මනුෂ්කගේ විපත සැළවී  පෙම්වතිය රංසෑගොඩ ගඟට පැන  දිවි තොර කර ගනී – නිල්වලා කොමළියේ ඇයි මෙතරම් කුරිරු වුණේ….. – කාටවත් කවදාවත් මේවගේ විපතක් වෙන්න එපා

1710

මෙම අතුරුදහන් වූ සිව්දෙනාගෙන් මනුෂ්ක යෝෂාන් ගේ සිරුර ඊයේ දවල් වනතුරුත් හමුවූයේ නැති අතර ඔහුගේ පෙම්වතිය වූ කඹුරුපිටිය මීපාවිට පදිංචිව සිටි විසි හැවිරිදි අශානි හංසිකා ඇයගේ නිවස පහලින් ගලා බසින රංසෑගොඩ ගඟට පැන දිවි නසාගෙන ඇති බව කඹුරුපිටිය පොලිසිය පවසයි.

මනුෂ්කගේ විපත සැළවී  පෙම්වතිය රංසෑගොඩ ගඟට පැන  දිවි තොර කර ගනී - නිල්වලා කොමළියේ ඇයි මෙතරම් කුරිරු වුණේ..... - කාටවත් කවදාවත් මේවගේ විපතක් වෙන්න එපා

● කිසිම දරුවෙක් අම්මට තාත්තට නොකියා මෙහෙම ගමන් යන්න එපා
මියගිය ශෂික දිල්ශාන්ගේ පියා  කඳුළු වගුරුවමින් කියයි

● තාත්තා නැති පවුල  ගොඩගන්න ජයසංක පුතා  අයියා සමග ලොකු සටනක් කළා
අසල්වැසි උපාලි විජේසිංහ

● මනුෂ්ක තමයි අපේ අක්කගෙ  ගෙදරට තිබුණ එකම ශක්තිය
ඥාතියෙක් කියයි

● මේ වෙච්ච දේ  අපට සිතාගන්නවත් බැහැ
කම්පා වී සිටින මලිතගේ ඥාතියෙක් කියයි

මනුෂ්කගේ විපත සැළවී  පෙම්වතිය රංසෑගොඩ ගඟට පැන  දිවි තොර කර ගනී - නිල්වලා කොමළියේ ඇයි මෙතරම් කුරිරු වුණේ..... - කාටවත් කවදාවත් මේවගේ විපතක් වෙන්න එපා
මියගිය ශෂික බිරිඳ සහ දියණිය සමග

අනේ මගේ පුතාට වෙච්ච දේ තවත් දරුවෙකුට නම් වෙන්න එපා. කොහේ යනවද කියල අපිට කියල ගියා නම් කමක් නැහැ. ගෙදරින් පිටවෙච්ච දරුව ගඟට බිලිවෙලා කියල ආරංචිය තමයි අපිට අහන්න ලැබුනේ. මම තරුණ දරුවන්ගෙන් ඉල්ලන්නෙ කවදාවත් අම්ම තාත්තට පිටුපාල ඒගොල්ලන්ට අකීකරු වෙලා කොහේවත් නොකියා යන්න එපා. මේ මගේ මිනිබිරී කවදහරි කෝ මගේ තාත්ත කියල ඇහුවම මම මොකක්ද දෙන උත්තරේ… අයියෝ… කාටවත් කවදාවත් මේවගේ විපතක් වෙන්න එපා ….

මනුෂ්කගේ විපත සැළවී  පෙම්වතිය රංසෑගොඩ ගඟට පැන  දිවි තොර කර ගනී - නිල්වලා කොමළියේ ඇයි මෙතරම් කුරිරු වුණේ..... - කාටවත් කවදාවත් මේවගේ විපතක් වෙන්න එපා
මියගිය සිව්දෙනා

පුතෙකුගේ වියෝව දරාගත නොහැකිව හඬන පියෙකු ගේ ශෝකය නිවාලන්නට හැකිවන්නේ කා හට ද?

මේ එක පියෙකු ගේ කතාවක් නොවේ. සමස්ත සමාජයේම සිටින දරුවන්ගේ මවුපියන්ට සහ දරුවන්ට ආදර්ශයක් ගත හැකි දරුවන් හිතුමතේ සිදු කරන කටයුතු නිසා සිදුවූ සිද්ධියක සෝචනීය කතා පුවතක තවත් එක් සිද්ධියක් පමණි .

පසුගිය සිකුරාදා (25 දා) අකුරැස්ස පෝරුතොට ඌරුවල වත්ත ලිපිනයේ පදිංචිව සිටි වැලිගම ලෝඩ්ස්ටාර් පෞද්ගලික ආයතනයේ රැකියාවේ නියැලෙමින් සිටින මලිත උදයංග සිය මාසිකව උපයාගන්නා වැටුප ද රැගෙන ඔහුගේ යහළුවන්ට කතා කලේ පෝරුතොට ගම්මානයේ පිහිටි සිය නිවසට පැමිණ සතුටුවී ආසන්නයේ හැඩවෙමින් ගලා යන නිල්වලා ගං කොමලිය ගේ දිය දහරා ගලායන දෙහිගස්ප හඬන කට ඇල්ලේ ජල පහසද විඳ හොඳ ආහාර වේලකුත් භුක්ති විඳ නැවත නිවෙස් වෙත යාමට පුළුවන් බව කියමිනි . ඉන් පසු දින (27 දා) දහවල් කාලය වනවිට විවිධ ප්‍රදේශයන්හි සිට පෝරුතොට නිවසට පැමිණි දහතුන් දෙනෙකුගෙන් යුතු සිය සගයන් පිරිස මලිත විසින් පිළිගනු ලැබූවේ ඉතාමත් සතුටිනි. ඔහු විසින් සිය පදිංචි නිවසට ආසන්න තම පියා විසින් මිලට ගත් ඉඩමේ පිහිටි වසා දමා තිබෙන පාළුවට ගොස් ඇති නිවෙස ඔවුන්ගේ විනෝදය පිණිස තෝරා ගැනීමට කටයුතු කලේ කලින් සකස් කරගත් මස් මාංශ බුදිමින් ගෙනවිත් තිබූ මත් වතුර ද පානය කිරීමට කාගේවත් බාධාවක් නොවන නිසාවෙනි.

හොදින් කාබී විනෝද වූ ඔවුන් ගේ කීප දෙනෙකු කියා සිටියේ ගඟට ගොස් නාගෙන විත් දවල් කෑම කමුයි කියාය. එහෙත් දෙතුන් දෙනෙකුගේ ප්‍රකාශය වූයේ හවස් වෙන්න කලින් කාල බීල ගෙවල්වලට යමුයි යන අදහසයි.

තරුණ වයසට සිතෙහි හට ගන්නා සිතිවිලි දැඩිය එමෙන්ම ශක්තිමත් ය. මත් වතුරද ඔවුන්ගේ ශරීරය ප්‍රබෝධමත් කලා වැනිය. කීප දෙනෙකු ගේ මුවින් පිට වූයේ මෙච්චර දුර ආ එකේ නාලම කමු කියාය. එම අදහසට බාධා කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවූයේ ඇඟේ පතේ වෙහෙසකාරී බව සහ දහදිය නිවා ගැනීමට හොඳම දේ නිල්වලා ගඟට ගොස් නෑමෙන් ඒ සියල්ල නිවී යන බව සිතූ බැවිනි.

නිල්වලා ගඟ අසලට පැමිණි පිරිසෙන් මුලින්ම දියට බැස්සේ ලහිරු නිම්සර යි. ඔහු පැමිණි පිරිස සමග සේවයේ නියුතු වූවකු නොවේ. පීනීමට ද දක්ෂයෙක් වූ ලහිරු ගඟේ මෙහා කොනේ සිට එහා කොනට පීනා ගියේ තම දක්ෂතාව අන් අයටද ප්‍රදර්ශනය කරමිනි. ගඟේ එහා කොනට පීනමින් සිටි ලහිරු ට ගඟේ ජල පහර එකවිටම වැඩිවී තමන් ඉදිරියට තල්ලු වෙන බව දැනිණි. ඉක්මනින් එගොඩ පීනූ ඔහු ගඟට පහත් වී තිබූ කොට්ටම්බ ගසක අත්තක් අල්ලාගෙන එහි එල්ලුනි. සිදුවී ඇත්තේ කුමක්ද කියා හිතාගන්නවත් ගඟට බැස සිටි පිරිසට වෙලාවක් නොවුණි. වැඩිවූ ජල පහර සමග ගඟ මැදට ආසන්නයේ දිය නාමින් සිටි තරුණයන්ට කරකියා ගත හැකි යමක් නොවීය. ඉන් එක් අයෙකු  ගසාගෙන යන විට ඔහු බේරා  ගැනීමට ආ පිරිසෙන් සිව්දෙනෙකු ඉහළින් ආ ජල කඳට හසුවී ඉදිරියට ඇදී යමින් ඔවුන්  ගං පතුලේ සැඟවිනි. ගං ඉවුරේ ආසන්නයේ නාමින් සිටි අය ඉක්මනින් ගොඩවන්නට විය.

සියලු දෙනා අවටින් උපකාර ඉල්ලා කෑගසන්නට වූයෙන් ගමේ පිරිස කඩිනමින් එම ස්ථානයට රොක් විය.

ගඟේ ජල පහර එකවිටම වැඩිවූ කරුණ සියලු දෙනාට අවබෝධ වන විට සියල්ල සිදුවී හමාරය. වැසිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉහළ ප්‍රදේශයන්ට ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් පහලට ගලාගෙන ආ ජල කඳට පිරිස හසුවූ බව තේරුම් ගැනීමට එම ස්ථානය ට පැමිණි සිටි පිරිසට එතරම්ම වෙලාවක් ගත නොවීය.

එහා ගොඩට පීනා ගිය ලහිරු නිම්සර තවමත් කොට්ටම්බ ගසේ එල්ලී ආධාර ඉල්ලා කෑගසන අයුරු දුටු ගම්වැසියන් ඔහු කඹයක ආධාරයෙන් මෙගොඩට ගෙන ආවේ මහත් පරිශ්‍රමයක් දරමින් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

අකුරැස්ස පෝරුතොට  ගම්මානය අසල නිල්වලා ගඟේ අඬනකට ඇල්ල සීමාවේ සිදුවූ මෙම අවාසනාවන්ත සිද්ධිය සැළවූ සැනින් එම ස්ථානය වෙත පැමිණි පිටබැද්දර පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුරංග ජයතුංග මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම ගම්වාසීන් හැන්දෑ වනතුරුත් ගඟ සීමාවේ පරීක්ෂා කළත් සැඩ පහරට හසුවූ පිරිස ගැන තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට තීරණය කළෙන් පිරික්සුම් කටයුතු පසු දිනට කිරීමට කල් දැමූවේ රාත්‍රිය උදාවූ බැවිනි.

27 වනදාට හිරු පහන් වූයේ සියලු දෙනාගේ ශෝකය ගෙන එමින්ය. අවට පරිසරයේ නිහඬ බව රැය පහන් කරමින් තරුණයන් ගිලී ගිය ස්ථානයේ ඔවුන් නැවත දකිනු රිසියෙන් සිටි ඔවුන්ගේ ඥාති හිතවතුන් ගේ සිත තවත් පාරන්නා සේය. හිරු පෑවුවත් අවට පරිසරය අඳුරින් පිරී තිබුනේ වැහිබර වළාකුලින් අහස්ගැබ වැසී තිබුන නිසාවෙනි. එම පරිසරයේ හැඩ ගැස්ම දිහා බලන ඕනෑම කෙනෙකුට සිතෙන්නේ මිනිසාට දැනෙන වේදනාව පරිසරයට ද දැනී ඇති බවය.

උදෑසන ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරින් විසින් සිදු කරන අතුරුදහන් වූ තරුණයන් ගේ සිරුරු සොයා කරන මෙහෙයුම් කටයුතු වෙනුවෙන් පිටබැද්දර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුරංග ජයතුංග මහතා ඇතුළු නිලධාරීන් ද සහභාගි වූ අතර එම ස්ථානය අතුරුදහන් වූ තරුණයන්ගේ ඥාතීන් හිතවතුන් සහ ගම්වාසීන්ගෙන් මෙන්ම අවට ප්‍රදේශවල ජනතාව ද පැමිණීමෙන් එකම හිස් ගොඩක් බවට පත් විය. ගාල්ල දක්ෂිණ නාවික හමුදා නිලධාරීන් කරන ලද මෙහෙයුම් කටයුතු වලදී අතුරුදහන් වූ තරුණයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ගේ නිසල වූ දේහයන් සොයා

ගන්නා ලද අතර නාවික හමුදා කිමිදුම් කණ්ඩායම සිය මෙහෙයුම් කටයුතු සවස් වනවිට අතරමග නවතා දැමීමට සිදුවූයේ ජලයේ සිටීමට ඔවුන් ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවූ හෙයිනි. පසුව ගම්වාසීන් විසින් ද මෙම මෙහෙයුම් කටයුතුවලට එක් වූයේ ගං පතුල මෙන්ම ගඟේ ජල පහරද ඔවුන් ට හුරුපුරුදු නිසාවෙනි. ගම්වාසීන් ගේ මෙහෙයුම් කටයුතුවලදී තවත් එක් තරුණයෙකු ගේ සිරුරක් සොයා ගැනීමට හැකිවිය.

රාත්‍රි කාලය උදාවූ හෙයින් එම දින මෙහෙයුම් කටයුතු නවතා දැමීමට තීරණය කලේ එතෙක් එම ස්ථානයේ රැඳී සිටින දෙයියන්දර ප්‍රදේශයේ සිට පැමිණ අතුරුදහන් වූ මනුෂ්ක යෝෂාන් ගේ ඥාතීන්ට පසු දිනට බලාපොරොත්තු තබමිනි.

මෙලෙස අකුරැස්ස පෝරුතොට ප්‍රදේශයේ දී නිල්වලා ගඟට බිලි වූයේ අකුරැස්ස පෝරුතොට ඌරුවල වත්ත පදිංචි කේ. මලිත උදයංග, දෙයියන්දර සීනිපැල්ල නැගෙනහිර එල්.ජී. මනුෂ්ක යෝෂාන්, වැලිගම බටවල ශ්‍රී නිවසේ පදිංචි ජයසංක නිලක්ෂන සිරිවර්ධන, අහංගම දඩුහැල රසතොල්ල වත්තේ පදිංචි එක් දරු පියෙකු වන ඩබ්. ශෂික දිල්ශාන් යන අයවලුන් වේ.

මෙම අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීන් සහ ඔවුන්ගේ අසල්වැසියන් අදහස් පළකලේ මෙසේය.

උපාලි විජේසිංහ

මම ජයසංකගෙ සහෝදරයෙක්. එයා මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනයේ තමයි සේවය කලේ. හරියටම අවුරුද්දක් විතර ඇති ඒකෙ වැඩට ගිහින්. එයාගෙ තාත්තා දැනට අවුරුදු තුනකට කලින් මියගියා. එයා අයිය එක්ක එකතු වෙලා තමයි මේ පවුල ගොඩ ගත්තෙ. බාල නංගි සහ මල්ලිට

උගන්වන්න එයා ගොඩක් මහන්සි වෙනව. එයාගෙ අම්ම තවමත් හිතන්නෙ එයා ජීවත් වෙනව කියල. අපේ ගමේ කාටවත් කිසිම කරදරයක් නැති මල්ලි කෙනෙක් එයා. පෙරේදා එයා පඩි මුදල් අරගෙන තමයි ඔය පිටබැද්දර ප්‍රදේශයේ ඉන්න යාලුවෙකුගෙ ගෙදරක ගියේ. දවල් එයාල ගඟේ නාන්න ගිහිල්ල තමයි ඔය විපත්තිය සිද්ධ කරගත්තෙ. මෙහෙ ඉන්න අයට අවබෝධයක් නැහැ ඔය ගඟවල් වල නාන්න. එයා ලිඳෙන් නාපු කෙනෙක්.

සුනිල් ශාන්ත මහතා

මේ දරුවන් හතර දෙනා ගැනම මම දන්නෙ නැහැ. ඒත් අපේ බටවල ජයසංක පුතා අපේ ප්‍රදේශයේ හොඳ චරිතයක් . ඕනෑම වේලාවක ගම වෙනුවෙන් ඉදිරිපත් වෙන සමාජශීලී පුතෙක්. මේ විපත කොහොම වුනාද කියල අපි දන්නෙ නැහැ. මිතුරුදම නිසා ගියපු ගමනක් මේක. අපිට ආරංචි වුන හැටියට තවත් කෙනෙක් ගිලෙන කොට බේර ගන්න ගිහිල්ල තමයි මේ විපත සිදු වෙලා තියෙන්නේ. මේ වගේ වැඩවලට යනකොට විශේෂයෙන් තරුණ පරපුර හිතන්න ඕන එයාලගෙ ජීවිත ආරක්ෂාව ගැන. මේ දරුවන්ට පීනන්න පුළුවන් ඇති. ඒත් පරිසරය පිළිබඳව දැනුවත් බවක් නැති එක තමයි ප්‍රධාන හේතුව.

අහංගම දඩුහැල ශෂික දිල්ශාන් ගේ පියා වන  ගාමිණි රණතුංග මහතා අදහස් පලකලේ කඳුළු පිරි දෙනෙතිනි.

මගේ දෙවෙනි පුතා තමයි මේ දියේ ගිලීම හේතුවෙන් මරණයට පත් වුනේ. මම වැඩ කරන්නෙ. කොළඹ මට ආරංචියක් ආව මගේ පුතා මෙහෙම නාන්න ගිහිල්ල වතුරෙ ගිලිල කියල. මම මගේ බොස්ට කියල ආව. මම හිතුව මෙයා කොහොම හරි ගහක අත්තක හරි එල්ලිල ඇති කියල . එහෙම තමයි කට්ටිය කිව්වෙ. ඒත් මම පස්සෙ හිතා ගත්ත මේ ගොල්ලන් මට මේක හංගනව කොහොම හරි මගෙ දරුව නැති වෙලයි කියල. අඬල දොඩල වැඩක් නෑ කියල මගෙ හිත හදාගත්ත. මම කියන්නෙ කිසිම දියණියක් පුතෙක් අම්මට තාත්තට නොකිය කිසිම ගමනක් යන්න එපා. මගෙ පුතා අපිට නොකිය තමයි මේ ගමන ගියේ ඇයි මේ තරම් දෙමාපියන්ට දුක් දෙන්නෙ. මට මේක ලොකු වේදනාවක් මගේ දරුවො වගේ තමයි අනෙක් දෙමාපියන් ගෙ දරුවොත්. ඒ දෙමාපියන්ටත් ලොකු දුකක්. ඒ විතරක් නෙවි මගේ පුතාට අවුරුදු දෙකහමාරක දියණියක් ඉන්නව කවද හරි සීයෙ කෝ මගෙ අප්පච්චි කියල ඇහුවම මම මොකක්ද එයාට දෙන උත්තරේ. හැමදාම මෙයා අප්පච්චි එනකල් බලාගෙන ඉන්නවාා. ඊයෙත් මෙයා කෝ අප්පච්චි කියල අහනව. අපි මොනවද මහත්තයෝ කියන්නෙ මේවට.

ප්‍රසන්න අජිත් තිලක් මහතා

මෙයා ඕනම කෙනෙකුට උදව් කරනව. එකම වරද තමයි හිතුවක්කාරකම. පවුලට තිබුන ලොකුම ශක්තියක් මේ නැති වුනෙ. කිසිම වරදක් නැති රත්තරං පුතෙක් අපිට නැති වුනේ. කොහොමද අපි වාවගෙන ඉන්නෙ. අනේ දරුවනේ හිතුවක්කාර ගමන් ගිහිල්ල දෙමාපියන්ට මේ වගේ දුක් දෙන්න එපා.

දියේ ගිලීමෙන් මියගිය මනුෂ්ක යෝෂාන් සහ මලිත උදයංග ගේ ඥාතීන් පළ කළ අදහස්

මෙතන මොකක්ද වුනේ කියල හිතාගන්න බැහැ. මේවයි ආරක්ෂිත වැටක්වත් නැහැ. අපි ආවයි කියල අපිට පීනන්නත් බැහැ. අපිත් මේ ගොඩට වෙල බලාගෙන ඉන්නව. මොකක්ද ඉතිං කරන්නෙ. අපේ අයියගෙ පුතා නැති වුනා වගේ අනෙක් දෙමාපියන්ගෙ ලමයිනුත් නැති වුනා. දැන් දෙන්නෙක් හොයා ගත්ත. අනිත් දෙන්න ගොඩට එනකල් අපි මේ බලාගෙන ඉන්නව. දෙමාපියනුත් දැන ගන්න ඕන ළමයි මේ වගේ තැන්වලට එනකොට. ඉතිං අපි මෙතනට ආවෙ ආරංචිය ලැබුණු ගමන්ම ඒත් තාමත් මනුෂ්ක හම්බ වුනේ නැහැ. එයා තමයි අපේ අක්කගෙ ගෙදරට තිබුන එකම ශක්තිය. දෙමාපියන් ගෙ කටයුතු එක්කම නංගිල දෙන්නෙක් සහ මල්ලිගෙ අධ්‍යාපන කටයුතු කරගෙන යන ගමන් මනුෂ්ක පුතා වැඩ කලේ මිදිගම ලෝඩ්ස්ටාර් ආයතනයෙ. ඒ රාජකාරියත් හොඳ කැපවීමෙන් කළා. අපේ ගමේ ඉන්න හොඳ කොල්ලන්ගෙන් එක්කෙනෙක් තමයි අපිට අද නැති වෙලා තියෙන්නේ. මෙම අතුරුදහන් වූ සිව්දෙනාගෙන් මනුෂ්ක යෝෂාන් ගේ සිරුර ඊයේ දවල් වනතුරුත් හමුවූයේ නැති අතර ඔහුගේ පෙම්වතිය වූ කඹුරුපිටිය මීපාවිට පදිංචිව සිටි විසි හැවිරිදි අශානි හංසිකා ඇයගේ නිවස පහලින් ගලා බසින රංසෑගොඩ ගඟට පැන දිවි නසාගෙන ඇති බව කඹුරුපිටිය පොලිසිය පවසයි.

මෙම ඛේදවාචකය සිදු වීමට පෙර ගඟට බැස දිය නාමින් සිටි පිරිස මත් වතුර භාවිතා කර ඇති බව මරණ සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු කරන පිටබැද්දර පොලිසිය පවසයි. වැඩිදුර පරික්ෂණ කටයුතු පිටබැද්දර පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුරංග ජයතුංග මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදු කරයි.



advertistmentadvertistment
advertistmentadvertistment