මමත් හෘදයාබාධයකින් ජීවිතය අවසන් වෙන්න ගිහින් නැවත ජීවය ලද කෙනෙක් – කීර්ති පැස්කුවෙල්

355

මනමාල හැන්දෑවට මගේ රසිකාවියෝ මනමාලියෝ වගේ ඒවි……

නීල අහසේ සැඳෑ වළා
ඇදෙනා යාමේ සිහිලේ ළංවී
ගංගා තීරේ ඉඳිමූ තනිවී
ආදර සෙනෙහේ සුවේ මවා

ලයාන්විතයා…, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු ලයාන්විතය. අනෙකා කෙරෙහි අවංකවම දයාවන්තය.. කරුණාවන්තය. ස්වකීය ගායන හැකියාව සහ ජනප්‍රියත්වය ජීවිතය යදින අහිංසක රෝගීන් උදෙසා කැප කරන්නට තරම් ඔහු නිහතමානීය.

මමත් හෘදයාබාධයකින් ජීවිතය අවසන් වෙන්න ගිහින් නැවත ජීවය ලද කෙනෙක් - කීර්ති පැස්කුවෙල්

සද්ගුණවත් හිතමිත්‍රාදීන්ගේද අනුග්‍රහය ලබමින් මේ වන විට ඔහු පිළිකා රෝගීන් වෙනුවෙන් කර ඇති මෙහෙවර අමිලය. ඒ අතරින් බොහෝමයක් අප්‍රසිද්ධියේ කළ නිහඬ සේවාවන්ය. ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් මෙරටදී සිදුකර ගැනීම සිහිනයක්ව පවතිද්දී මීට වසර කීපයකට පෙර ඔහු සිය ලයාන්විත ගී හඬින් රසිකයන් පිනවා ඉපයූ මුදලින් සහ ලබාගත් අනුග්‍රාහක මුදලින් මහරගම පිළිකා රෝහලේ ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක් ආරම්භ කිරීමට පුරෝගාමී විය. ඒ සඳහා රුපියල් ලක්ෂ තුන්සිය පනහක් පමණ වැය කළේය. අද වන විට එම ඒකකයෙන් ප්‍රතිකාර ලබා සුවවූ ගණන දෙසීයකට අධිකය.

ආදර දෑසේ සිනා සලා
බැඳිලා වෙලිලා මාගේ දෑසේ
කොඳුරා රහසේ කියනා වදනින්
මා සිත සැනසී නිවේ නිවේ

අපගේ පූර්විකාව අන් කවරෙක් නොව කීර්ති පැස්කුවල් ගැනය. මෙම විසි නව වැනිදාට යෙදෙන සිය උපන් දිනය නිමිත්තෙන් තවත් මහඟු පිංකමකට මුල පුරන්නට කීර්ති සූදානම්වේ. ඔහු සමග ඔහුගේ රසික රසිකාවියන්ටද මේ පිංකමට මෙවරත් අත ගසන්නට අවස්ථාව ලැබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයේ පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා මුදල් ලබා දීමට ප්‍රාර්ථනා භාරකාර අරමුදල කීර්ති විසින් සිය උපන් දිනය දා ආරම්භ කිරීමට සූදානම්ය. ඔහු එය සිදුකරනුයේ සිය රසික හිතවතුන් ඉදිරිපිටදීය. ඒ දැවැන්ත ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පවත්වමිනි.

මනමාල හැන්දෑවේ පිනි වැස්ස වහිනවා
සුළං කෝඩෙක ඇති ඔබෙ සුවඳ ගෙනෙනවා
දරා ගන්න බැරි දුකක් මගෙ හිතට දැනෙනවා
මතක් වෙනකොට ඔබව හිතම ගිනි ගන්නවා

මනමාල හැන්දෑව මෙම විසි නව වැනිදා හැන්දෑවේ 6.45ට නෙළුම් පොකුණ රඟහලට එන නිමිත්ත දැන් පැහැදිළියි.

කීර්ති පළමුවරට ඒකපුද්ගල ගී ප්‍රසංගයක් පැවැත්වූයේ එක්දහස් නවසිය අසූ අටේ ජනවාරි විසි අටවැනිදා. ‘කීර්ති ගී සංකල්පනා’ එදා පැවැත්වූයේ කොළඹ ලුම්බිණි රඟහලේ. ඒ හරියටම මීට වසර තිස් පහකට පෙර.

සඳලතා පායලා මල් වැට ගාව ඉරිමා උදේ
සුදුමල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ

මම දෙදහස් දහනවයෙදීත් ‘මනමාල හැන්දෑව’ කළා. ඒත් මෙවර ප්‍රසංගය පෙර ප්‍රසංගයට වඩා වෙනස් මුහුණුවරින් ඉදිරිපත් කරනවා. ගීත අනුපිළිවෙල මෙවර වෙනස්. අලුත් ගීත කීපයකුත් මෙවර ගයනවා. ප්‍රසංගයේ ඉදිරිපත් කිරීම ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර විසින් සිදු කරනවා. චන්ද්‍රලේඛා පෙරේරා, මරියසෙල් ගුණතිලක, සමිතා මුදුන්කොටුව, ධම්මිකා වල්පොල, නිරෝෂා විරාජිනී, මගේ ලේලිය චේතනා රණසිංහ

(පුතා කසුන් පැස්කුවල්ගේ බිරිඳ) සහ දියණිය චාරුණී පැස්කුවල් යුග ගී ගයනවා. නර්තනය චන්න උපුලී රංගායතනය විසිනුත් සංගීතය නව පරපුරේ සංගීත අධ්‍යක්ෂ නාලක සජී විසිනුත් සිදුකරනවා. කීර්ති ‘මනමාල හැන්දෑව’ ගැන කළේ එවන් හැඳින්වීමක්.

ඔහු පවසන ආකාරයට මෙවර ප්‍රසංගයේ අදියර හතරකි. පිටපතකට අනුව ගීත සියල්ල පෙළ ගස්වා ඇත.

මමත් හෘදයාබාධයකින් ජීවිතය අවසන් වෙන්න ගිහින් නැවත ජීවය ලද කෙනෙක් - කීර්ති පැස්කුවෙල්

තව දවසක් හමුවී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීං සැරේ

“එදාට මාව බලන්න, මගේ ගී රසවිඳින්න හුඟ දෙනෙක් ඒවි. ඒ අතර රසිකාවියන් වැඩි පිරිසක් ඉඳීවි. මනමාල හැන්දෑවට ඒ අය මනමාළියන් විදිහට සැරසිලා ඒවි කියලා මට විශ්වාසයි. මනමාල හැන්දෑව ඉතා රසවත් සුන්දර හැන්දෑවක් වේවි’ කීර්ති පවසයි.

මේ ප්‍රසංගයට රුපියල් මිලියන හතරකට වඩා වැය කරනවා. ඒ එහි ගුණාත්මකභාවය රඳවා ගැනීමට. අද වගේ දවසක මෙවැනි

ප්‍රසංගයක් කිරීම අභියෝගයක්. ඒත් මම ඒ අවදානමට මුහුණ දෙන්නේ දැඩි ආත්ම විශ්වාසයකින්. මගේ අරමුණ රසිකයන් සතුටු කරනවා වගේම හොඳ පණිවිඩයක් සමාජයට ගෙන යෑමයි. ඇට මිදුළු බද්ධ කරන්න එක රෝගියකුට රුපියල් ලක්ෂ අටක් දහයක් විතර වැය වෙනවා. රජයටත් මේ අවස්ථාවේ මුදල් හිඟයි.

රෝගීයාට පුද්ගලිකව මේ මුදල සොයා ගන්න බැරි වුවොත් හරිම කනගාටුදායක තත්ත්වයකට පත් වෙනවා. ජීවිතයෙන් සමුගන්න පවා සිදු වේවි. මේ ප්‍රසංගය හරහා මට පුළුවන් ලෝකයටම පණිවිඩයක් ගෙන යන්න. මේ

රෝගීන් ජීවත් කරවන්න ගන්නා උත්සාහයට ප්‍රවේශ පත්‍රයක් මිලට ගෙන ‘මනමාල හැන්දෑවට’ එන රසිකයන් පවා විශාල දායකත්වයක් ලබා දෙනවා..

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වමු අද හවසට
මගෙ ගෙපැළට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න

මමත් හෘදයාබාධයකින් ජීවිතය අවසන් වෙන්න ගිහින් නැවත ජීවය ලද කෙනෙක් - කීර්ති පැස්කුවෙල්

සංගීත රසය සමගින් අසරණ කෙනකුට උදව් කළයුතුය යන හැඟීම මෙමගින් ප්‍රේක්ෂකයා ගේ සිතට කා වදිනවා. එක්තරා කාලෙක මමත් හෘදයාබාධයකින් ජීවිතය අවසන් වෙන්න ගිහින් නැවත ජීවය ලද කෙනෙක්. මම මේ ගත කරන්නේ මගේ ජීවිතයේ දෙවන භාගය. මගේ ගීත ප්‍රිය කරන සමාජයට මම ණය ගෙවන්නේ මෙවැනි සද්කාර්යයන් කරමින්. මනමාල හැන්දෑවත් එවන් එක් පින්බර කටයුත්තක්..’ යැයි කීර්ති පැස්කුවල් හැඟුම්බර හඬින් පැවැසීය.

සිඟමන් නොයා මාවතේ
මහදේ රැඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
අඳුරයි ඔබේ දෝතටා

මනමාල හැන්දෑවට පූර්ණ අනුග්‍රාහකත්වය දරන්නේ දෝහා කටාර්හි තුවාන් ෆර්සාන් නමැති කීර්ති ගේ හිතවතෙකි. මේ ප්‍රසංගයේ ආදායම අපේක්ෂා රෝහලේ රෝගීන් ගේ වැය බර දරන්නට ආරම්භ කෙරෙන භාර අරමුදලට බැර කෙරෙන බැවින් මනමාල හැන්දෑවට එන සියල්ලෝද ඊට දායකත්වය දක්වන්නෝය.

අජිත් අලහකෝන් නිව්යෝර්ක් සිට

advertistmentadvertistment
advertistmentadvertistment