මන්ද කඩාගෙන ආ දිවියා පශු වෛද්‍යවරයාට පහර දීලා

99

බරපතළ තුවාල ලැබූ පශු වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ

යාල ජාතික උද්‍යානයට යාබද රොටවැව ප්‍රදේශයේ හේන් ඉඩමකට පැමිණ මන්දකට අසූවූ දිවියකු බේරා ගැනීමට ගිය වනජීවී පශු වෛද්‍යවරයාට මන්ද කඩාගෙන පැමිණි දිවියා පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව ඌව සහ දකුණු කලාප භාර වනජීවී සහකාර අධ්‍යක්ෂක ඉන්ද්‍රජිත් සඳහන් කළේය. මෙලෙස තුවාල ලබා ඇත්තේ උඩවලව ජාතික වනෝද්‍යානයේ වනජීවී පශු වෛද්‍ය මාලක අබේවර්ධන බව ද සඳහන් කළේය.

දිවියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා තුවාල වෛද්‍යවරයාට අමතරව යාල ජාතික උද්‍යානය භාර වනජීවී පශු වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම් දෙකක් එම ස්ථානයට ගිය බවත් දිවියා පහරදෙන අවස්ථාවේ කෑගසා දිවියා පන්නා දැමීමට කටයුතු කළ බවත් යාල වනජීවි පශු වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා සඳහන් කළේය. හේනක පිටවැටක මන්දකට අසු වී තිබූ එම දිවියා නිර්වින්දනය කිරීමට සූදානම් වන අවස්ථාවේ එකවරම මන්ද කඩාගෙන වෛද්‍යවරයාගේ ඇඟට පැන සපා කෑ බවත් ඉන් වෛද්‍යවරයාගේ දකුණු අතට සහ පාදයකට බරපතළ තුවාල සිදුවූ බවද ඔහු සඳහන් කළේය. දෙබරවැව රෝහලේ සහ හම්බන්තොට හදිසි ප්‍රතිකාර ඒකකයේ එම අවස්ථාව වන විට වෛද්‍යවරුන් නොසිටි බැවින් කිලෝ මීටර 90ක් පමණ දුරක පිහිටි වලස්මුල්ල මූලික රෝහල වෙත රෝගියා රැගෙන යාමට සිදුවූ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.

පසුව එම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී දිවියා ට මන්ද අටවා තිබූ දණ්ඩ සොයාගත් අතර මන්ද සහිත ව දිවියා පලාගිය මාර්ග ඔස්සේ වනජීවී නිලධාරීන් දිවියා සෙවීමේ කටයුතු ආරම්භ කළේය. කෙසේ වෙතත් මෙතෙක් එම දිවිය සොයා ගැනීමට නොහැකි වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කළේය.

මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමකදී අදාළ සිදුවීම සිදුවූ රොටවැව හේන් ඉඩමේ හිමිකරු මෙලෙස සඳහන් කළේය . උදේ අටහමාරට විතර මම හේන වටේ යනකොට දිවියෙකු කෑගහන වගේ සද්දයක් ඇහුනා මම පරිස්සමෙන් සෝදිසි කරල බලනකොට පිට වැට අතරේ මඳකට අසූ දිවියෙකු සිටින බව නිරීක්ෂණය වුණා.පසුව මම ඉක්මනින් යාල වනජීවි නිලධාරීන්ට කතා කරා. වෛද්‍යවරු දෙන්නෙකුත් එක්ක පැය භාගයක් යන්නටත් කලින් වනජීවී නිලධාරීන් එතැනට ආවා. දිවියා නිර්වින්දනය කරන්න තුවක්කුව සකස් කරන වෙලාවේ එක සැරේට දිවියා වෛද්‍යවරයාගේ ඇඟට පැන්නා.හිටගෙන හිටි වෛද්‍යවරයාගේ දකුණු අතින් අල්ලලා සතෙක් මරන්න හොලවනවා වගේ හෙලෙව්වා.අපි ඔක්කොම මර විලාප දුන්නා එතකොට තමයි දිවිය පැනලා ගියේ යනුවෙන් එම ඉඩමේ හිමිකරු එච් ජී ප්‍රියන්ත සඳහන් කළේය.

තිස්සමහාරාම අමිල සම්පත් ශ්‍රී

advertistmentadvertistment
advertistmentadvertistment