මන්දාකිණියක සිට ලැබුණු  අභිරහස් සංඥාව හා  සහස්සී ලෝක ධාතුව

1509

ආනන්ද, යම්තාක්  සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලු දිශාවන් බබළමින් ආලෝකවත් කෙරෙද්ද?,  ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චාතුම්මහාරාජික  දහසකි. නිම්මාණරති දිව්‍යලෝක දහසකි.

පිටසක්වළ ජීවීන් ජීවමාන අතර, ඔවුන් අප අතරම දිවි ගෙවීමට ඉඩ ඇති බව බි්‍රතාන්‍යයෙන් අභ්‍යවකාශයට ගිය ප්‍රථම පුද්ගලයා වන ආචාර්ය හෙලන් ෂාමන් ‘ඔබ්සර්වර්’ සඟරාවට පවසා තිබුණේ මීට වසර දෙකකට පෙරය. “පිටසක්වළ ජීවීන් ඉන්නවා, ඒ ගැන කිසිම සැකයක් නැහැ. බිලියන ගණනක් තරු අතර විවිධ ස්වභාවයේ ජීවීන් ඉන්න පුළුවන්,” ඇය පවසා තිබිණි. 58 හැවිරිදි වියේ පසුවන ආචාර්ය හෙලන් ෂාමන් 1991 වර්ෂයේ දී ‘මිර්’ නමැති සෝවියට් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යෑම ඓතිහාසික සිද්ධියක් විය. ඇය මේ වන විට ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයේ රසායනඥයෙකු ලෙස සේවයේ නියැළී සිටී. “පිටසක්වළ ජීවීන් මේ මොහොතේ පවා ඉන්න පුළුවන්, නමුත් අපිට ඔවුන් පෙනෙන්නේ නැති විය හැකියි,” යනුවෙන් සඳහන් කර තිබිණි.

ආචාර්ය හෙලන් ෂාමන් ගේ කතාව මතක්වූයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3කට ආසන්න දුරකින් වෙනත් මන්දාකිනියකින් ලැබෙන බවට සැකකෙරෙන රේඩියෝ සංඥාව පිළිබඳ වාර්තා පළවීම නිසාය. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන් විවිධ මත පළ කිරීමත් සමග, හඳුනා නොගත් අභ්‍යවකාශ සංසිද්ධීන් පිළිබඳ නිරීක්ෂණය සඳහා කණ්ඩායමක් පත් කරන බව නාසා ආයතනය ප්‍රකාශ තිබේ. එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පවසන්නේ පවතින දත්ත හඳුනා ගැනීම, අනාගත දත්ත රැස් කිරීමට සහ ගැටලුව පිළිබඳ විද්‍යාත්මක අවබෝධය දියුණු කිරීම සඳහා එම තොරතුරු භාවිත කළ හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරන බවයි. මෙම කණ්ඩායමට නායකත්වය දීමට ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඩේවිඩ් ස්පර්ගල් සහ අධ්‍යයනය සංවිධානය කිරීම සඳහා නාසා හි විද්‍යා දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන ඩැනියල් එවන්ස් පත්කර ඇත. මෙම අබිරහස් ගුවන් විදුලි සංඥාව හසුකර ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත් වී ඇත්තේ චීනයේ ග්වයිෂූ පළාතේ දැවැන්ත ස්පයිරල ගුවන් විදුලි තරංග දුරේක්ෂය ආධාරයෙනි. මෙම රේඩියෝ සංඥා වේගවත් රේඩියෝ පිපිරීම් හෝ FRB ලෙස හැඳින්වේ.

මෙම අසාමාන්‍ය පිපිරුම් තත්පරයෙන් දහසෙන් පංගුවකදී සූර්යයා විසින් වසරකට නිපදවන තරම් ශක්තියක් ජනනය කරයි. මෙම සංක්‍රාන්ති රේඩියෝ ස්පන්දන ඇසිපිය හෙළන සැණින් ඉතා අඩු කාලයකදී අතුරුදන් වන නිසා, ඒවා නිරීක්ෂණය කිරීමට අපහසු වේ. විදෙස් මාධ්‍ය පවසන්නේ මෙය තවත් පිටසක්වල ගුවන් විදුලි සංඥාවක් බවයි. අද්භූත වේගවත් රේඩියෝ පිපිරීම් තාරකා විද්‍යාඥයන් දිගු කලක් කුතුහලයට පත් කර ඇත. ආකාශ වස්තුව නිරන්තරයෙන් පුනරාවර්තන පිපිරීම් අතර දුර්වල රේඩියෝ තරංග නිකුත් කරයි.

ඇත්තෙන්ම බුද්ධ දේශනාවේ සඳහන් ලෝක විෂය ඉදිරියේ විද්‍යාඥයෝ තවමත් අඳුරේ අතපත ගාති. පිටසක්වළ ජීවීන් පිළිබඳ පමණක් නොව ජීවින්ට වාසය කළ හැකි ලෝක පිළිබඳ විද්‍යාඥයන් කොයි තරම් සොයාගැනීම් කළත් ඒ කිසිවක් බුද්ධ දේශනාවේ සඳහන් කරුණු පිළිබඳ අල්ප මාත්‍රයක් දුරටවත් පැමිණ නැන. වසර 2500 කට ප්‍රථම බුදුන්වහන්සේ හෙළිකර ඇති කතාව ගැන මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුතුය. මහණෙනි, ලෝකයන්ගෙන් අතරෙහි වූ වැස්මක් නැත්තා වූ අඳුරෙන් පිරී ගියා වූ මේ මහත් ඍද්ධි ඇත්තා වූ මහත් ආනුභාව ඇත්තා වූ චන්ද්‍ර සූර්යයන්ගේ ආලෝකය නොවැටෙන්නා වූ ආකාශ කුහරයෝ ඇත්තාහ” (ලෝකන්තරික සූත්‍රය) මේ විශ්වයේ ඇති සුවිශේෂී සංසිද්ධියක් වන කළුකුහර සම්බන්ධයෙන් උන්වහන්සේ සිදුකල හෙළිදරව්වයි. බුද්ධ දේශනාවට අනුව කෝටි සීයක් පමණ සූර්යයන් (හිරු) සහිත විශ්ව පථයක් අප වටා පවතී. විද්‍යාඥයන්ට සොයා යා හැකි උපරිම සීමාවේ ඇත්තේ හිරු 1000ක් හා සඳු 1000ක් ඇති විශ්ව පථය පමණකි. බුදුරජාණන් වහන්සේ ලෝක විෂය දේශනා කරද්දී වදාළේම එය පෘථග්ජනයාට සොයා ගත නොහැකි, පුළුල් විෂය පථයක් වන බවයි. කෙළවරක් නැති, හිතීමෙන් පවා උම්මන්තක වන විෂය පරාසයක් ලෝක ධාතුව විෂයේ පවතී. එම නිසා මේවා ගැන ඕනාවට වඩා සිතීමද විටක ප්‍රශ්නයක් විය හැක. චින්තා සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, ලෝකය ගැන හිතන්නට ගොස් පිස්සු හැදුණු මිනිසකු පිළිබඳව යි. සුබග නම් පුද්ගලයා ගං තෙරක් ළඟ ඉඳගෙන ලෝකය පිළිබඳ හිතමින් සිටී. කවදාවත් දකින්නට නොලැබුණු අමුතුම ජීවීන් කොටසක් පැමිණ නෙළුම් කොළයක් යට සැඟවෙන අයුරු සුබගට දකින්නට ලැබෙයි. ඔහු සිතන්නේ තමන් ගේ උමතුව නිසා තමා මේ වගේ දර්ශන දුටු බවයි. අනික් පිරිසට මේ ප්‍රවෘත්තිය ප්‍රකාශ කරද්දී “උඹට පිස්සු නිසා වෙන්නැති” යනුවෙන් කීමට ඔවුහු පෙළඹෙති. බුදුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය අසන්නට ලැබෙයි. ඉන්පසුව බුදුන් වහන්සේ “මහණෙනි” යැයි අමතා, මේ මිනිසා කියන්නේ ඇත්ත. පිටසක්වළ ජීවත්වන සුර – අසුරයන් අතර යුද්ධයකින් අසුරයන් පැරැදී නෙළුම් කොළය යට සැඟවුණු බව සත්‍යයකි.

බුදුදහමට අනුව ජීවින් වාසය කරන ලෝක රාශියකි. “පිටසක්වළ ජීවින්” යැයි විද්‍යාවේ භාෂාවෙන් කියනු ලබන්නේ ඔවුන්ටය. එක් අවස්ථාවක ආනන්ද හිමියන් විශ්වයේ විපුලත්වය පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවේ බුදුරජාණන්වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. “ආනන්ද, යම්තාක් සඳ – හිරු දෙදෙනා හැසිරෙත් ද, සියලු දිශාවන් බබළමින් ආලෝකවත් කෙරෙද්ද?, ඒ තාක් සක්වල සහස්සී ලෝක ධාතුවයි. ඒ සහස්සී ලෝක ධාතුවෙහි සඳ හිරු දහසකි. මේරු පර්වත දහසකි. දඹදිව් දහසකි. අපරගොයාන දහසකි. උතුරුකුරු දිවයින් දහසකි. පූර්ව විදේහ දහසකි. සිව්මහ සයුරු දහසකි. සිව්වරම් දිව්‍ය රජවරු දහසකි. චාතුම්මහාරාජික දහසකි. නිම්මාණරති දිව්‍යලෝක දහසකි. පරනිම්මිත වසවත්ති දිව්‍යලෝක දහසකි. බඹලොව දහසකි. ආනන්ද මේ සහස්සී චුලනිකා නම් ලෝක ධාතුවයි. දහසින් ගුණ වූ චූලනිකා ලෝකධාතු යම්තාක් වේද ඒ තාක් ද්වි සහස්සි මජ්ක්‍ධිමා ලෝක ධාතුව වේ. ද්වී සහශ්‍රි මජ්ක්‍ධිමා ලෝක ධාතුව යම්තාක් වේද එය දහසින් ගුණ කළ කල්හි තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුවයි. ආනන්ද, මෙන්න මේ තිසහස්සී මහා සහස්සී ලෝක ධාතුව දක්වා භාග්‍යවතුන් වහන්සේට අවශ්‍ය නම් ආලෝක ධාරා යවා ඒ ඔස්සේ ශබ්දය යවා, පිටසක්වල ජීවීන්ට ධර්මය දේශනා කළ හැක්කේය.” විද්‍යාවේ දී සහස්සී ලෝක ධාතුව හඳුන්වන්නේ ක්ෂීර පථය නමිනි. විශ්වය පිළිබඳ බුදුන් වහන්සේ සංඛාර උපත්ති සූත්‍රයේදී දේශනා කළ සේක. බුදුදහම අනුව මෙම ලෝකය මවන ලද්දක් නොවේ. ඇත්ත වශයෙන් ම බුදුදහම අනුව විශ්වයේ මුලක් මැදක් අගක් නොමැත. එහෙයින් විශ්වය අනවරාග්‍ර වෙයි. මේ සඳහා සංයුක්ත නිකායේ ‘අනමතග්ගෝයං සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤයති’ යන දේශන පාඨය නිදසුන් කොට දැක්විය හැකිය. විශ්වය කලින් කල ඇති වී විකාශය වේ. අග්ගඤ්ඤ සූත්‍රය, සත්තසූරියුග්ගම සූත්‍රය ආදී සූත්‍ර දේශනාවලින් ඒ බව ප්‍රකට වේ. තාරකා විද්‍යාඥයෙකු වන මහාචාර්ය හාලෝ ෂැප්ලි ගේ මතයට අනුව අපේ පෘථිවියේ මෙන් ජීවී සතුන් සිටින ග්‍රහ ලෝක යටත් පිරිසෙයින් ලක්ෂ කෝටියක් වත් විශ්වයෙහි තිබේ. චක්‍රාවාට, චක්‍රවාළ, සක්වළ යනු මේ ලෝකධාතුවලට භාවිත කරන තවත් නමකි. චක්‍රකාර හැඩයෙන් ලෝක ධාතුව භ්‍රමණය වන බැවිනි. සක්වළ යන වචනය මෙකල වැරැදි ලෙස යොදනු ලබන තැන් ද ඇත. අපට පෙනෙන සඳ තිබෙන්නේ පිටසක්වළක නොවේ. සඳ පමණක් නොව සෞර මණ්ඩලයේ ග්‍රහලෝකද මේ ලෝකධාතුවට අයත් ඉරවල් ඇතුළු සෞරමණ්ඩල සියල්ලක් ද අපේ සක්වළට අයත් ය. මේ සක්වළට බෞද්ධ ග්‍රන්ථවල ඇත්තේ සහස්සී ලෝක ධාතු යන නමයි. නවීන විද්‍යාඥයන් භාවිත කරන්නේ ක්ෂීරපථ යන නාමයයි.

විශ්වය යනු දුක මත පිහිටි දෙයක් බව බුදුන් වහන්සේ පැවසූහ. ‘දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතො’ ලෝකය සම්පූර්ණයෙන්ම පවතින්නේ චලනය වීම මතයි. බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වයි. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර ඇත. බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර 53 ක පමණ ලෝක විෂය හෙවත් අප අද කථා කරන විශ්ව විද්‍යාව පිළිබඳව පැහැදිලි කර ඇත. විශ්වයෙන් එන අභිරහස් හඬ තුළින් අපට බුදුන් දෙසු දහම මතක් වේ. එක් අවස්ථාවක බුදුරජාණන්වහන්සේ, “ආනන්ද සම්බුදුවරයෙකු පතුරන ශබ්දයේ හඬ ප්‍රමාණ කළ නොහැකි තරම් වේ. අනන්ත විශ්වයේ අසීමාන්තිකව ගමන් කරන්නේය” යනුවෙන් වදාරා ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment