මන්නාරම කුඹුරු අක්කර 7000ක් ජලයෙන් යටවේ

164


අයහපත් කාලගුණික තත්ත්වය නිසා හටගත් වර්ෂාව හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 7000 කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට වී විනාශ වී ගොස් ඇතැයි මන්නාරම සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ඒ.මෙරින් කුමාර් මහතා අද පැවසීය.
මේ කුඹුරු වලින් විශාල ප්‍රමාණයක ගොයම් ගසාගෙන ගිය ජලයට හසු වී ඉදිරී ගොස් ජලය සමග පහත් බිම් වලට යාම නිසා එම කුඹුරු යළි වගාකිරීමට සිදුවන බවද කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
විනාශ වී ගිය කුඹුරු වලින් දැනට ගණන් බලා ඇති ආකාරයට මන්නාරමේ මාන්තෙයි බටහිර අක්කර 2580ක්ල මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 990ක් නානාට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 180ක් සහ මන්නාරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 560 ක් හා ඉතිරි කුඹුරු මඩු ප්‍රදේශයට අයත් වේ.
අධික වර්ෂාව නිසා මන්නාරමේ යෝධ වැවේ ජල මට්ටම අඩි 11.4 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් අගල් 4 ක ජල මට්ටමක් එම වැවට එකතු වීමත් සමගම වැව පිටාර ගලන බව කී කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂවරයා වැව පිටාර ගැලීමට පටන් ගතහොත් තවත් කුඹුරු අක්කර 4000 කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ තර්ජනයක් ඇති බවද සදහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment