මන්නාරමේ ඉදිරි සංවර්ධන සැලසුම් ජනපති මන්නාරම රදගුරුතුමන්ට පහදයි

38

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතිඋතුම් ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු මන්නාරම රදගුරුතුමන් අතර හමුවක් ඊයේ (16දා) පෙරවරුවේ මන්නාරම රදගුරු නිල නිවසේදී පැවැත්විණි.

රට ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට ජනාධිපතිවරයා සිදු කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී අගය කළ මන්නාරම රදගුරුතුමන් මන්නාරම දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.

මන්නාරමේ සිට පේදුරුතුඩුව සහ මුලතිව් පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර පරිසර හිතකාමී අයුරින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.

අතිරික්ත පුනර්ජනනීය බලශක්තිය ඉන්දියාවට අලෙවි කිරීම සඳහා සාකච්ඡා කරමින් සිටින බවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි රැහැන් සම්බන්ධතාවක් ඇති කිරීම පිළිබඳ මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුවන ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බවත්, සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

මන්නාරම සංචාරක කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර මන්නාරම බලකොටුව කෲස් (මගී යාත්‍රාවල ගමන් කරන) සංචාරකයන් සඳහා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මෙම කටයුතු සමඟ ඉදිරියේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ සියලු ක්ෂේත්‍රවල පුළුල් සංවර්ධනයක් සිදුවනු ඇති බවයි.

මන්නාරම ධීවර ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මන්නාරම රදගුරුතුමන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

මන්නාරම දියෝකිසියේ විකාර් ජනරාල් පියතුමා වන පී.ක්‍රිස්තුනායගම් පියතුමා, මඩු පල්ලියේ පාලක පියතුමා වන ඒ. ඥානප්‍රගාසම් පියතුමා, පෙප්පි සෝසෙයි පියතුමා, මන්නාරම දියෝකිසියේ හිටපු විකාර් ජනරාල් පියතුමා ඇතුළු පියතුමන්ලා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment