මනුෂ්‍යයාගේ බලයට වඩා දෙවියන් වහන්සේගේ බලය බලවත්ය

63

මනුෂ්‍යයාගේ බලය හා දැනුම ලෝකයේ තාවකාලික දෙයක් බව ද ලෝකයේ ඕන තරම් නායකයෝ බලය සමග සිටිය ද ඔවුන් ඒ සියල්ල සමග නැතිව ගිය බව ද එහෙත් ජේසුගේ දැක්ම හා ජේසුගේ අනුගාමිකයන් තවමත් ලෝකයේ සිටින බව ද ඒ නිසා අප විසින් කළ යුතුව ඇත්තේ දේව විශ්වාසයේ කිතුනුවකු ලෙස විශ්වාසයේ, ප්‍රේමයේ කිතුනු ජීවිතයක් ගතකිරීම බව ද ශ්‍රී ලංකා රදගුරු මණ්ඩලයේ සභාපති හා කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා හිමිපාණෝ අලව්වේදී ප්‍රකාශ කළහ.

කුරුණෑගල රදගුරු වසමේ පොල්ගහවෙල මීසමට අයත් අලව්ව ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ දෙව්මැඳුරේ එකසිය දොළොස්වන වාර්ෂික මහා මංගල්‍ය දිව්‍ය පූජාව ඔප්පු කරමින් එසේ ප්‍රකාශ කළ කුරුණෑගල රදගුරු හිමිපාණෝ මනුෂ්‍යයාගේ දැනුමට වඩා විශ්වාසයේ දැනුම තුළ දෙවියන් වහන්සේගේ බලය බලවත් බවත් ඒ නිසා ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන් මෙන් බලයට හා තනතුරට ප්‍රේම නොකොට එකිනෙකාට ප්‍රේම කරමින් කිතුනුවකු හැටියට රට උදෙසා සේවය කිරීමට සාක්ෂි දැරීම කාලීන අවශ්‍යතාවය බවත් අවධාරණය කළෝය. කුරුණෑගල පදවි රදගුරු ලේකම් හිමිස්ටර් රොෂාන් හා නලින්ද ලංකාශ්‍රී යන පියතුමන් දිව්‍ය පූජා යාගය ඔප්පු කිරීම සඳහා අතිඋතුම් රදගුරු හිමිපාණන්ට සහාය විය.

පොල්ගහවෙල මිසම් සේවක ජෙරල්ඩ් විනීෂියස් ප්‍රනාන්දු පියතුමන් අලව්ව කිතුනු සංඝයේ තරුණ හා වැඩිහිටි ක්‍රියාකාරීන්ගේ කැපවීමෙන් මෙම වාර්ෂික මංගල්‍යය සංවිධානය කළ අතර අපෝස්තලික කාර්මේල් නිකායේ පැවිදි සොහොයුරියන් ද ඒ සඳහා දායක විය. පොල්ගහවෙල මීසමට අයත් අලව්ව, උඩපොල, ආරොඩ හා පොල්ගහවෙල කිතුනු සැදැහැවත්හු මෙම වාර්ෂික මංගල්‍යය සඳහා එක්ව සිටියහ.

ජෝ. ඇ. සකරයාස්

advertistmentadvertistment
advertistmentadvertistment