මනෝ වැඩියෙන් ම ආදරය කළ මනෝ

447

ජනවාරි මස 12 වැනි දිනට යෙදෙන ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

ජයලත් මනෝරත්න මහතා නාට්‍යවල බොහෝ ගීත ගයා ඇත. එහෙත් එතුමා ජෝතිගේ ගීයක් වේදිකාව මත ප්‍රථම වරට ගායනා කළේ සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ දී විය හැකිය. මනෝරත්න මහතා ජෝතිගේ ගීත ගයනු ඇසීම සඳහා ම නාට්‍ය බැලීමට පැමිණෙන රසිකයෝ සහ රසිකාවියෝ සිටියහ. ජයලත් මනෝරත්න මහතා ද සුද්දෙක් ඔබ අමතයි නාට්‍යය තුළ එන ජෝතිගේ ගී කොටස් ගායනා කළේ ඉතා ම සතුටින් බව මගේ හැඟීමයි.

සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයේ ජයලත් මනෝරත්න මහතා නිරූපණය කළේ ඉතිහාසය ඔබ අමතයි නම් කොටසයි. ඉතිහාසයට ඈතට පිවිසීමේ දී ඒ යුගයේ කොටස් ලෙසින් විවිධ දේශපාලන සිද්ධි මෙන් ම ගීත ද හමුවේ. යුගයක් හඳුනාගත හැක්කේ කැලැන්ඩරයෙන් පමණක් නොවේ. ඒ යුගවල කාලවල ජනප්‍රිය වූ චිත්‍රපට තුළිනි. දේශපාලන නායකයන් තුළිනි. අපේ කලාවේ ඉතිහාසය බුත්සරණ, සැළලිහිණිය හා රුක්මණී දේවී හරහා එච්. ආර්. ජෝතිපාල දක්වා ගෙන එන කොටසක් ‘සුද්දෙක් ඔබ අමතයි’ නාට්‍යයේ අන්තර්ගත වේ. ඒ අනුව ජයලත් මනෝරත්න මහතා ජෝතිගේ ගී ගායනා කළේ සැළලිහිණියේ කවි ද නාට්‍යය තුළ ගායනා කළ ආකාරය තරම් ම සතුටින් යැයි මට සිතේ.

සැළලිහිණි සංදේශයේ ආරම්භ දූත වැනුම කවි පංතිය ද නාට්‍යයට ඇතුළත් වේ. එය ඇත්තේ මනෝරත්න මහතා ඉදිරිපත් කරන නාට්‍ය පිටපතේ මැද හරියට ආසන්නවය. ජයලත් මනෝරත්න මහතා කවදත් හදවතින් ජීවත් වූ අයෙකි. හදවතින් ජීවත්වන කලාකරුවන්ට ජන හදවත් තුළ ලැගුම් ගැනීමට ද හැකිය. මේ සැළලිහිණි කවි පංතියට සංගීත අධ්‍යක්ෂ ලලිත් වික්‍රමරත්න විසින් නිර්මාණය කර තිබූ තනුව මහත් සේ ජයලත් මනෝරත්න මහතාගේ සිත් ගත්තේය. නාට්‍ය පුහුණුවීම් කරද්දී මුලින් ජයලත් මනෝරත්න මහතා නාට්‍ය පිටපතේ මුලින් පටන්ගෙන අග දක්වා කියවමින් පුහුණුවීම කළේය. එහෙත් අර තනුව මනෝරත්න මහතාගේ හිත කොතරම් ඇද ගත්තේ ද යත් ඉන් අනතුරුව ඔහු නාට්‍ය පිටපත රංගනයෙන් පුහුණුවීම ආරම්භ කළේ කවිය ඇති තැනිනි. එනම් නාට්‍යයේ මැදිනි. නාට්‍යයේ මැදින් පටන්ගෙන අවසානය දක්වා ගොස් යළි මුලට එන ජයලත් මනෝරත්න මහතා සැළලිහිණිය කවිය ඇති තැනින් නවත්වයි.

මනෝ වැඩියෙන් ම ආදරය කළ මනෝ

මෙයින් පැහැදිලි වන්නේ ජයලත් මනෝරත්න මහතා කොතරම් රසය සමග ජීවත් වූයේ ද යන්නයි. ඒ නිසා එතුමන්ට රටම ලෝකය ම රසවත් කිරීමට හැකි විය.

ජයලත් මනෝරත්න මහතාගේ වේදිකා නාට්‍ය චරිත නිරූපණය ගැන බොහෝ සේ කතා වී තිබේ. එහෙත් එතුමාගේ අග්‍රගණ්‍ය රංගන අතරට ‘සකිසඳ එළියස්’ ටෙලි නාට්‍යයේ රංගනයත් අයත් වන බව පැවසිය යුතුය. අග්‍රගණ්‍ය රංගධර ජෝ අබේවික්‍රම, අපූරු ප්‍රතිභාවකට හිමිකම් කිව් ඇන්ටන් ජූඩ්, කවදත් දස්කම් දක්වන රොජර් සෙනෙවිරත්න, රංගනයේ දී කවදත් නොදෙවෙනි වන ඩිලානි අබේවර්ධන, අතිදක්ෂ නළුවකු වූ නමුත් ඒ පමණට මතු නොවූ බර්ටි නිහාල් සුසිරිපාල යන නළු නිළියන් පිරිවරාගෙන එළියස් අප්පුට ආරූඪ වී ජයලත් මනෝරත්නයන් කරන රංගනය පුංචි තිරයේ අද්විතීය රංගනයක් බව මගේ හැඟීමයි. ඇත්තටම පුංචි තිරය පුපුරුවාගෙන නාට්‍ය වේදිකාවේ ජීවමය ගුණය මතුවන අවස්ථාවක් ලෙස මේ ටෙලිනාට්‍යය හැඳින්විය හැකිය.

එසේ ම ජයලත් මනෝරත්න මහතාගේ අග්‍රගණ්‍ය රංගනයන් අතරට ටයිටස් තොටවත්තගේ හඳයා චිත්‍රපටයේ පෝනි රේස් තරගයේ විස්තර ප්‍රචාරක වශයෙන් ඉදිරිපත් කරන විනාඩි කිහිපයක රංගනය මෙන් ම එච්. ඩී. ප්‍රේමරත්නගේ මංගල තෑග්ග චිත්‍රපටයේ රංගනය ද අයත් වන බව මගේ අදහසයි.

මනෝ වැඩියෙන් ම ආදරය කළ මනෝ

නාට්‍ය යනු පිටපතම නොවේ. අවම වශයෙන් නාට්‍යයේ එක් සම්ප්‍රදායකදී නාට්‍ය යනු නාට්‍ය පිටපත ම නොවේ. තැනට සුදුසු පරිදි නළු නිළියන් විසින් ක්ෂණිකව නිර්මාණය කර පවසනු ලබන දෙබස් ද එහිදී වැදගත් වේ. ජනනාට්‍ය සම්ප්‍රදාය තුළ පවතින මේ ලක්ෂණය වේදිකා නාට්‍ය තුළ ද පවතියි. චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය නොවන ඕනෑම සජීව මාධ්‍යයක් තුළ ඉදිරිපත් කරන රංගනයක දී ඉදිරිපත් කිරීමක දී රංගන ශිල්පියෙකු සතු මේ හැකියාව ඉතා වැදගත් විය හැකිය. එහිලා ජයලත් මනෝරත්න මහතා ඉහළින් ම සිටියේය. සැබවින් ම මෙය පිටපත ඉක්මවා යෑමක් නොවේ පිටපත යාවත්කාලීන කිරීමක් පමණි. සැබැවින් ම ඒ සඳහා යොදාගනු ලබන්නේ වචන පමණක් නොවේ අංග චලනයන් ද යොදාගනියි. නාගගුරුළා නාට්‍යයේ කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවති දර්ශනයේ දී රජු විසින් මියගිය සෙනෙවියකුට අවසන් ගෞරව දැක්වීමක් නිරූපණය කරන අවස්ථාවේ දී ජයලත් මනෝරත්න මහතා එයට දින කිහිපයකට පෙර රටේ ම සිදු වූ එවන් සිදුවීමක රූපවාහිනී ප්‍රවෘත්ති ආවරණයේ ආභාසය ලබා ඇති බව දකින්නට ලැබිණ. ඒ නිරූපණය පිටපතේ තිබූ දෙයක් නොවේ. ක්ෂණික දෙබස් දහඅට සන්නිය ආදී ජනනාට්‍යවල ද ප්‍රධාන අංගයකි. නිහාල් සිල්වා මහතා ද එහි සමතෙකු විය. ජයලත් මනෝරත්න මහතා ද නාට්‍යයේ අර්ථය උද්දීපනය කරනු ලබන ආකාරයේ එවන් එක්කිරීම් සම්බන්ධයෙන් අතිවිශිෂ්ට හැකියාවක් පෙන්වූවේය. සුද්දෙක් ඔබ අමතයි නාට්‍යයට ද ඉන් ලද ආලෝකය ඉමහත්ය.

මනෝ වැඩියෙන් ම ආදරය කළ මනෝ

සැබවින් ම මේ ක්ෂණික නාට්‍යමය දෙබස් නාට්‍ය වේදිකාව මත නොව ජයලත් මනෝරත්න සමග කතාබහේදී ඇසුරේ දී පවා අත්විඳින්නට ලැබිණ. කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ සුද්දෙක් ඔබ අමතයි වේදිකාගත වීම සඳහා සියල්ල සූදානම් ව තිබිණ. අප සියලු දෙනා සිටියේ පිටුපස නේපථ්‍යාගාරයේ ය. තේ හදන්නට කට්ටිය සිටියත් ඒ අය මනෝරත්න මහතාට තේ එකක් හදාදෙන තුරු ඉවසා සිටින්නට සිතක් මට තිබුණේ නැත. මම ම මනෝරත්න මහතාට තේ එක සාදා පිළිගැන්වූවෙමි. නලින් ප්‍රදීප් උඩවෙල මහතා ද පසෙක සිටියේය. තේ එක අතට ගත් මනෝරත්න මහතා එය නොබී අතේ තබාගෙන මදෙස බලමින් නොබලමින් මෙසේ කීවේය.

‘ඔයා ඉස්සර නාට්‍යයත් කළා නේ ද?’

නලින් ප්‍රදීප් සිනාසුනේය. මට ඒ කිව් දෙය තේරුණේ ඊටත් පසුවය. එයින් අදහස් කළේ ඉස්සර නාට්‍ය කළ මා දැන් තේ හදන කෙනෙකු බවට පත්ව ඇති බව ය. ඇත්තටම මනෝරත්න මහතාට නාට්‍ය සඳහා වේදිකාව හෝ වේදිකාවෙන් පිටත කියා වෙනසක් නැති තරම් ය. එහෙත් ලංකාවේ ජනතාව හා ප්‍රේක්ෂකයන් අතරින් වැඩි දෙනා දැක ඇත්තේ ජයලත් මනෝරත්න මහතා නාට්‍ය වේදිකාව මත හෝ කැමරාව ඉදිරියෙන් පෙන්වන දස්කම්ය. විස්කම් ය. නිර්මාණශීලීත්වය ය. එහෙත් සාමාන්‍ය එදිනෙදා ජීවිතය තුළ ද ජයලත් මනෝරත්න නමැති මහා කලාකරුවාගේ නිර්මාණශීලීත්වය සුහදත්වය අත්විඳීමේ දුර්ලභ අවස්ථාව ලද අය අතරට අපත් අයත් වෙමු.

ජෝතිට වැඩියෙන් ම ආදරය කළේ ජෝති ම යැයි කිව හැකිය. කුමන බාධක ආවත් ඒ නිසා ජෝති රැකගැනීමට ජෝති කැප විය. ජෝතිගේ හඬට වැඩියෙන් ම ආදරය කළේ ජෝති ය. ඒ නිසා ජෝති කවදාවත් ස්වකීය හඬ මුදලට පාවාදුන්නේ නැත. එලෙසින් ම ජයලත් මනෝරත්න මහතාට වැඩියෙන් ම ආදරය කළේ ද ජයලත් මනෝරත්න මහතා ම බව කිව හැකිය. ඒ නිසා ජයලත් මනෝරත්න නමැති කලාකරුවා ආරක්ෂා කරගැනීමට ජයලත් මනෝරත්න මහතා ද ජීවිතයෙන් ම කැප විය.

කලාකරුවන්ට වෙන වැරදීමක් නම් කල් යාමේ දී කලාවට වඩා දේවල් තමන් දන්නේ යැයි වැටහීමක් ඔවුන් වෙත ඒමය. එනම් කලාවට වඩා ව්‍යාපාර දන්නා බව ඇතැමෙක් සිතන්නට වෙති. කලාවට වඩා දේශපාලනය දන්නේ යැයි තවත් අය සිතන්නට වෙති. සැබැවින් ම එක අතකට එය ඔවුන් තමා තුළ ඉන්නා කලාකරුවාට ආදරය නොකරන බවට සාක්ෂියකි. නොඑසේ නම් තමා තුළ සිටින කලාකරුවා රැකගැනීමට ඔවුන් තුළ වුවමනාවක් හෝ කැපවීමක් නොමැති බවට සාක්ෂියකි. එහෙත් මනෝරත්න මහතා තමා තුළ සිටින වටිනා ම තැනැත්තා තමා තුළ සිටින කලාකරුවා රංගන ශිල්පියා ලේඛකයා බව දැන සිටියේය. සැම විටම ඒ කලාකරුවා රැකගැනීමට මුල් තැන දුන්නේය. ජනතා හදවතේ සදා ලැගුම් ගැනීමට ජයලත් මනෝරත්න මහතාට හැකි වූයේ එහෙයිනි.

මනෝ වැඩියෙන් ම ආදරය කළ මනෝ

ජනතා හදවත සැබෑ කලාකරුවාගේ නිවහනයි. මනෝරත්න මහතා ද එය දැන සිටියේය. කෙසේ වුවත් ඒ සමග ම කිව යුත්තේ මේ යුගය වනාහී කලාකරුවන්ට ලැබිය යුතු නිසි ගරුත්වය නොලැබෙන යුගයක් බව යි. ඒ තත්ත්වය තුළ ජේ. ආර්. ජයවර්ධන මහතාට පමණක් නොව කලාකරුවන්ට ද ඇතැම් විට සාහිත්‍ය කලාව කන්නදැයි සිතන අවස්ථාවන් ඇත. අසරණ වන අවස්ථාවන් ඇත. එහෙත් ඒ සියලු අභියෝග හමුවේ කලාවට වඩා වටිනා දෙයක් තමාට වෙනත් නැතැයි සිතන්නා ජනතාවගේ හදවතෙහි ලැගුම් ගන්නා කලාකරුවකු බවට පත්වෙයි.

තලමල පිපිලා මෙන් ම අන්දරේලා නාට්‍යයට ද වස්තු විෂය වන්නේ අහිංසක අව්‍යාජ කලාකරුවන් යුගලයකගේ චරිතයි. සැබැවින් ම ඒ තුළ එක් අතකට ඇත්තේ කලාකරුවකු ලෙස මේ සමාජය තුළ ජීවත්වන්නට යෑමේ දී ජයලත් මනෝරත්න නම් අහිංසක අව්‍යාජ කලාකරුවා මුහුණ දුන් අභියෝගය. ගැටලුය. ඒ නිර්මාණ සදාතනික වන්නේ ද ඒ නිසා ය. කලාව අතින් ගෙන උපත ලැබීම පහසුය. එහෙත් එය අතින් ගෙන ජීවත්වීම එයට වඩා අපහසුය. කලාව රැකගෙන කලාව ජීවත්වීම එයට වඩා අපහසුය. කලාකරුවන් ලෙස ජනතා හදවතේ සදා ලැගුම් ගන්නෝ ඒ අභියෝගය ජයගත්තෝය.

පේරාදෙණිය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංගපීඨය නොඑසේ නම් සුප්‍රසිද්ධ වළේ රැස්ව සිටින හයහත්දහසක් වන ප්‍රේක්ෂකයන් පමණක් නොව නාට්‍ය අවසන් ව එන විට නාට්‍ය බසයේ සිටින විස්ස තිහ ද ජයලත් මනෝරත්න මහතාට එක හා සමාන වූයේ යැයි කිව හැකිය. එනම් ඒ දෙතැනහිදී ම ජයලත් මනෝරත්න මහතා අන්‍යයන් රස ගැන්වීම සඳහා එක සේ උද්යෝගීමත් වූ හෙයිනි. රසය අත්නොහැර ජීවත්වීමට ජයලත් මනෝරත්න මහතාට නොහැකි විය. රසය සමග මනෝරත්නයෝ දිවි ගෙවූහ. එවැන්නෝ සදාකල්හිම ජනතා හදවත්හි ලැගුම් ගනිති.

මෙයටත් වඩා ජනතා හදවතේ ලැගුම් ගැනීමට අවශ්‍ය කුසලතාවන් ශක්‍යතාවන් හැකියාවන් තිබෙන්නට හැකිය. ඒවා ලැබීමට පින්කෙරුවෝ මනෝරත්නයන් වැනි කලාකරුවෝය. අපට හැක්කේ ඒවා ගැනීමට සිතාගැනීමට පමණි. මේ මට සිතාගත හැකි වූ දේ ය. මෙලොව දෙව්ලොව හා සමාන වන්නේ ආචාර්ය ජයලත් මනෝරත්නයන් වැනි කලාකරුවන් ඇසුරේදීය.

උදයසිරි වික්‍රමරත්න

මනෝ වැඩියෙන් ම ආදරය කළ මනෝ

advertistmentadvertistment
advertistmentadvertistment