා. දැනට ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා. එමෙන්ම ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබෙනවා”

“මෙය කිසිසේත්ම බිය විය යුතු දෙයක් නොවෙයි. අප රට තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුව නිසාමයි මෙම රෝගියා ද හඳුනාගැනීමට හැකියාව ලැබුණේ. මේ සඳහා සිදු කරන පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණායතනයේ සියලු පහසුකම් සහ ඖෂධ තිබෙනවා. කොවිඩ් වෛරසය වගේ මෙම වෛරසය බෝවන රෝගයක් නොවෙයි. නිරෝධායනය කිරීමට, ගුවන්තොටුපළ වැසීමට, වෙළෙඳසල් වැසීමට අවශ්‍යතාවයක් නැහැ.”

“මම සියලුම මාධ්‍යවලින් ඉල්ලා සිටිනවා රෝගීන් පිළිබඳ වාර්තා කිරීමේදී ඔවුන්ගේ නම් ගම් ඇතුළු පෞද්ගලික තොරතුරු, ආගිය ස්ථාන, ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස. කොවිඩ් වසංගතයේ දීත් මේ වැරැද්ද සිදු කළා. මෙයින් සිදු වෙන්නේ රෝගීන් වෛද්‍ය පරීක්ෂණවලට ඒම අධෛර්යමත් වීමයි. එය සිදු නොවිය යුතු දෙයත්. සැකකටයුතු රෝගියෙක් සිටිනවා නම් ළඟම පිහිටි සෞඛ්‍ය ආයතනය වෙත යොමු වෙන්න. ඔබගේ අනන්‍යතාවට ගැටලුවක් වන කිසිම කරුණක් මාධ්‍ය වෙත අප ලබාදීම සිදු කරන්නේ නැහැ.”

“මේ වසරේ මැයි මාසයේ තමයි මෙම වෛරසය ලෝකයේ පැතිරෙන්න පටන්ගත්තේ. යුරෝපයේ සහ අනෙකුත් රටවල එය පැතිරිලා දැන් අඩුවෙමිනුයි තිබෙන්නේ. දකුණු ආසියාතික රටවල ගතහොත් දැනට වාර්තා වී තිබෙන්නේ රෝගීන් 23 කි. මියගොස් තිබෙන්නේ එක් රෝගියෙකි. ලෝකයෙන්ම රෝගීන් 73,434 ක් දැනට වාර්තා වී තිබෙන අතර එයින් රෝගීන් 29 ක් පමණයි මියගොස් තිබෙන්නේ.”

“මෙහි රෝග ලක්ෂණ ගත්තොත් එයට අඩු වැඩි වශයෙන් ශරීරයේ පළු, ලප ඇති වී රෑෂ් (සමේ ඇතිවන ආසාදන) එකක ආකාරයට රෝග ලක්ෂණ පැමිණිය ද එය එකවර මෙම රෝගය කියා තහවුරු කිරීමට බැහැ. පැපොල රෝගීනුත් ඒ ආකාරයට වාර්තා වෙනවා. වෛද්‍යවරයකු විසින් එය සායනික ඉතිහාසයත්, වසංගතවේදී ඉතිහාසයත් අනුවයි තීරණය කරනු ලබන්නේ. මෙරටින් වාර්තා වූ රෝගියා රටට පැමිණ පැය 24 ක් වැනි කාලයක් තුළ සෞඛ්‍ය අංශ වෙත වාර්තා කර තිබුණා. සෞඛ්‍ය අංශ ඉතා ඉක්මනින් සැක කටයුතු රෝගියෙක් ලෙස හඳුනාගෙන සැළැසුම් අනුව අවශ්‍ය තැනට යොමු කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස පැය 48 ක් යෑමට ප්‍රථම තහවුරු කර ගැනීමටත්, ප්‍රජාවට ගැටලුවක් නොවන ආකාරයට සැළැසුම් අනුව රෝහල්ගත කර සායනික පහසුකම් සපයා තිබෙනවා. මේ වන විට ඔහු ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ සිටිනවා.”

“මෙම රෝගය වාහනයක යෑමෙන් හෝ ආයතනයක සිටීමෙන් පැතිරෙන රෝගයක් නොවේ. මෙය පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙක්ට පැතිරෙන්නේ ඉතාම සමීප ඇසුරකිනි. වෛරසය ආසාදිතයකුගේ තුවාලවල ශ්‍රාවය තවත් කෙනකුගේ ශරීරයේ දැවටීමෙන් එම පුද්ගලයාගේ තුවාලයක් හරහා ශරීරයට ඇතුළුවීමේ ඉඩකඩක් තිබෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙනවා. වාතය මගින්, බිඳිති මගින් බෝවීමට ඉතාම අවම හැකියාවක් තිබෙන්නේ. එයත් දිගු කාලයක් එකට සමීපව සිටින කෙනකුට පමණයි. රෝගීන් බලා කියා ගැනීමට අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල හොඳ පුහුණුව ලත් පිරිසක් ඉන්නේ. ආරක්ෂිත ඇඳුම් සහ ද්‍රව්‍ය ද භාවිත කරන බැවින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මෙය බෝවීමේ හැකියාව නැහැ. රෝගියා හමු වූ පසු ක්ෂේත්‍රයේ පරීක්ෂා කිරීම් සිදු කළා. කිසිදු අවදානමක් නැහැ. ඉතා වගකීමෙන් කියන්න පුළුවන් මේ පුද්ගලයා හරහා ප්‍රජාවට රෝගය බෝවීමේ කිසිදු ඉඩකඩක්, අවකාශයක්, මේ වනවිට පෙනී ගොස් නොමැත.”

ශිරාන් රණසිංහ සහ ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment