මනෝ විකාරයක් නොවන නැනෝ

1126

රජය මගින් ඉන්දියාවෙන් ගෙන්වන ලද නැනෝ යූරියා දියර පොහොර පිටුපස රුපියල් මිලියන අටදහසක වංචාවක් සිදුව ඇති බව පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීතුමා පවසා ඇත. ඉන්දියාවේදී මිලි ලීටර් 500 ක් ඩොලර් තුනට විකුණන නැනෝ යූරියා දියර පොහොර ලංකාවට එනවිට ඩොලර් 12.50 ක් වී ඇති බවත් නැනෝ යූරියා මෙරටට ගෙන්වීමේදී කිසියම් අකටයුත්තක් සිදුවී ඇති බවත් කෘෂිකර්ම ඇමැති පිළිගෙන ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිණි කවිරත්න ද සඳහන් කර තිබේ. පාඨලී චම්පික රණවක යනු රාජපක්ෂවරුන්ගේ පිලේ සිට සමගි ජනබලවේගයට ගිය දේශපාලනඥයෙකි. රෝහිණි කවිරත්නගේ Brand එක එදත් යූ එන් පී අදත් යූ එන් පී ය. ඇය යූ එන් පී මතවාදය නියෝජනය කරන්නේ සමගි ජනබලවේගය හරහාය. නැනෝ යූරියා මෙරටට ගෙන්වීමේදී කිසියම් දේශපාලනඥයෙක් හෝ කිසියම් ව්‍යාපාරිකයෙක් හෝ ඒ දෙකේම එකතුවක් වන කිසියම් හයිබි‍්‍රඞ් පුද්ගලයකු හෝ මෙවැනි වංචාවක් කළ බවක් හෝ නොකළ බවක් අප දන්නේ නැත. කවරෙකු හෝ එවැනි වංචාවක් කළේ නම් එයට උපරිම දඬුවම දිය යුතු බව අපගේ මතය වේ. එහෙත් අද අප කරන්නේ නැනෝ යූරියා වංචාව ගැන කතා කිරීම නොව නැනෝ යූරියා මෙරටට ගෙන්වීම පිටුපස ඇති විද්‍යාත්මක සහ අවිද්‍යාත්මක ක‍්‍රියාදාම සාකච්ඡාවට ලක්කිරීමය.

 ශ‍්‍රී ලංකාව ආර්ථික අගාධයකට එබී බලමින් සිටී. යම් හෙයකින් අඩිය ලිස්සුවොත් අප ඒ ආර්ථික අගාධයට ඇද වැටෙන්නේය. ආණ්ඩුව කාබනික පොහොර වෙත යොමුවන්නේ මෙවැනි පසුබිමක් තුළය. මේ රටේ මිනිස්සු අවුරුදු හැට හැත්තෑවක සිටම රසායනික පොහොර රසායනික වල් නාශක සහ රසායනික කෘමිනාශක පාවිච්චි කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ වකුගඩු රෝග, අක්මාව ඉදිමීම, අල්සරේටිව් කොලයිටිස්, ශරීරය පුරා හටගන්නා දද කුෂ්ට සහ විවිධ ස්නායු ආබාධ සහිත රෝගී ජාතියක් බිහිවීමය. රෝගී ජාතිය නිරෝගී කිරීම සඳහා විශාල වශයෙන් මුදල් වැය කිරීමට ආණ්ඩුවට සිදුවේ. උදාහරණයක් වශයෙන් සිගරට් වලින් ලබන බදු ආදායමට වැඩි මුදලක් පෙනහළු පිළිකා සහ පෙනහළු ආශ‍්‍රිත රෝග සඳහා වැය කිරීමට ආණ්ඩුවට සිදුවේ. මේ ටික ජාතික ගීය ගයන්නාක් මෙන් දේශපාලනඥයෝද සමාජ ක‍්‍රියාධරයෝද කියා ඇත්තාහ. එබැවින් මෙහි අලූත් කිසිවක් නැත. මේ අතර කොවිඞ් වසංගතයත් ගෝලීය ආර්ථික අවපාතයත් නිසා සෞඛ්‍යට යන පිරිවැය අඩුකර ගැනීමට මෙන්ම රසායනික පොහොර සඳහා පිට රටට ඇදී යන ඩොලර් ගංගාව හරහා වේල්ලක් බැඳීමටද ආණ්ඩුවට අවශ්‍ය විය. එහිදී කළ හැකිව තිබූ එකම දේ කාබනික පොහොර වෙත යොමුවීමය. මෙය කළ හැකි එකම දේ වුවද කළ හැකි හොඳම දේ නොවේ. එළඹි මහ කන්නය සඳහා වගාවන්ට යෙදීම පිණිස ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා නැගූ මැසිවිල්ලේ බැටන් පොල්ල අතට ගත් විරුද්ධ පක්ෂය ගොවි ජනතාව කරේ තබාගෙන ආණ්ඩු විරෝධී මැරතන් එක දිවීමට පටන් ගත්තේය. ඒ අතර චීන පොහොර සිද්ධිය ඉස්මතු විය. ඛනිජ තෙල් හිඟයක් නැතත් එබන්දක් ඇති වේයැයි කියමින් ජනතාව තුළ බියක් ඇති කිරීමෙන් කලබැගෑනියක් හටගත්තේය. අවශ්‍ය කාබනික පොහොර නිසි පරිදි ගොවීන් අතට නොලැබීම නිසා ක්ෂණික උත්තරයක් ලෙස නැනෝ යූරියා හඳුන්වාදෙන ලදී. මෙහිදී නැනෝ යූරියා යනු කුමක් ද යන්න අපි කෙටියෙන් කියමු. නැනෝ යූරියා යනු නයිට‍්‍රජන් මූලාශ‍්‍රයකි. පැළෑටියක නිසි වැඞීම සඳහා නයිට‍්‍රජන් අවශ්‍යය. ආණ්ඩුව විසින් ගෙන්වා ඇති නැනෝ යූරියා දියරය ආණ්ඩුවේ කාබනික ප‍්‍රතිපත්තියට විරුද්ධ බවත් එය රසායනික ක‍්‍රියාවලියක් මගින් නිපදවන ලද පොහොර දියරයක් බවත් මේ රටේ සමහර උගත්තු කියති. එහෙත් දුප්පත් අහිංසක ගොවි ජනතාව නැනෝ දන්නේත් නැතත නයිට‍්‍රජන් දන්නේත් නැත. ඔවුන් දන්නේ කුඹුරට නියම වෙලාවේදී යූරියා නොගැසුවොත් ගොයම අල වෙන බව පමණකි. ඊට අමතරව නයිට‍්‍රජන් මූලාශ‍්‍රයක් බැවින් යූරියා යොදා කසිප්පු පෙරීමට හැකි බව කසිප්පුකාරයෝද දනිති. නැනෝ තාක්ෂණය මේ ප‍්‍රාථමික දැනුම් මට්ටම් දෙකෙන් ඔබ්බට යන කතාවකි. නැනෝ යනුවෙන් හඳුන්වන්නේ බිලියනයකින් එක් පංගුවකි. නැනෝ මීටරයක් යනු ඇඟිල්ලේ නියපොත්තක් තප්පරයක් තුළ වැඩෙන දිග ප‍්‍රමාණයයි. නැනෝ තප්පරයක් යනු ආලෝකය සෙන්ටිමීටර තිහක දුරක් ගමන් කිරීමට ගතවන කාලයයි. මේ ගණන් හිලව් ක‍්‍රමවේදයේ නාමකරණය චරුසෙං යනුවෙන් කියනු ලැබේ. මෙය මහත්ම පටලැවිල්ලකි. නැනෝ මැනීමට අඩි රූල් නැත. නැනෝ අංශු ඒ තරමටම කුඩාය. කෙසේ හෝ වේවා නැනෝ තාක්ෂණය ලෝකයේ විද්‍යාත්මක දියුණුවට ඉතා තදින් බලපාන සාධකයක් වේ. එය ගොවිතැනේ දියුණුවටද ඉතාම ලොකුවට බලපායි. කෑමට තිබෙන කටවල් ගණන අවුරුදු පතා වැඩිවන ලෝකයක නැනෝ පොහොර වර්ග යෙදීමෙන් සුවිශාල අස්වැන්නක් ලබාගත හැකිය. වෙනත් පොහොර ටොන් එකක් යොදන තැනට නැනෝ පොහොර අංශුවක් යෙදීමෙන් විශාල ප‍්‍රයෝජන ලබාගත හැකිය. මේ නිසා රසායනික වේවා එසේ නොවේවා නැනෝ තාක්ෂණය ගැන හෝ නැනෝ පොහොර ගැන අප කලකිරිය යුතු නැත. අප කලකිරිය යුත්තේ නැනෝ පොහොර ගෙන්වීමේදී ගසා කා ඇත්නම් සහ එම ගසාකෑමට මතුදිනක දඬුවම් නොලැබෙන්නේ නම් පමණි. ඒ සමගම නැනෝ පොහොර මෙරටෙහිම හදන දවස වහා උදාවේවා.

advertistmentadvertistment
advertistmentadvertistment