මනාලයාගේ ඕක් ගස

629

තැපැල් ලිපිනයක් ඇති ගසක් ගැන ඇසුවොත් සමහර විට ඔබ මවිතයට පත් විය හැකියි. එහෙත්…ජර්මනියේ ෂ්ලෙස්විග් හි යූටින්.. අසල ඩොවාඩෝර්.. වනාන්තරයේ පිහිටි මෙම ඕක් ගස තැපැල් ලිපිනයක් සහිත ගසක් පමණක් නොව අවිවාහකයන් වෙනුවෙන් මංගල යෝජනාවන් ඉදිරිපත් කළ හැකි ගසක් ලෙස ප‍්‍රකටය. ඒ නිසා මෙම ඕක් ගස මනාලයාගේ ඕක් (bridegrooms-oak) ගස ලෙසින් විරුදාවලි ලබා තිබේ.

වසර පන්සියයක පමණ ඉතිහාසයක් ඇති මෙම ඕක් ගසේ කඳ වටප‍්‍රමාණය මීටර් පහක් පමණ වේ. මීටර් විසි පහක් උසැති ගස මීටර් 30 ක ප‍්‍රදේශයක් පුරා පැතිරී තිබේ.

මෙම ඕක් ගස සමග බැඳී ඇති පුරාවෘතයට අනුව කෙල්ටික් අධිපතියෙකුගේ පුතෙකු විසින් වනාන්තරයේ ගසක බැඳ දමා සිටි කිතුනු දැරියක් නිදහස් කිරීම සිහිපත් කරනු වස් මෙම ඕක් ගස රෝපණය කරන ලදී. තවත් විශ්වාසයකට අනුව කිතුනු මිෂනාරිවරුන් විසින් මෙම ඕක් ගස නමස්කාරය වෙනුවෙන් රෝපණය කරන ලදැයිද විශ්වාස කෙරේ.

* පෙම්හසුන් හුවමාරු වීම

19 වන සියවස අග භාගයේදී ජර්මනියේ ප‍්‍රධාන ෆොරෙස්ටර් දියණියක වූ ඔර්ට් සහ ලයිප්සිග් චොකලට් නිෂ්පාදකයෙකුගේ පුතෙකු වූ ‘‘ෂොට් ෆෙල්ෆේ’’ සමග පේ‍්‍රමසම්බන්ධතාවක් විය. මව්පියන්ගේ විරුද්ධත්වය නිසා ඔවුන් දෙදෙනා තම ආදර හසුන් හුවමාරු කර ගැනීමට මෙම ඕක් ගසේ කඳේ කුහරයක් සාදා තම ලිපි එහි තැන්පත් කරන ලදී. ඔවුන්ගේ පේ‍්‍රම සම්බන්ධතාව විරෝධතාවන් මධ්‍යයේ පවා ගෙන ගියේ මෙම ආදර හසුන්පත් මාර්ගයෙන්ය. අවසානයේදී ඔවුන්ගේ ආදර සම්බන්ධතාවට මව්පියන්ගේ අවසරය ලැබුනි. එහෙත්.. ඔවුන් ඕක් ගස අමතක කළේ නැත. 1892 වසරේ ජූනි මාසයේ දෙවැනි දින ඔර්ට් සහ ෂොට් ෆෙල්ෆේ ඔවුන්ගේ ආදරයට ධෛර්ය ලබා දුන් ඕක් ගස යටදී විවාහ විය.

* ඕක් ගස අවිවාහකයන්ට ආශිිර්වාදයක්..

දැඩි සේ විරෝධතාවන් පැවැතියත් ඔර්ට් සහ ෂොට් ෆෙල්ෆේ විවාහය වෙනුවෙන් ඕක් ගසේ ආශිර්වාදය ලැබෙන්නට ඇතැයි වූ විශ්්වාසය නිසා බොහෝ තරුණියන් තමන්ට සහකරුවෙකු ලබා ගැනීම පිණිස ඕක් ගස වටා මාසයකට වතාවක් එක් වරකදී තුන් වතාවක් බැගින් මාස තුනක් ඕක් ගස වටා ඇවිදීමෙන් තමන්ගේ මංගල ප‍්‍රාර්ථනාවන් ඉටු කර ගැනීමට අවස්ථාව උදා වෙන බවට විශ්වාස කරන ලදී. එමෙන්ම තමන්ගේ ආදරණීයා ගැන සිතමින්. කතා කරමින් මේ ගස වටා ඇවිද ගිය විට වසරක් ඇතුළත ඔවුන්ගේ විවාහය සිදු වෙන බවටත් විශ්වාසයක් ගොඩ නැගී තිබුණි.

* මංගල යෝජනා පෙට්ටියක් ලෙස

1927 වසරේදී මෙම ඕක් ගසේ පැවැති කුහරය තැපැල් පෙට්ටියක් ලෙසින් භාවිතා කරන ලදී. ඉනිමගක් තබා ගසේ කුහරයට සමීප වීමට පහසුකම් සලසන ලදී. අවිවාහක කාන්තාවන් සහ පිරිමින් සතියේ දින හයක් පුරා මෙහි තමන්ගේ යෝජනාවන් තැන්පත් කරනු ලැබේ. එහි ඇති ලිපි කියවා බැලීමෙන් පසුව තමන්ට සුදුසු චරිතයක් සහකරුවෙක් ඇත්නම් ඔහු හෝ ඇය සොයා ගෙන ගොස් විවාහය වෙනුවෙන් වූ යෝජනාව ස්ථිර කර ගත් අවස්ථාවන්ද විය. උතුරු රයින්-වෙස්ට්ෆේලියා ප‍්‍රදේශයේ පුද්ගලයෙක් ෂ්ලෙස්විග් හි හොල්ස්ටයින් ප‍්‍රදේශයට නිවාඩුවක් වෙනුවෙන් පැමිණියේය. ඔහුට මෙම ඕක් ගස ගැන අසන්නට ලැබුනි. නිවාඩුව ගත කරමින් සිටි ඔහු කිලෝමීටර් විස්සක දුර ගෙවා ගෙන ඕක් කුහරයේ තිබුණ ලිපි අතරින් තෝරාගත් ලිපියේ කාන්තාව සොයා ගියේය. තවත් විශ‍්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයෙක් සහකාරියක් වෙනුවෙන් ඕක් ගස යටට වී ලිපියක් ලියමින් සිටියේය. එම අවස්ථාවේදී ඕක් ගසේ ඉල්ලූම්පතක් තැබීමට පැමිණි කාන්තාවක සමග ඔහු විවාහ ගිවිස ගත්තේය. කෙසේ හෝ වේවා මේ අන්දමින් විවාහ සියයක් පමණ දැනට සිදු වී තිබේ.

* ඕක් ගසටත් විවාහයක්..

තනිකඩයන්ට මංගල සීනු නාද කළ ඕක්ගස තවමත් තනිකඩ නිසා මේ ගසටත් සාධාරණයක් ඉෂ්ට කළ යුතු බැව් බොහෝ දෙනාගේ අදහස විය. ඒ නිසා ඕක් ගසටත් විවාහයක් කර දීමට ගත් තීරණයට අනුව ඕක් ගසේ මනාලිය ලෙස ජර්මනියේ තැපැල් ලිපිනය සහිත දෙවැනි ගස සේ සැලකෙන ‘‘ඩසල්ඩෝ ප‍්‍රදේශයේ පිහිටි ්‍යසපපැකටැසිඑ චෙස්නට් ගස සමග විවාහ කරවන ලදී. මෙය මනාලයාගේ ඕක් ගස පිහිටි ප‍්‍රදේශයේ සිට කි. මී. 503 ක් දුරින් පිහිටා තිබුණි. 2015 වසරේදී චෙස්නට් ගස මිය ගිය අතර එය අදටත් සංකේතයක් ලෙස පවතී.

* ඕක් ගසත් දැන් බෙහෙවින් අබලන් තත්ත්වයට පත්ව ඇත.

1990 වසරේදී ගසට ආධාරකයක් ලෙස කඹයක් තබා බඳින ලදී. 2014 වසරේදී ඕක් ගසේ කුහරයේ සහ අතුවල ඇති වුණ ‘‘ලැටිපොරොස් සල්පියුරියස් ’’ දිලීර ආසාදනයන් නිසා ශාඛා කීපයක් කපා දැමූ අතර කේබල් පවා අලූත් කරන ලදී.

ඒත් තවමත් ඕක් ගස මංගල යෝජනා භාරගනු ලැබේ.

*  පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment