මමතාගේ බෙංගාලය; සිංහල මැණිකේ රජවීම

3040

ලබන 30 වැනිදා බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ බාබනිපෝර් ආසනය සඳහා අතුරු මැතිවරණයක් පැවැත්වේ. මේ මැතිවරණය එම ප‍්‍රාන්ත මහ ඇමැතිනි මමතා බැනර්ජි මහත්මියට අතිශයින් වැදගත්ය. මෙය පරාජය වුවහොත් ඇයට මහ ඇමැති තනතුරද අහිමිවනු ඇත. බෙංගාලයේ අතුරු මැතිවරණය අපට වැදගත් වන්නේ කෙසේද? ඒ යොහානි සිල්වාගේ මැණිකේ මගේ හිතේ ගීතය පාදක කරගෙන මමතා බැනර්ජිට ජයපතා විශේෂ ගීතයක්ද නිර්මාණය වී ඇති නිසාය. මැණිකේ ගීතය ඉන්දියාව කලඹන අතර දැන් අතුරු මැතිවරණ වේදිකාවටද පිවිස ඇත. ලොව කොහේ හෝ තැනක සිංහල ගීතයක හඬක් ඇසෙන්නේ නම් අපට සතුටුය. මැණිකේ ලැබූ ජනප‍්‍රියතාවය ගැන එහි නිර්මාණකරුවන් පවා පුදුම වී ඇත. එනිසාම බෙංගාල මහ ඇමැති මමතා බැනර්ජි වෙනුවෙන් සිංහල මැණිකේ ගීතය හරහා අලූත් නිර්මාණයක් බිහිව ඇත. රකේෂ් චක‍්‍රබොර්ති හා ඔහුගේ දුව අපරාජිතා විසින් ගායනා කරනු ලබන මෙම ගීතය මේ දිනවල සමාජ මධ්‍ය ජාලාවලද බෙහෙවින් සංසරණය වෙයි. සිංහල මැණිකේ හරහා සිය ජය තහවුරු කරගැනීමට මමතාගේ දේශපාලන ආධාරකරුවෝ මාන බලති. එයින්ම මේ ගීතය ඉන්දීය හදවත්වල තදින්ම කාවැදී ඇති බව පැහැදිලිය. මැණිකේ ගීතය බෙංගාලි බසින්ද ප‍්‍රතිනිර්මාණය වී ඇති අතර නොයෙක් දෙනා මේ ගීතය ගයන විඩියෝ සමාජ ජාලාවල සංසරණය වෙයි. බෙංගාලය කොහොමත් සිංහලයන්ට සමීප බව අමුතුවෙන් කිවයුතු නැත. විජය රජු මෙරටට පැමිණියේද වත්මන් බෙංගාලය හා ඔරිස්සා ප‍්‍රාන්තවලට අයත් ප‍්‍රදේශයකින්ය. The Ocean of churn, how the Indian Ocean Shaped Human History මැයෙන් සන්ජීව් සාර්ගාල් ලියූ ග‍්‍රන්ථයේ සඳහන් වන්නේ සිංහලයන් විසින් තම ජාතියේ ලාංඡුනය ලෙස සිංහයා භාවිතා කරන අතරම බෙංගාල හා ඔරිස්සා ජනයා අතරද සිංහ ලාංඡනයට සුවිශේෂ පිළිගැනීමක්

මමතාගේ බෙංගාලය; සිංහල මැණිකේ රජවීම

හා ගෞරවයක් ඇති බවය. ඔරිස්සා වැසියන් වන්දනාමාන කරන නරසිම්හ දෙවියා අර්ධ සිංහ හා අර්ධ මනුෂ්‍යයකු වේ. එසේම ජානමය වශයෙන්ද සිංහලයන් හා බෙංගාලින් අතර සමානකම් ඇති බව සොයාගෙන තිබේ. 1996 දී ලෝක කුසලාන අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව පරදා ලංකාව ජයගත්විට ප‍්‍රකට බෙංගාලි ජාතිකයකු ප‍්‍රකාශ කර තිබුණේ ඓතිහාසික කරුණු මතම කල්කටාව යනු සිංහලනගේ ජයභූමිය බවයි. මෙයින්ම ඉතිහාසගත සම්බන්ධකම් යළිත් තහවුරු වේ. එනිසාම බෙංගාලින් මෙන්ම ඔරිස්සා වැසියන් (පැරණි කාලිංගය) මැණිකේ වැළඳගැනීම, පැරණි නෑයකු කාලෙකින් හමුවීම හා සමානය. එම නිසාම චමත් සංගීත් විසින් නිර්මාණය කරනු ලැබූ මේ ගීතය බෙංගාල ප‍්‍රාන්තයත් කලඹවා ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කර තිබුණේ පසුගිය අගෝස්තු 31 වැනිදාය. බෙංගාලි ගායක ඉමාන් චක‍්‍රබෝර්ති පවසා තිබුණේ මෙම ගීතය සැබවින්ම මනුෂ්‍යායා උද්දීපනය කරන නිර්මාණයක් බවයි. ප‍්‍රකට නළු නිළියන්ගේ සිට මහපාරේ සිටින පුද්ගලයනට පවා මේ ගීතයෙන් වින්දනය ලැබිය හැකි බව ඉමාන් කියයි. බෙංගාලි නළුවෙක් වන චන්ද්‍රයී ගොෂ් පවසා තිබුණේ මේ ගීතය තම හදවතටම දැණුනු බවයි. ඇත්තෙන්ම ඉන්දියාවේ මීට පෙර මෙවැනි ආකාරයට ජනප‍්‍රියත්වයට පත්වූ ගීතය වූයේ කොලවරි ඞී ගීතයයි. ඒ 2011 දීය. එය මිලියන 289 ක් නරඹා තිබේ. දැන් එම ජනප‍්‍රියතාවය සිංහල මැණිකේ විසින් දිනාගෙන ඇත.

යොහානිගේ හා සතීශාන් රත්නායකගේ දක්‍ෂතාවය ඉන්දීය තරුණ ගායකයන්ට උද්දීපනයක් ලබාදී ඇති බව පැහැදිලිය. මැණිකේ පාදක කරගෙන නිර්මාණය වූ හින්දි ගීතයද නැරඹූවන් මිලියන 03 කට ළ`ගාවී ඇත. ඔරිස්සා (කාලිංගය) අගනුවර භුවනේෂ්වර් සිට නිකුත් කරනු ලැබූ පුවතක සඳහන් වූයේ යොහානිගේ මැණිකේ නිසා වසංගතයෙන් පීඩා වි`දි ඉන්දියානුවන්ට සතුටක් ලැබීමට අවස්ථාව උදාවී ඇති බවයි. එම ප‍්‍රාන්තයේ සමාජ මාධ්‍යවල ප‍්‍රමුඛතම ගීතය බවට මැණිකේ පත්ව ඇති බවද එම වාර්තාවේ සඳහන් විය. ඇත්තෙන්ම ඔඩියා භාෂාව හා සිංහල භාෂාව අතර ඇති ළ`ග නෑකම නිසාම මේ ගීතය වඩා ජනප‍්‍රිය වී ඇති බව පැහැදිලිය. එය ඉහතින් කියූ අතීත කතාව හා සම්බන්ධය. ඔඩියා භාෂාවෙන් මැණිකේ ගීතයට ප‍්‍රතිනිර්මාණයන් කර ඇති සරෝජ් හයිදාර් පවසන්නේ තමාගේ මීට පෙර කිසිම ගීතයකට මෙවැනි ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවයි. 30 හැවිරිදි හයිදාර්ගේ ගීතය නැරඹුම්වාර මිලියනය ඉක්මවා තිබීම සුවිශේෂය. එය සති දෙකක් ඇතුළත බව ඔහු කියයි. යොහානී හා සතීශාන් ඔවුනගේ ගීතය යූ ටියුබ්වෙත මුදාහැරියේ පසුගිය මැයි 22 වැනිදාය. මෙහි මුල්ම ගීතය නිර්මාණය කර ඇත්තේ 2020 ජුලි මාසයේදීය. ගීතයේ මුල් ගායකයා සතීශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ඒ. ආර්. එක්ස් වේ. මුල් ගායක සතීශාන් පවසන්නේ මේ ගීතය මෙපමණ ජනප‍්‍රිය වීම හීනයක් සැබෑවීමක් බවයි. එසේම යොහානි විසින් මේ ගීතයට නැවුම් ආරක් ලබාදුන් බව ඔහු කියයි. කැරොලිනා ප්‍රෙට්සෙන්තෝ සිය වයලීනය යොදාගෙන මෙම ගීතය ඉතාම අපූරුවට වාදනය කිරීමේ විඩියෝවක් දැන් ඉමහත් ජනප‍්‍රියතාවයක් ලබා ඇත. මෙරට ඇමෙරිකානු තානාපතිනිය පවා මැණිකේ ගීතය ඇමෙරිකාවේ වීදිගත වාදනය වීම පිළිබඳ සතුට පළකරමින් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කර තිබේ. එසේම මෙරට ඉන්දීය තානාපති කාර්යාලය පවා යොහානිව විශේෂ ගරු බුහුමනට ලක් කර තිබීමෙන් අපට පැහිදිලි වන්නේ ඉන්දියානුවන් කෙතරම් මේ ගීතයට ලංවී ඇත්ද යන්නය. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර නව සංස්කෘතික තානාපතිනිය යොහානි බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ට්විටර් පණිවුඩයක සටහන්ව තිබුණේ පසුගිය සතියේය. එසේම ඇය හා ඇගේ නිර්මාණ කණ්ඩායම කොළඹ පිහිටි ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානයට කැඳවා විශේෂ ගෞරව සම්මානයක්ද ලබාදී තිබිණි. මේ ගීතයට අමිතාබ් භච්චන්ද වස`ග වී ඇති නිසා ඉන්දීය තානාපති කාර්යාලය අනිවාර්යයෙන්ම මේ බුහුටි ගායිකාවට විශේෂයක් කළ යුතුමය. බොලිවුඞ් පතාක යෝධයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ මැණිකේ ගැන තැබූ සටහන මෙසේ උපුටමි.

ඇදහිය නොහැකි තරම් අලංකාර ශ‍්‍රී ලාංකික ගීතයක් වන මැණිකේ මගේ හිතේ මම අගය කරනවා. මේ ගීතය මගේ නිවසේ ඉන්න දක්‍ෂයා මගේ මිනිබිරි නව්‍යා තමේලි මගේ කාලියා චිත‍්‍රපටයේ ගීතයට සංස්කරණය කරලා තිබෙනවා. මේ ගීතය මුළු රැයේම මගේ මනස තුළ සෙල්ලම් කරනවා. මට එයට සවන්දීම නැවැත්විය නොහැකිය.

එන්. ඞී. ටී. වී. රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යොහානි සඳහන් කර තිබුණේ අමිතාබ් මේ ගීතයට දැක්වූ ප‍්‍රතිචාරය සමග මැණිකේ ඉන්දීය පේ‍්‍රක්‍ෂකයන් අතර වේගයෙන් ජනප‍්‍රියවූ බවයි.

59 වැනි සේනාංකයට අණදුන් මේජ්ර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාගේ දියණිය ලොව පුරාම සිංහල හඬ රැව්දෙන්නට කටයුතු කිරීම සැබවින්ම සතුටකි. අලූත් දෙයක් අලූත් ආකාරයට ලොවට දිය යුතුය. දැන් ඕනෑම ගීතයක් ජනප‍්‍රිය වන්නේ යූටියුබ් හරහාය. මන්ද එය තම සුරතේ ඇති ජංගම දුරකථනයෙන් නැරඹිය හැකි බැවිනි. මැණිකේ ගීතයට යොහානිගේ හඬ මෙන්ම ඇගේ බුහුටි පෙනුමද ඉතාම හොඳින් ගැළපී ඇත. ඉන්දියානුවන් වස`ගවී ඇත්තේ එනිසාය. කොටි පරාජය කළ ජෙනරාල්ගේ දියණියගේ ගීතයට තමිල්නාඩු දෙමළ වැසියෝද කැමතිය. එය ප‍්‍රතික්‍ෂේප කිරීමට කිසිසේත් උත්සාහ නොකරති. පද නොතේරුනත් භාවමය රහස වි`දිය හැකිය. සංගීතය හදවතට දැනෙයි. ජීවිත පීඩාව දුරුවෙයි. ඇගේ සුකුමාල සිනහාව හද බන්දයි. ඒ සිනහවට මිලක් ඇත. අලෙවියක් තිබේ. එනිසාම කෝටි සංඛ්‍යාත ජනී ජනයා නැවත නැවත මැණිකේ බලති. සිංහල හඬ ලොව දස දෙස සිසාරා යනවිට අපට සතුටුය. මැණිකේ ජනප‍්‍රිය වීම නොඉවසනා පිරිසක්ද මෙහි සිටිති. එය පැහැදිලි ඇත්තකි. මැණිකේ ගීතය කොතරම් සම්භාව්‍යය දැයි සමහරු ප‍්‍රශ්න කරති. යොහානි අනුන්ගේ කොපියක් ගයා ඇති බව කියති. අමරදේව, නන්දා මාලනි, වික්ටර්ගේ ගීත මේවාට වඩා කොතරම් අගේ දැයි විමසති. ඒවා අගනේය. නමුත් ලෝකයට අලෙවි කරන්නට හැකිවූ එකම සිංහල ගීතය මෙය නොවේද? මැණිකේ ගයන්නට නන්දා මාලනි පැමිණෙන්නේද නැත. එතුමිය මෙය ගායනා කළද යොහානිගේ ජනප‍්‍රියතාවය ලැබිය නොහැකිය. අපේ සමාජයට අලූත් නිර්මාණ ලබාදිය යුතුය. අලූත් නිර්මාණ හරහා සිංහල භාෂාවටත් ලෝකයේ තැනක් ලැබී ඇත. එය කොතරම් අගනේද. හින්දි භාෂාව පරයමින් සිංහල මැණිකේ ඉදිරියට පැමිණීම කොතරම් වැදගත්ද? එනිසාම කොල්ලූපිටියේ තානාපති කාර්යාලයත් මැණිකේ අගයයි. එය අගය කළ නොහැක්කේ කුහකයින්ට පමණි. ලෝකය ජයගැනීම අලූත් විදියට සිතිය යුතුය. එවිට රබන් පදය හෝ අලෙවි කළ හැකිය. ඒ අනුව වර්තමානයේ යොහානි ඔන්චිලිවාරම් කීවත් එය ඉතා කැමැත්තෙන් වැළ`ද ගැනීමට තරම් කෝටි සංඛ්‍යාත රසික පිරිසක් බිහිව ඇත. සිංහල හඬට අගයක් ලැබීම ගැන අපි නැවත නැවතත් සතුටු වෙමු.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment