මන්ත‍්‍රීවරුන්ට ඩියුටි ෆී‍්‍ර වාහන ගෙන්වාදීම අත්‍යවශ්‍යයි

2101

මෙයට අවුරුද්දයි මාස හයකට පෙර වසූරිය වැනි භයංකර තත්ත්වයක් ලෙසට පිළිගැනීමක් තිබූ කොරෝනා රෝගය ක‍්‍රමානුකූලව ඩෙංගු හෝ නිව්මෝනියා වැනි තත්ත්වයෙන් එතරම් බරපතළ නැති, හැදුනත් සනීප කළ හැකි ලෙඩක් බවට පරිවර්තනය වෙමින් තිබේ. කොරෝනා වර්ධනයට සාපේක්‍ෂව ඉහළ ගිය ආර්ථික අර්බුදය නිසා පස්ස පැත්ත බිම ඇනී සිටි ශ‍්‍රී ලංකාව තවමත් ලෙඩ ඇඳට වී කල්පනා කරමින් සිටින්නේ ජීවිතය නැවතත් අරඹන්නේ කොතැනින්ද කියාය. අප ජීවිතය නැවතත් පටන්ගත යුත්තේ කොතැනින්ද? මේ සඳහා අපි උත්තර කිහිපයක් යෝජනා කරමු. එනම්,

  1. දිගු කාලයකට පසු රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමේ චූන් එක විඳිමින් අතේ තිබෙන අන්තිම සත 25 ද වියදම් කර විනෝද චාරිකා ගොස් ෆන් එක ගැනීමෙන්.
  2. ප‍්‍රවේශම් සහගත ලෙස ජන ජීවිතය අරඹා දෛනික කටයුතු පවත්වාගෙන යමින් රට සහ පණ යන දෙකම බේරා ගැනීමෙන්.
  3. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඩියුටි ෆී‍්‍ර වාහන පර්මිට් ලබා දීමෙන්.

පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් වූද මනුස්සයකු වශයෙන් ඉතා යහපත් ගතිගුණ තිබෙන අයකු වූද එහෙත් කට ඇරියොත් නිතරම කාබනික පොහොර තොග වශයෙන් පිට කරන්නා වූද නීතිඥ සාගර කාරියවසම් මේ රටේ ජනාධිපති වී නම් ස්ථිර වශයෙන්ම ජීවිතය නැවත පටන් ගන්නවා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පර්මිට් එකට වාහන ආනයනය කර දීමෙනි. පසුගිය දා බත්තරමුල්ලේ නෙලූම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් සාගර කාරියවසම් පවසා ඇත්තේ මේ වනවිට රටේ කොරෝනා මර්දනය සාර්ථක වී ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පිටරටින් වාහන ගෙන්වාදීමේ තීරණය යළි සලකා බැලීමට කාලය එළඹී ඇති බවය. මෙය සිතුවිල්ලක් වශයෙන් ඉතා විචිත‍්‍රය. පරහිතකාමීය. එමෙන්ම ත්‍යාගශීලීය. එහෙත් කතාවක් වශයෙන් ඉතාම කැතය. එසේම බංකොලොත්ය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ඩියුටි ෆ‍්‍රී වාහන ගෙන්වීමේ තීරණය අත්හිටුවන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඔහු රජයේ වාහන පාවිච්චි නොකරන අතර නිල රථය වශයෙන් පාවිච්චි කරන්නේ හිතවතකුගෙන් ඉල්ලාගත් වාහනයකි.

එයට හේතුව එබඳු දේ නඩත්තු කිරීමට මේ රටට වත්කමක් නැති බව ඔහුගේ පෞද්ගලික අදහස වීම විය යුතුය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනාට මොන්ටෙරෝ 225 ක් හෝ V8 225 ක් ආනයනය කර දීමට රටක් වශයෙන් ගත්කල සුවිශාල මුදලක් වැය වන්නේ නැත. එනම් මෙවැනි වාහන 225 ක් ගෙන්වීම සඳහා රටේ ජාතික ආදායමෙන් වැයවන මුදල ගිනිය නොහැකි තරම් ස්වල්පයකි. එහෙත් මිනිසුන් අතේ සතේ නැතිව නන්නත්තාර වී සිටින මෙවැනි මොහොතක මන්ත‍්‍රීවරුන්ට ඩියුටි ෆ‍්‍රී වාහන ගෙන්විය යුතු බව ප‍්‍රකාශ කිරීම ඡන්දදායකයන්ගේ සිත් රිදවන කතාවකි. මේ රටේ මිනිසුන් වැඩිදෙනා මේ වනවිට ආර්ථික ළිඳේ පතුලට ඇද වැටී බහුජාතික ගෙම්බන් විදේශ ආධාර දෙන බවට දෙන බොරු පොරොන්දු අසමින් හූල්ලති. ලෝකයේ තිබෙන රටවලින් අපට ණය දෙන බවට මේවන විටත් පොරොන්දු දී නැති එකම රට එස්කිමෝවරුන් ජීවත්වන ඇන්ටාක්ටිකාව විය යුතුය. සෙසු හැම රටක්ම තෙල් ගැනීමට, කෑම ගැනීමට, ආර්ථිකය දියුණු කිරීමට ණය දෙන බව කියමින් ඊළඟ මොහොතේ නිශ්ශබ්ද වී පොලූ තබති. හාල් මිල හැම මොහොතකම ඉහළ යයි.

රුපියල් 110 ට තිබෙන කැකුළු සහල් හැර අනෙක් සෑම සහල් වර්ගයක්ම ඉතා වේගයෙන් ඉහළ නගිමින් පවතී. හාල් මිල Fix කරන්නේ ආණ්ඩුව නොව මෝල්වරුය. සෑම බේකරි ආහාර වර්ගයකම මිල වැඩි කර ඇති අතර එළවළු දෙකක් මස්, මාළුවක් සහ බැදුමක් සහිත නාඩු සහල් බත් පාර්සලයක් රුපියල් 220 ක් දක්වා ඉහළ යන අවස්ථා මේ දිනවල තිබේ. මේ රටේ ඇතැම් මනුස්සයකුගේ දෛනික වැටුප රුපියල් දහස නොඉක්මවන අවස්ථා අදටත් බහුල වශයෙන් ඇත. ආණ්ඩුව කොරෝනා මර්දනය කරන නමුත් දුම්රිය හා බස්රිය වැනි පොදු ප‍්‍රවාහන මාධ්‍ය තවමත් ක‍්‍රියාත්මක වී නැත.

ඒවා ක‍්‍රියාත්මක වීමට කිසියම් කාලයක් අවශ්‍ය ය. කෝච්චිවල භාරගන්නේ සීසන් ටිකට් තිබෙන මගීන් පමණි. ලංගම බස් රථ සියල්ලම මහා මාර්ගවලට මුදාහැර ඇති නමුදු ප‍්‍රයිවට් බස් සියල්ලම එසේ මුදාහැර නැත. එයට හේතු කිහිපයක් තිබේ. එක්කෝ බස් අයිතිකාරයා බස් එක දුවවීම අතහැර දමලාය. නොඑසේ නම් බස් එකේ බැට්රිය බැස ඇති අතර එය අලූතින් ගැනීමට බස් අයිතිකාරයට සල්ලි නැත. මේ දෙකටම අමතරව ෆිනෑන්ස් ඇරියස් වී ඇත්නම් බස් එක මහ පාරට දැමීමට බස්කාරයා බිය ය. ආණ්ඩුව කොච්චර එපා කිව්වත් ෆිනෑන්ස් කොම්පැනිකාරයන් ෆිනෑන්ස් ඇරියස් වූ රථවාහන පැහැරගෙන යන්නේ රියදුරන්ගේ දූ දරුවන් අත්අඩංගුවට ගෙන බෙල්ල මිරිකා බියපත් කිරීමෙනි. මේ තරම් පහළ තත්ත්වයකට රට සහ සමාජය පල්ලම් බැස තිබෙන අවස්ථාවක

”මන්ත‍්‍රීවරුන්ට ඩියුටි ෆ‍්‍රී වාහන ගෙන්විය යුතුය” යන යෝජනාව ඇසෙන විටත් පොදු ජනතාවගේ ඇඟේ මයිල් කෙළින් වී ආණ්ඩුවට දුන් ඡන්දය ඉල්ලා අස්කර ගැනීමට තරම් වේග සිතක් පහළ වේ. සාගර කාරියවසම් ඉහත සඳහන් ප‍්‍රකාශය කරන්නට ඇත්තේ එතරම් දුරට කල්පනා නොකර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට ආතල් එකක් දෙනු පිණිස විය හැකිය. මේ ආතල් එකේ හොඳම හරිය මෙසේය.

මේ දවස්වල ඩියුටි ෆ‍්‍රී වාහන ගෙන්වීමට තබා බයිසිකල් ටයරයක් ගෙන්වීමට තරම්වත් එල් සී හෙවත් ණයවර ලිපි නිකුත් කරනු නොලැබේ. ඒ අපට ඩොලර් නැති නිසාය. මේ නිසා පිටරටින් වාහන ගෙන්වා ගැනීමට ලංකාවේ මුදල්වලින් ගනුදෙනු කළ හැකි ක‍්‍රමයක් කල්පනා කර බලන ලෙස අපි සාගර කාරියවසම්ගෙන් ඉල්ලමු. ඔහොම ඉන්නකොට ඒකත් කල්පනා වේවි. උගත් නීතිඥයකු වන සාගර කාරියවසම් සමග අපට කිසිදු පෞද්ගලික ගැටලූවක් නැත. මෙය මතවාදී ප‍්‍රශ්නයක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment