මනාල යුවළ ගිය කාර් එක වාහන තුනක හැපී  වෙළෙඳ සලකට කඩා වදී

586

මනාලයා ඇතුළු සිව්දෙනකුට තුවාල:

මනාල යුවළක් ගමන් කළ සුපිරි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රථ වාහන තුනක සහ වෙළෙඳ සැලක ගැටී පෙරේදා (23 දා) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එම වාහනය පැදවූ මනාලයා ඇතුළු සිව්දෙනකු රෝහල් ගතකර ඇති බව මිහින්තලය පොලිසිය පවසයි.

මිහින්තලේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ මනාල යුවළ රැගත් මෝටර් රථය කුරුන්දන්කුලම පාසල ඉදිරිපිට දී මෙලෙස අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.

එම යුවළ ගමන් කළ මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී යෑමත් සමග එම රථය අනුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදි දෙකක හා ත්‍රිරෝද රථයක ගැටී අසල තිබූ මැටි භාණ්ඩ වෙළෙඳ සැලකට ඇදී ගොස් නතරවී තිබූ බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ එම මෝටර් රථය පැදවූ මනාලයා, යතුරුපැදි දෙකේ ගමන් කළ පුද්ගලයන් තිදෙනකු රෝහල් ගතකර ඇත.

මිහින්තලය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ නිලධාරීහු පිරිසක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment