මන්දිර යළි භාර දෙනවා

150

රනිල් අස්වෙනකම් ජනාධිපති කාර්යාලයෙන්
ගෝල්ෆේස් එකෙන් අරගලකරුවන් යන්නේ නෑ

අරගලකරුවන් අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය, අරලිගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය භාරදෙන බවත්, කෙසේ වෙතත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වනතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින අරගලකරුවන් ඉවත් නොවන බවත් වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර ‘දිවයින’ට ඊයේ (14 දා) පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට වන නිල ලිපිය කථානායකවරයාට භාරදී නැතැයි ද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ලහිරු වීරසේකර මෙසේ ද කියා සිටියේය.

අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විතරක් නොවෙයි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහත් ඉල්ලා අස්විය යුතුයි. අරගලකරුවන් අත්පත් කරගෙන තිබෙන ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය අපි භාර දෙනවා. ඒත් ජනාධිපති ලේකම් කාර්යාලයේ හා අරගල භූමියේ ඉන්න අරගලකරුවන් ඒ විදිහටම ඉන්නවා.

පෙරේදා (13 දා) හෙලිකොප්ටර් යානා පහළින් එවලා අරගල භූමියේ සිටි ජනතාව බියට පත් කෙරෙව්වා. රනිල් දැන්මම රටේ ජනතාව මර්දනය කරන්නයි හදන්නේ.

මෙම ගොඩනැඟිලි අත්පත් කරගන්නේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවිඩයක් ලබා දෙන්නයි. ඒත් ඔහු රටින් පලා ගිහින්. දැන් ඔහු ලෝකයේ කිසිම රටකින් භාරගන්නේ නැති ජනාධිපතිවරයෙක් බවට පත් වෙලා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ සිහිනය වෙනුවෙන් මිනී මරපු නායකයෙක්. ඒ වගේම ඔහු රටට කිසිම දෙයක් නොකළ අගමැතිවරයෙක්. මේ අරගලය ආපස්සට ගන්නේ නැහැ. මේ ගොඩනැඟිලි මහජන දේපළ බවට පත් කරලයි යන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment