මනුෂ්‍යත්වය වෙනුවෙන් ප‍්‍රියන්ත බේරා ගැනීමට ඔ්නෑ වුණා

346

මලික් අද්නන්ට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විසින් ‘තාමිගා ඉෂුජාන්’ වීර සම්මානය ඊයේ (07 දා) සවස ඉස්ලාමාබාද් නුවර අගමැති කාර්යාලයේදී ප‍්‍රදානය කළ අයුරු. ‘වීරත්වයේ පදක්කම’ ලබන මලික් අද්නන් කියයි

පාකිස්තානයේ දී ඝාතනයට ලක්වූ ඉංජිනේරු ප‍්‍රියන්ත කුමාර දියවඩනගේ දිවි බේරා ගැනීමට සිය දිවි පරදුවට තබා ක‍්‍රියා කළ මලික් අද්නන් සිය අත්දැකීම එරට මාධ්‍යවලට හෙළිකර තිබිණි.

කම්හලේ නිෂ්පාදන කළමනාකරු වන මලික් අද්නන්, කලහකාරී පිරිසෙන් ප‍්‍රියන්ත කුමාර බේරාගැනීමට තැත් කළ කිහිපදෙනාගෙන් අයෙකි. ඔහු දෑත් එකතු කරමින් කලහකාරීන්ට ආයාචනා කරන අයුරු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පැතිරුණු ඇතැම් වීඩියෝවල දැක්වෙයි. මනුෂ්‍යත්වය වෙනුවෙන් තම සගයා බේරාගැනීමට තමාට අවශ්‍ය වූ බවත්, මිනිසුන් 40ක් 50ක් ඔහු ඝාතනයට පැමිණි විට ප‍්‍රියන්ත මුවාකරමින් ඔහු ඉදිරියේ සිට ගත්තේ ඒ නිසා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

‘‘ප‍්‍රියන්ත රාජකාරිය අතින් අවංකයි…දැඩියි, සද්දෙ ඇහිලා මම එතනට යනකොට හතළිහක් පනහක් ඒ පැත්තට එනවා. මම ප‍්‍රියන්තව බේරගන්න උඩ තට්ටුවට දිව්වා. මම එන්න කලින් ප‍්‍රියන්තගේ ඔළුවට සහ මුහුණට තුවාල කරලා තිබුණා. මම එතනට ගිහින් ප‍්‍රියන්තගේ ඇඟ උඩින් වැතිරුණා. මමත් ප‍්‍රහාරවලට ගොදුරු වුණා. ප‍්‍රියන්තගේ වියෝව ගැන මම බලවත් ශෝකයට පත් වෙනවා. ප‍්‍රියන්ත කුමාරව මට ජීවිත කාලෙටම අමතක වෙන්නේ නැහැ.’’

මලික් අද්නාන් පවසන්නේ තමන් ප‍්‍රියන්ත කුමාරට පිටව යන්නැ යි කී නමුත්, ඒ වන විටත් කාර්යාලයේ සිටි අය පොලූ සහ වේවැල් රැගෙන පැමිණ සිටි බවයි. ප‍්‍රියන්ත කුමාරගේ ජීවිතය බේරාගැනීමට සිය ජීවිතය පරදුවට තබා ක‍්‍රියා කළ මලික් අද්නන්ගේ ධෛර්යය සහ වීරත්වය වෙනුවෙන් ඔහුට උපහාර පිදීමට කටයුතු කරන බව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් නිවේදනය කළ අතර ඊයේ මෙම සම්මානය දීමට කටයුතු යොදා තිබිණි.

‘තාම්ගා-ඉ-ෂුජාත්‘ යනු අනතුරක් ඉදිරියේ නිර්භීතව කටයුතු කිරීමත්, නිර්භීතව ජීවිත බේරාගැනීමත් වෙනුවෙන් පාකිස්තානයේ සිවිල් වැසියන්ට පිරිනැමෙන වීරත්වයේ පදක්කමයි.

advertistmentadvertistment
advertistmentadvertistment