මනාලයාට මනාලිය පරදී

1014

ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන ජනතාවක් සිටින ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවට වඩා පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් දක්වන කේරළ ප්‍රාන්තයේ මනාල යුවළක් සිය විවාහ මංගල්‍යය උත්සවයේදී ලෝක කුසලාන පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ ආජන්ටිනා හා ප්‍රංශ පාපන්දු කණ්ඩායම්වල සිටින සුපිරි ක්‍රීඩක යුවළකගේ නම් සඳහන් ටී ෂර්ට් පැළඳ ඒවාට උඩින් සිය මංගල්‍ය ඇඳුම් පැළඳ විවාහ වීමේ අපූරු පුවතක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත මෙන් නොව පාපන්දු ක්‍රීඩාවට උමතුවෙන් මෙන් ආදරය කරන ජනතාවක් සිටින කේරළයේ වාසය කරන ඉහත කී මනාල යුවළගෙන් මනාළිය ප්‍රංශ පාපන්දු කණ්ඩායමට සහය දැක්වීම නිසා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ම්බප්පේගේ නම හා ඔහුගේ අංකය සඳහන් ටී ෂර්ටයක් පැළඳ උඩින් මංගල ඇඳුම් හා ආභරණද මනාලයා ආර්ජන්ටිනා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක මෙසී ගේ නම අංකය සඳහන් ටී ෂර්ටයක් පැළඳ එයට උඩින් මංගල ඇඳුම් ආභරණද පැළඳ විවාහය සිදු කර තිබේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය පැවති දිනයේ කේරළයේ කොචි නගරයේ මෙම විවාහ උත්සවය පවත්වා ඇති අතර මනාල යුවළ පිළිගැනීමේ උත්සවය පැවැත්වෙන අතරතුර අවසන් මහා තරගය නැරඹීම සඳහා එම ස්ථානයේ සිට කිලෝ මීටර් 206ක් දුරින් ඇති තිරුවනාන්තපුරම් නගරයේ පිහිටි මනාලයාගේ නිවෙසට එම තරගය රූපවාහිනියෙන් නැරඹීම සඳහා කඩිමුඩියෙ මනාලයා ගොස් ඇති බව කේරළයේ පළවන ‘මලයාලා මනෝරාමා’ පුවත්පත විසින් වාර්තා කර තිබේ.

කේරළ ප්‍රාන්තයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා වන ලයනල් මෙසීට ඇලුම් කරන විශාල රසිකයන් පිරිසක් සිටින අතර ඔවුන් අවසන් මහා තරගයෙන් ආර්ජන්ටිනාව ජයගත් පසු ආර්ජන්ටිනාවේ ජාතික ධජය ඔසවාගෙන ගිනිකෙළි දල්වමින් පෙරේදා රාත්‍රියේ එම ජය සමරා තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment