මන්ත්‍රී ගණන 225මයි – විශේෂ කාරක සභාව නිර්දේශ කරයි

364

මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225ක් ලෙසට ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවට මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සංශෝධනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කර ඇත.එමෙන්ම අනාගතයේදී මිශ්‍ර ඡන්ද ක්‍රමයක් සඳහා නීති සම්මත කිරීම, කොට්ඨාස හා සමානුපාත නියෝජනය සියයට 70-30, සියයට 65-35 හෝ සියයට 60-40 යන ක්‍රමයන්ගෙන් එකක් ඇති කළ යුතු බවට ද කාරක සභාව යෝජනා කර තිබේ.

 මේ අතර ජාතික ලැයිස්තුව සංවෘත්ත ලැයිස්තුවක් විය යුතු බවටත් බුද්ධිමතුන්, විශේෂඥයන් සහ ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය කරනු නොලැබූ පක්‍ෂ පමණක් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත් කරනු ලැබීමට අවස්ථාව ලබාදිය යුතු බවටත් කාරක සභාව නිර්දේශ කර ඇත.පුද්ගලයකු ජාතික ලැයිස්තුවට පත් කිරීම එක් වාරයකට පමණක් සීමා විය යුතු බවටත් සිය ධුර කාලය අවසානයේදී එම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයාට මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවටත් නිර්දේශ කර ඇත.මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහය හා නීති රීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව එහි සභාපති සභානායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පසුගිය 22 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment