මනුෂගේ ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිසි යයි

719

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඉකුත් 27 වැනිදා ලිපියක් යොමුකර තිබේ.

සහරාන් හසීම් ඇතුළු පිරිස සම්බන්ධ කරගනිමින් පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ යැයි මනුෂ නානායක්කාර මහතා ඉකුත් දා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

මෙම ප්‍රකාශය තහවුරු කිරීමට මනුෂ නානායක්කාර මහතා සතුව සාක්ෂි ඇත්නම් ඔහු කළ යුතුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ සිදු කිරීම නොව වහාම සියලු සාක්ෂි සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීම හෝ අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීම බව පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇති මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ ප්‍රකාශය හේතුවෙන් තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් බරපතළ ජීවිත තර්ජනයක් එල්ල වන තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවය.

රටම කම්පනයට පත් කළ පාස්කු ප්‍රහාරය වැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් මෙහෙයවනු ලැබූ අයකු හෝ කිසියම් කණ්ඩායමක් සිටී නම් ඔවුන්ට අනිවාර්යෙන්ම දඬුවම් හිමිවිය යුතු බව ද සඳහන් කර ඇති රාජ්‍ය බුද්ධි ප්‍රධානියා එහෙයින් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගන් ඉල්ලා ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් තමන් වෙත යොමු කරන ලද ලිපියේ සඳහන් කරුණු කථානායකවරයාගේ අවධානයට යොමු කිරීමට ද පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment