මන්ත්‍රීවරිය කොමසාරිස්ට  සෙරෙප්පුවෙන් ගහලා – කෝපයට පත් සේවකයන්ගෙන් මන්ත්‍රීවරියට කුණු බිත්තර ප්‍රහාරයක්

532

අනුරාධපුර නගර සභාවේ ගාලගෝට්ටියක්

බහින්බස්වීම දුරදිග ගිහින්


අනුරාධපුර මහ නගර සභාවේ ඊයේ (27 දා) පැවැති මුදල් කාරක සභා රැස්වීමේදී ඇතිවූ බහින් බස්වීමකින් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක වන සුරංගි ආර්. සමරතුංග විසින් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාහට සෙරෙප්පුවකින් දමා ගැසීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ (27) පෙරවරුවේ එහි සමස්ත සේවකයින් වැඩවර්ජනයක නිරතව සිටි අතරතුර දැඩි විරෝධය හමුවේ මහ නගර සභා පරිශ්‍රයට පැමිණි මන්ත්‍රීවරියට සේවකයින් වට කර කුණු බිත්තර සහ පල්වූ ආහාර මිශ්‍ර ජල ප්‍රහාරයක් එල්ල කොට ඇය නගර සභා පරිශ්‍රයෙන් පළවා හරිනු ලැබිණි.

පෙරේදා (27) පෙරවරුවේ නගරාධිපති එච්. පී. සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම නගර සභා රැස්වීම පවත්වා ඇති අතර එහිදී පසුගිය පොසොන් උත්සව සමයේ ‘පුරවර උදානය’ සැණකෙළියෙන් ලද ප්‍රවේශ පත්‍ර ආදායම් සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය විසින් නාගරික කොමසාරිස්වරයාගෙන් මතුකළ ප්‍රශ්නයක් අතරතුර බහින් බස්වීමක් හට ගෙන තිබිණි.

රැස්වීම අවසන් වී නාගරික කොමසාරිස්වරයා ඇතුලු මන්ත්‍රීවරුන් ආලින්දයට පිවිසෙන දොරටුවෙන් පිටවීමට උත්සාහ කළ අවස්ථාවේ දොරටුව අවහිර කළ මන්ත්‍රීවරිය ඇය පැළඳ සිටි සෙරෙප්පුවක් ගලවා නාගරික කොමසාරිස්වරයාට දමා ගසා ඇත.

අනතුරුව ඉන් මිදී සිය නිල කාමරය වෙත නාගරික කොමසාරිස්වරයා වේගයෙන් යද්දී ඔහු පසුපස හඹාවිත් පැමිණි ඇය පැළඳ සිටි අනෙක් සෙරෙප්පුවෙන්ද ඔහුට දමා ගසා තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා ඊයේම අනුරාධපුර පොලිසිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබිණි.

කෝපයට පත් නගර සභා සේවකයන් සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ පෙරවරුවේ නගර සභා පරිශ්‍ර භූමියේ කළු කොඩි ඔසවා සෙරෙප්පු ප්‍රහාරය එල්ල කළ බව කියන සුරංගි ආර්. සමරතුංග මන්ත්‍රීවරිය නගර සභා පරිශ්‍රයට පැමිණ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් සමාව ගන්නා තුරු වැඩ වර්ජනයක් ආරම්භ කරණු ලැබූහ.

මේ අතරතුර අදාළ මන්ත්‍රීවරිය සේවකයන්ගේ හූ හඬ හා ඝෝෂාව මධ්‍යයේ සිනාමුසු මුහුණින් යුතුව නගර සභා පරිශ්‍රයේ පිහිටි මන්ත්‍රීවරුන්ගේ නිල කාමරය වෙත ඇතුළුවීමත් සමග කාමරය වැටලූ සේවකයෝ මන්ත්‍රීවරියට කුණු බිත්තර සහ පල් කළ ආහාර මිශ්‍ර ජල ප්‍රහාරයක් එල්ල කොට නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ගෙන නගර සභා පරිශ්‍රයෙන් වහා පිටව යන ලෙසට දැඩි විරෝධය පාමින් දැනුම් දුන්හ.

අනතුරුව මන්ත්‍රීවරිය පසුපස දොරෙන් නගර සභා පරිශ්‍රයෙන් පිටතට ගිය අවස්ථාවේ සේවකයන් පිරිසක් කසළ ප්‍රවාහනය කරන කරත්තයක නංවාගෙන නගර සභා පරිශ්‍රය ඉදිරිපිටට කැඳවා ගෙනවිත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සියලු සේවකයින් ඉදිරියේ කොමසාරිස්වරයාගෙන් සමාව ගන්නා ලෙසට මන්ත්‍රීවරියගෙන් ඉල්ලා සිටියහ.

ඒ අනුව කඳුළින් පිරි දෙනෙතින් යුතුව මන්ත්‍රීවරිය නාගරික කොමසාරිස්වරයාගෙන් සමාව ඇයද සිටියාය.

අනතුරුව එහි පැමිණි අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කීප දෙනෙක් මන්ත්‍රීවරිය සේවකයන් ගෙන් මුදවාගෙන පොලිස් ස්ථානය සතු වාහනයකින් ඇගේ නිවස වෙත කැඳවාගෙන යනු ලැබිණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment